දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන් සහ දේශපාලන අනාථයන්


‘වෙනසක් නෑ, හැමෝම එකයි.’


‘දැන් නම් මිනිස්සුන්ට එපා වෙලා මචං තියෙන්නෙ.’


‘ඕකුන් ඔක්කොම එකයි. ආයෙ දෙන්නෙ නෑ එකෙක්ටවත්.’


ඔහොම කතා කාලෙන් කාලෙට ඇහෙනවා. තමන් සහ තමන් සහය දක්වන පක්ෂය මාර දේශප්‍රේමී බවත් විරුද්ධ පාක්ෂිකයන් දේශද්‍රෝහීන් බවත් විශ්වාස කරන ඡන්ද දායකයා ටික කාලයකින්, තමන් පත් කරගත් රජය තමන්ගේ ඔළුව ඇතුලෙ මවපු ෆැන්ටසිය කැඩෙන යම් පියවරයන් දෙක තුනක් ගත්තම සැක සංකා උපදවා ගන්නවා. තමන්ගෙ ඔළුවෙ තියන ෆැන්ටසිය පැල කරලා පොහොර දැම්මෙ දේශපාලකයා බව නොදන්න ඡන්ද දායකයා හිතනවා ‘මුනුත් අරුන් වගේම තමා, අපිට සහ රටට ඕන දේ මුං කරන්නෙත් නෑ.’ කියලා. ඌ නොදන්න දේ වෙන්නෙ ‘තමන්ට සහ රටට ඕන දේ’ යනුවෙන් තමන් දරන අදහස අර දේශපාලකයාගේ ම අදහසක් බව. මෙතනදි දේශපාලන අනාථයෙක් හෙවත් පාවෙන ඡන්දයක් බිහි වෙනවා. හැබැයි අවුලක් නෑ. මොකද තමන්ට ඕන වෙද්දි මේ පාවෙන ඡන්දෙ ටික්ල් කරලා, ටැකල් කරගන්න ඕන විදිය දේශපාලකයා දන්නවා.


සාමාන්‍යයෙන් මනුස්සයා කියන සතා සාමූහිකව ජීවත් වෙන්න ගත්තට පස්සෙ, පළවෙනි වතාවට ගිනි ගොඩකට වැන්දට පස්සෙ, අද දවස දක්වාම ඉතා ඉහලින් සලකන සාධකයන් හෝ වටිනාකම් කිහිපයක් තියනවා. මේ අතරින් මනුස්සයා ඉහලින්ම සලකන කරුණු දෙකක් වෙන්නෙ තමන්ගේ වර්ගයාට, ගෝත්‍රයට හෝ ජාතිය වශයෙන් තමන් හඳුනාගන්නා පිරිසට ඇති බැඳීම/ ලැදියාව, සහ තමන් කුඩා කල සිට නෝම් (මේක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය, වෙනස් යමක් පැවතුණහොත් එය අසාමාන්‍යයි.) එක වශයෙන් හඳුනාගත් ආගමික විශ්වාසය. ඒ කිව්වෙ සරලව කිව්වොත් මිනිස්සු ලිංගික ආශාවෙන් පස්සෙ වැඩියෙන්ම ටික්ල් වෙන්නෙ - කිති කැවෙන්නෙ ‘ජාතිය සහ ආගම’ කියන කාරණා දෙක උදෙසා. ඒ වගේ ම ජන සමාජය විශ්වාස කරන්න පෙළඹෙනවා තමන් මේ නෝම් එක වශයෙන් සලකන සාධක අනිවාර්යයෙන් සුරැකිය යුතු බව. ඒක තමයි ආගමික සුජාතභාවය සහ ජාති මාමකත්වය; ඒ වගේ ම තමන් වෙසෙන දේශය තුල මෙම සාධක සුරැකීම දේශප්‍රේමය ලෙසත් හඳුනාගන්නවා.


ඔය කොහේද මන්දා හිටපු මැකියාවෙල්ලි කියලා මනුස්සයෙක් කියලා තියනවා මේ වගේ කතාවක්.


