පරෙයියාගේ දින සටහන් - 04

(Cartoon by Papadamn)


'ටන්ටන ටන්ටන ටාං ටාං ටනන නං!'

මහ හඬින් උඩ ගොස් ඇදටම වැටුණ පරෙයියා දනි පනි ගා නැඟිට ගත්තේ ය. ඔළුවට උඩින් ගොස් තිබූ සරම පිහාට්ටක පැටලිලා ය. පරෙයියා එවර බෝඩිම් කාමරයේ පොළොව සිපගති.

'මෙන්න දැන් ලැබුණ හදිසි පුවතක්!' බෝඩිමේ කුස්සියෙන් බබාවාහිනියේ හඬ නැගෙයි. සරම පටලවාගත් පරෙයියා අඩියට දෙකට කුස්සියට.

'රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන සිදුවීමක් පහන්තුඩාව ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ පිළිබඳව සොයා බැලීමට මංබබා සෑර් විශේෂ පොලිස් බබාලා කමිටුවක් ද දැනටමත් පත් කර ඇත.'

'ටසිරි! ආයෙමත් බෝම්බයක්වත් ද පරෙයි මාමේ?' බෝඩ්ම් අක්කාගේ කොල්ලා ලොසින්ජරයක් හපමින් අසයි.

'බෙලිහුල් ඔය පහන්තුඩාව සංචාරක ගමනාන්තයෙහි දී තරුණ යුවලක් අඹු සැමියන් සේ හැසිරී ඇත. එතකින් නොනැවතී ඔවුන් එය වීඩියෝ ගත කර ඇත. මෙම පුවත හමුවේ අතිශයින් කැලඹුණ බබාලන්තයේ ජනතාව ප්‍රදේශ කිහිපයකම විරෝධතා දක්වන බව වාර්තා වේ. ආගමික බබාලා කිහිප දෙනෙක් එක්ව රටේ ජාතික ආරක්ෂාව සහ සංස්කෘතිය විනාශ කරන මෙම තර්ජනයට එරෙහිව පැමිණිල්ලක් කරන්නට කටයුතු කර ඇත.'

'අඹු සැමියො වගේ හැසිරෙනවා කිව්වෙ අපේ අම්මයි තාත්තයි වගේ රණ්ඩුවෙන එකට ද පරෙයි මාමේ?' කොල්ලා බබාවාහිනියේ දෑස් අලවාගන අසයි.

'හෑ!'

'උඹ ගුටි නොකා දුවපන් ගෙට.' බෝඩිමේ අක්කා දෑතින් හිස බදාගන ය. 'හපොයි පරෙයියො. අපේ සංස්කෘතිය ඉවරයි. ජාතියම ඉවරයි. මුන්ව උල තියන්න එපැයි.'

'මං හිතුවෙ ආයෙ බෝම්බ පිපිරි... ' පරෙයියා කිරි කෝප්පය අතට ගති.

'බෝම්බ නම් මොනවද මල්ලියේ. මේක එහෙමයැ. මුළු රටම විනාස වෙන වැඩක් නෙව. අපේ නම්බුව ඉවරයි. මංබබා සෑර් ඕකුන්ව අල්ලලා දඬුකඳේ ගැහුවනම් ඉවරයි ඉක්කන්ට. අපිට පාරේ බැහැලා යන්න වෙන් නෑ නැත්තං.'

'ඒ වුණාට තාම අර බෝම්.. '

'උඹලා පොඩි එවුන්. උඹලට මේවා තේරෙන් නෑ. අහකට වෙයන්.'

ගස්සාගන කුස්සියෙන් පිට වූ අක්කාගේ ඇගේ හැපී ගුවන්ගත වන්නට ගිය කිරි කෝප්පය පරෙයියා එහා මෙහා පැන බේරා ගත්තේ ය.

හෝරාවක් ගත වන්නට මත්තෙන් බෝඩිමේ අක්කා, 'අපේ සංස්කෘතිය හා ජාතික ආරක්ෂාව වනසන වනචර ත්‍රස්තවාදීන් අල්ලපියව්!' යනුවෙන් ලියූ බෝඩ් කෑල්ලක් ද රැගෙන පාරට බැස්සා ය. අක්කාගේ කොල්ලාව ද ඇදගෙන. තවත් කිහිප දෙනෙකුන් එක්ව අක්කා ලේන් එකේ ඉහළට පහළට කෑ ගසමින් ගමනේ ය.

විරෝධතා පෙළපාලිය නරඹමින් හිඳ ඔක්කාරයට ආ පරෙයියා කාමරයට වැද බුකි ගත වුණේ ය. අද හොට් ටොපික්ස් බලන්නට ය. වෝල් එක පුරාවටම පහල ලේන් එක වාගේම ය. පහන්තුඩාව යුවල රජයට බලවත් තර්ජනයක් වී ඇති සෙයකි. ත්‍රස්තවාදීන් දෙදෙනා අල්ලන්නට විසල් පොලිස් බබා මෙහෙයුම් ක්‍රියාත්මක ය. වීඩියෝව බලන්නන්ට ද දැඩි දඬුවම් ය. රට පුරා ආගමික බබාලාගේ විරෝධතා ය. ආගමික බබාලා වීඩියෝව බැලීම රටට හානියක් නොවන්නේදැයි ඇසූ කොල්ලෙකුට ආගමික බබෙකු තග දමමින් බණ පදයක් වදාලේ 'අපි ඒවා බැලූයේ සැදැහැත් සිතින් බවත් පරීක්ෂණ මට්ටමින් පමණක් බවත්' කියා ය.

ඒ අතරවාරයේ ලේන් එකේ ගෝරියක් ඇසී පරෙයියා වැරෙන්ඩාවෙන් පැන අඹ ගසට පියෑඹුවේ ය.

'බෝම්බ ගහනේවා කවදා හොයන්න බැරිද ජවිපාවෝ.' බෝඩිමේ අක්කා ලපබබාගේ අතවැසියෙකුට කණ පැලෙන්න තග දමයි. 'ඒ වගේ ද මේවා. යකෝ මොනවා හොයන්නත් සංස්කෘතිය රකින ජාතික ආරක්ෂාව සලසන රටක් තියෙන්න ඕන. මේ වගේ දේවල් වලින් ඒවා නැතිකරන්න දෙන්න බෑ අපි ඉන්නකං. දේශද්‍රෝහී හැතිකරේ. පල මකබෑවිලා මෙතනින්.'

පරෙයියා අඹ ගසේ සිටම බුකි මිතුරෙකට පණිවිඩයක් කෙටුවේ ය.

'මචං ඔබාමා, අර වීඩියෝ ලින්ක් එක නැද්ද පරීක්ෂණ මට්ටමින් බලන්න.'

Comments