‘යම් ආගමික විශ්වාසයක් වැරදි හෝ නිවැරදි වුවද එකී ආගම ජනතාව අතර ප්‍රචලිත කළ යුතු ය.’


ඇයි එහෙම කියන්නෙ? මොකද රටක නීතිය, පාලකයාගේ වචනය හෝ මුදල් වැනි දේවලට වැඩියෙන් ජනතාව ආත්මීය, ආධ්‍යාත්මික සහ තමන්ට එකහෙලා පැහැදිලි කල නොහැකි යම්කිසි බලයක් කෙරෙහි වැඩියෙන් ආශක්තව බැඳීමක් ඇති කරගන්නා නිසා සහ එම අවස්ථාවේදී පාලකයන් හට ජනතාව තමන්ට අවැසි ලෙස හසුරුවා ගැනීම වඩාත් පහසු නිසා.


ඉතින් දේශපාලකයෙක් හෝ වෙනයම් නායකයෙක්ගෙ මූලික අවි වෙන්නෙ මෙන්න මේ මිනිස්සුන්ව කිති කවලා නටවලා ගන්න පුළුවන් ආයුධ දෙක. දූෂිත දේශපාලන ක්‍රමයක් සහිත තුන්වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නෙ අර දූෂිත ක්‍රමයෙන් පිට පැනපු රට කෙරෙහි ඇති කැක්කුම හෙවත්, දේශප්‍රේමය. ඡන්ද දායකයා මේ සාධකය ඉතා ඉහළින් සලකන බව දේශපාලකයා දන්නවා. එම මොහොතේ පටන් දූෂිතයන් වන්නේ විරුද්ධ පක්ෂය පමණක් බව හඟවන දේශපාලකයා සුජාත දේශප්‍රේමියෙක් බවට පත් වෙනවා.


වර්තමාන ලංකාවේ තත්වය සැලකුවොත් ප්‍රධාන කඳවුරු දෙකම දේශප්‍රේමය යාතිකා කලාට වඩාත් සාර්ථක වෙලා තියෙන්නෙ අතිශයින් සාම්ප්‍රදායික ‘ජනප්‍රිය තලයේ නාමිකව වාමාංශිකැයි කියාගන්නා ෆැසිස්ට්වාදී කඳවුර’. හේතුව සමාජයේ ආගම, ජාතිය, සංස්කෘතිය මේ යැයි වරදවා වටහාගන්නා - ජීවන රටාව ආදී වෙනසට ප්‍රියතාවක් නොදක්වන සාධක ටච් කරන්න වැඩි හැකියාවක් තියෙන්නෙ සාම්ප්‍රදායික, සංරක්ෂණවාදී කඳවුරකට. දක්ෂිණාංශික, ලිබරල් නැත්නම් ප්‍රගතිශීලී කඳවුරක අදහස් පෙර කී සාධකත් සමඟ ගැටෙන්න තියන ඉඩ ප්‍රස්තාවන් වැඩි නිසා ස්වභාවයෙන්ම සාම්ප්‍රදායික මත දරන සමාජයක් තුල මේ කඳවුරට දේශප්‍රේමය මාකට් කරන්න තියන අවස්ථාව තරමක් අඩුයි. (නොකරන්නෙ නෑ.)


සාමාන්‍යයෙන් කුතුහලයක් තියන සතෙක් වුණත් මනුස්සයා ‘වෙනස’ ට තරමක පසුබෑමක්, බියක් දක්වනවා. යම් අයෙක් තමන්ට හුරු පුරුදු ජීවන රටාවේ හෝ ආගමික විශ්වාසයේ හැටියට මසකට වරක් කස පහර සියයක් කෑ යුතුයි කියමු. මේ සමාජයට පිටතින් එන මිනිසෙක් මේ කස පහර කෑම අනවශ්‍ය දෙයක් බව කිව්වත්, මේ පළමු පුද්ගලයා තමන්ගේ ජීවන රටාව හෝ ආගමික විශ්වාසය වෙනස් කරගන්න කැමති වෙන්නේ නෑ. මොකද මසකට වරක් කස පහර කන එක තමයි මේ පුද්ගලයාගේ කල්චරල් නෝම් එක. ඔහු දේශප්‍රේමය ලෙස සලකන්නේ තමන්ගේ දේශය තුල එකී ජීවන රටාව සුරක්ෂිත කරදීම. ඉරු රශ්මියට දැවුණත් හඳ කෙතරම් සිසිලස වුණත් නොපෑයූ හඳට වැඩියෙන් පෑයූ ඉරුට වඳින්න මිනිසා කැමතියි.


දැන් එක් කඳවුරක් දේශප්‍රේමීන් බවට පත් වෙනකොට නිරායාසයෙන් ම සෙසු කඳවුරු දේශද්‍රෝහීන් බවට පත් වෙනවා. මේ කඳවුරු පෙර කී සාධක හෝ වටිනාකම් ගැන දක්වන්නේ වඩාත් ප්‍රගතිශීලී අදහස්. පසුගාමී සමාජයකට ඒක තමන් හට ද්‍රෝහී වීමක්. වෙනස අකැපයි.


උදාහරණයක් වශයෙන් සංස්කෘතිය යන සංකල්පය වරදවා වටහාගත් පසුගාමී සමාජය හිතනවා සංස්කෘතිය යනු වසර දහස් ගණන් ඉපැරණි ජීවන පුරුදු සහ චාරිත්‍ර වාරිත්‍ර බවත් ඒවා එපරිද්දෙන් රැක ගැනීමත් කියලා. සමාජයක් වශයෙන් විකසනය වීමටත් ශිෂ්ටාචාරගත සංස්කෘතික මිනිසෙක් වීමටත් ඔවුන්ට අවස්ථාවක් නෑ. විකසනය දේශද්‍රෝහී වීමක්. සංස්කෘතිය යනු අත්‍යවශ්‍යයෙන් ම නිරන්තරයෙන් පෝෂණය වෙමින් විකසනය වන්නක්.


වර්තමානය වෙද්දි ෆැසිස්ට්වාදී කඳවුර විසින් දීර්ඝකාලීනව ආගම සහ ජාතිය යන ආයුධ යොදාගෙන දේශපාලන සාක්ෂරතාවයක් නොමැති, හැඟීම් වලින් මඩින ලද, අවැසි විටෙක උසි ගැන්විය හැකි, කුපිත වූ ලෙයින් යුත් සමාජ කොට්ඨාශයක් බිහි කරලා තියනවා, සහ තවමත් ඒ දේ කරමින් පවතිනවා. මේ බිහිවෙන්නෙ තමන්ගේ නායකයන් ජාති මාමක, ආගමික, සහ දේශප්‍රේමී බව සිතන දේශපාලකයා විසින් සිතීමේ ශක්තිය මොට කරන ලද අන්ධ භක්තිකයන් පිරිසක්.


මේ අනුගාමිකයන් පිරිස වෙනුවෙන් හිතන්නේ සහ තීරණ ගන්නේ දේශපාලකයා, තමන් හට තමා වනුවෙන් සිතීමේ පුරුද්දක් නෑ සහ හිතන්න බයයි. මොකද මේ සමාජයේ පසුගාමී සාම්ප්‍රදායික ජීවන රටාව විසින් සිතීම සහ ප්‍රශ්න කිරීම අධෛර්යමත් කරනවා, කුඩා අවධියේ පටන් මොළ ශෝධනයකට ලක් කර පද්ධතියට වුවමනා අයුරින් නිර්මාණය කළ මිනිසෙක් තමයි බිහි කරන්නේ. සමහර වෙලාවට Magic Trick එකක දි මැජික් ශිල්පියා විසින් ප්‍රේක්ෂකාගාරයට සිතන්නට ඉඩ හරිනවා තමන් සිතන්නේ හෝ තෝරාගන්නේ තමන්ට අවැසි දෙය බව, තමන් ගන්නා තීරණය ස්වාධීන බව. නමුත් එතන කෙරෙන්නේ තමන්ට අවැසි පරිදි ප්‍රේක්ෂකයා සහ ඔහුගේ සිතිවිලි මෙහෙයවීම, ඇස්බැන්දුමක්.


ලාංකික දේශපාලකයා කරන්නෙත් මෙන්න මේ Magic Trick එක. ඡන්ද දායකයා හිතනවා තමන් මේ තීරණය ගන්නේ හොඳින් සිතා බලා බව, නමුත් දේශපාලකයා විසින් ඡන්ද දායකයා හට ඔහු සිතිය යුත්තේ කුමක්දැයි දැනුම් දී අවසන්. පාලක පැලැන්තියට පවතින්න හැකියාව ලැබෙන්නෙ එතනදි විතරයි.


දැන් මේ සිතීමේ පුරුද්දක් නොමැති වුණ ඡන්ද දායකයා දේශමාමකත්වය වශයෙන් සලකන්නේ දේශපාලකයා විසින් ඒ සඳහා ලබාදෙන නිර්වචනය. අතීතකාමයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සහ ස්වෝත්තමවාදී අදහස් බටර් අයිසින් ගාලා මේ ඡන්ද දායකයා හට දීලා ඉවරයි.


බැඳීම් සහ හැඟීම් කෙතරම් ශක්තිමත් වුණත් බහුතර සමාජ කොටසක් තමන්ගේ වන්දනාකරුවන් බවට පත් කර ගනිමින්, ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා තමන් බවට පෙනී සිටීම සරල හෝ පහසු නෑ. යම් සමාජයකට ගැලවුම්කාරයෙක් වුවමනා වන්නට නම් එකී සමාජයට පිටස්තර බලවේගයක් මඟින් එල්ල වන්නා වූ යම් තර්ජනයක් තිබිය යුතුයි. ඉතින් එයාකාර තර්ජනයක් සොයාගත යුතුයි, තර්ජනයක් / සතුරෙක් නැත්නම් සතුරෙක් සහ තර්ජනයක් නිර්මාණය කළ යුතු යි.

ඒ සඳහා පහසුම සාධක දෙකක් තියනවා, ආගම සහ ජාතිය.


ලංකාවේ දශක ගණනාවක ඉඳන් දේශපාලකයන් ඇතුළු සෙසු ජනතා නායකයන් මේ සාධක දෙක යොදාගෙන, ජාති සහ ආගම් භේද ඇති කරමින් එකිනෙකා තර්ජකයන් සහ පීඩකයන් ද පීඩිතයන් ද කරමින් තමා සහ තම පක්ෂය ඔවුන්ගේ ගැලවුම්කරුවන් බව පවසමින් බලය සහ මුදල් වෙනුවෙන් මෙම භේදබින්න කිරීම සහ රැවටීම නොනවත්වා කරගන යනවා. පවතින සමාජය තමන් හට වන්දනාමාන කරන, පසුගාමී සමාජයක් ලෙස පැවතීම දේශපාලකයාගේ පැවැතීමට අත්‍යවශ්‍ය සාධකයක්. ආගම්, ජාතීන්, සමාජ පන්ති එකමුතු වුවහොත් , දේශපාලනික සාක්ෂරතාවයෙන් යුත් ඉදිරිගාමී සමාජයක් බවට පත්වුවහොත් දේශපාලකයා හට තමන්ගේ දෙපිටකාට්ටු ජඩ දේශපාලන ජීවිතය අවසන් කරන්න සිද්ධ වෙනවා. ඉඳින්, ඒක එහෙම නොවෙන්න දේශපාලකයා වග බලා ගන්නවා. දැඩි ආර්ථික සහ සමාජ පීඩනයකින් පෙළෙන, ලේ කුපිත වූ ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාදයෙන් පෙලෙන නව යොවුන් පරපුරක් අවාසනාවන්ත ලෙස බිහිවෙලා සහ බිහිවෙමින් පවතින්නේ මේ නිසා.


දැන් මේ මොළ ශෝධනයට ලක් කල ඡන්ද දායකයා හට කාලෙන් කාලෙට ඔවුන් හට තර්ජනයක් ඇති බවත් තමන් ගැලවුම්කරුවා බවත් මතක් කරන්න දේශපාලකයා වග බලා ගන්නවා, විශේෂයෙන් මැතිවරණ සමයක් අබියස දි, නැතහොත් තමන් සහ තමන්ගේ පක්ෂය අවමානයට පත්වන යම් සිදුවීමක දී. පුදුම සහගත සහ අතිශය සාමාන්‍ය පරිදි ඡන්ද දායකයා මේ උපාය ඉතසිතින් වැළඳ ගන්නවා.


දැන් කලාතුරකින් පෙර සඳහන් කළ ආකාරයට විශ්වාසය බිඳී යාමෙන් දේශපාලන පක්ෂ වලින් ගැලවී හැලෙන පාවෙන ඡන්ද හෙවත් දේශපාලන අනාථයන් බිහි වෙනවා. දේශපාලන අනාථයන් ප්‍රධාන වශයෙන් කරන්නේ,


- හේතුවක් නැතුවම පාරම්පරික පක්ෂයට මනාප පළ කරන එක.


- රැල්ලට ජනප්‍රිය දේශපාලකයා හට සහය පළ කිරීම.


- කිසිවෙකුට සහය පළ නොකර දේශපාලනයෙන් වැලකී සිටීම.


- වරින් වර මාරුවෙන් මාරුවට ප්‍රධාන බල කඳවුරු දෙකට යහපත් වෙනසක් අපේක්ෂාවෙන් සහය පළ කර පසුතැවිලි වීම. නැවතත් එම පියවර ම ගැනීම.


ඔය පළවෙනි කාරණා දෙක කරන්නේ අපේක්ෂා භංගත්වයෙන්. රැල්ලට ගිහින්. තේරුමක් නැතුව.


මේ දේශපාලනික පාවෙන ඡන්දෙ මාරුවෙන් මාරුවට නායකත්වය වෙනස් කරන්න දායක වෙමින් අවබෝධ කර නොගන්නා දේ වෙන්නෙ මේ බල කඳවුරු දෙක එකම කුලකයට අයත් බව, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති, පොරොන්දු සහ ජාති/දේශමාමකත්වය මනාප අපේක්ෂාවෙන් ඡන්ද දායකයා තුල මවන ෆැන්ටසියක් පමණක් බව.


අනිත් කාරණය දේශපාලනයෙන් ඈත් වෙලා උන් ඔක්කොම එකයි කියලා මගේ පාඩුවේ මං ඉන්නවා කියන දේශපාලන අනාථයා තමන් බුද්ධිමතෙක් බව සිතන කුහක අනුවණයෙක්. හේතුව තමන් දේශපාලනයට කැමති වුණත් අකමැති වුණත් තමන් දේශපාලනිකව ක්‍රියාකාරී වුණත් නැතත් දේශපාලනය ඍජුව හා වක්‍රව තමන් හට බලපානවා.


ඒ වගේ ම දේශපාලකයා දූෂිත බව හඳුනාගෙන කලකිරීමෙන් දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්නවා නම් එසේ ඉවත් සිටීමෙන් දේශපාලන අනාථයා කරන්නෙ අර දූෂිත දේශපාලන ක්‍රමය සහ දූෂිත දේශපාලකයා හට පැවතීමට තවත් සහය ලබා දීම පමණයි. ඒක වරදක්. සංස්කෘතික මිනිසා දේශපාලනිකව සක්‍රීය පුරවැසියෙක් විය යුතුයි. යහපත නිහඬ වීමේ ප්‍රතිඵලය අයහපත තවත් වර්ධනය වීම.


දැන් එතකොට යම් පක්ෂයකට සහය දක්වන්නේත් නැතිව, නමුත් නිහඬව නොහිඳ, දූෂිත දේශපාලන ක්‍රමයට එරෙහිව දේශපාලනය කරන්නේ කුමන ආකාරයට ද? එහෙම කරන්න පුළුවන් ද? 


මං හිතන්නේ ඒක කරන්න පුළුවන්.

Comments