ආදරය, විරහව සහ ආශාව


මේ මාතෘකා තුන අපේ ජීවිතේ මොනයම්ම හෝ මොහොතක බොහොමයක් දෙනෙක්ට හමු වෙනවා. ආදරය යනුවෙන් යමක් පැවති බව දැනගන්නේ ආදරය අපෙන් දුරස් වුණාම කියලත් කියනවනෙ. ඒක බොහොමයක් දුරට ඇත්ත. සරලව කිව්වොත් ඔක්සිජන් වටිනා බව දැනෙන්නෙ අපි හුස්ම ගන්නකොට නෙවෙයි. හුස්ම ගන්න ඔක්සිජන් නැතුව හුස්ම හිරවෙද්දි. ආදරය කියන්නෙත් එහෙම දෙයක්.

එතකොට ආදරය කියන එක අවසන් වෙන්නෙ කොතනින් ද? අපි අර කියන ආදරයත් වෛරයත් අතර තියන කෙස් ගහක වෙනස ද ඒ සීමාව? මායිම් ලකුණ? එහෙමත් නැත්නම් හැර යාම, අහිමි වීම නිසා අපි විරහව කියලා වරදවා හඳුන්වාගත් වෛරී හැඟීම ද? තමන් ආස කළ දෙයක් අහිමි වීමේ කේන්තිය ද?

ආදරය කියන හැඟීම කොහොමද ඉවර වෙන්නෙ? මට ඒක තේරෙන්නෙ නෑ. මම මා තුළින් නිපදවා ලෝකයට, යම් විශේෂ කෙනෙකුට ලබා දෙන ආදරය, කොන්දේසි විරහිතව ඉපදුණ හැඟීම, මං ආදරය කරන කෙනා පෙරළා ආදරය නොකිරීම හේතුවෙන් ඉවර වෙන්නෙ කොහොමද? එහෙම අවසාන වෙන්නෙ ආදරය නෙවෙයි. ආශාව. බිස්නස්. නොගැළපීම හෝ වෙනයම් හේතුවෙන් දෙන්නෙක් වෙන් වෙද්දි ආදරය අවසන් වෙලා වෛරයක් ආරම්භ වෙනවද? නෑ. එහෙනම් තිබිලා තියෙන්නෙ බිස්නස් එකක්. ආශාවක්. අපි අර ඇයව හෝ ඔහුව අහිමිවීමේ වේදනාව කියලා හැරයාම වෙනුවෙන් වෛර කරන්න පෙළඹෙන මොහොත ඇති වෙන්නෙ, මට ‘අයිති ව, හිමි ව තිබූ වස්තුව’ අහිමි වීමේත්, අනෙකා හවුල් ව්යාපාර ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කිරීමත් නිසා ඇතිවෙන ‘මදිකම, හිස්තැන, පාඩුව’ මකා ගැනීමේ ප්රයත්නයක් වශයෙන්. අපිට ඔතන මඟ හැරුණ කාරණාව වෙන්නෙ, ඇය හෝ ඔහු කිසිම දවසක ‘මගේ’ වෙලා හෝ ‘මට අයිති මගේ වස්තුව’ වෙලා හිටියෙ නෑ කියන එක. මම ආදරය කළ කෙනාත් මාත් අතර කිසිම දවසක ගිවිසුමක් නොපැවති බව. ඔය විවාහය සහ විවාහ සහතිකය කියන එක මහා විහිළුවක් වෙන්නෙම ඔන්න ඔය නිසා. අපිට එතනදි විරහව මග හැරෙනවා.

එතකොට විරහව කියන්නෙ? විරහව කියන්නෙ මට මාව අහිමිවීමේ වේදනාව මිසක් මං ආදරය කරන කෙනා වෙන කෙනෙකුට හිමි වීම නිසා ඇතිවෙන වෛරී චේතනාව නෙවෙයි. මම ආඩම්බරයෙන් හුන්, සන්තුෂ්ටියට පත් වූ, ආදරය කළ මා තවදුරටත් මා ලඟ නොමැති වීම, ගේ නික්මයාම හමුවේ මම තවදුරටත් සම්පූර්ණ පුද්ගලයෙකු නොවීම; එතනදියි විරහව හටගන්නෙ. ඇය නැතිව මට ‘මම’ වෙන්න තියන නොහැකියාව නිසා. විරහව රසයක් කියලා කිව්වෙ ඒ නිසා. නමුත් ‘ඔබට සතුටුයි ද දැන්?’ කියන්නෙවත්, ‘මං වගේ කෙනෙක් ආයෙ උඹට ලැබෙන්නෙ නෑ’ කියන්නෙවත්, ‘උඹට මේවට හොදවයින් හම්බවෙයි’ කියන්නෙවත් විරහව නෙවෙයි. එතන තියෙන්නෙ තමන් ‘හිමිකාරිත්වය’ දරනවා කියලා තමන් හිතන් හිටපු ‘වස්තුව’ නොලැබී යාමේ දුක. ඒ හේතුවෙන් හටගත් වෛරය. විරහ රසය මඟින් ආදරය සදාකාලිකත්වයට පත් කරද්දි වෛරය මඟින් වෙන්නෙ ආදරයත් ආත්මයත් විනාශ වෙන එක.

දැන් මෙහෙම කිව්වත් කෙනෙක් කියන්න පුළුවන් ‘ඔය කියන කතා ප්රායෝගික නෑ, මාව රවටලා අත්හැරලා ගිය කෙනා නිසා මං වේදනාවට පත්වෙනවා, ඒ වගේම මම කේන්තියෙන්.’ කියලා. ඔතන තියෙන්නෙත් අර කතාවමයි. හිමිකාරීත්වය පිළිබඳ ප්රශ්නයක්. යථාර්තයට මුහුණ දෙන්න ඇති නොහැකියාව පිළිබඳ ප්රශ්නයක්.

ඔයාට හෝ මට හිමි නැති දෙයක්, කෙනෙක් අහිමිවෙන්නෙ කොහොමද? ආදරය කියන්නෙ ‘හිමිකම’ සම්බන්ධ කාරණාවක් වුණේ කොහොමද? ආදරය කියන්නෙ ආදරය සම්බන්ධ කාරණයක්. ෆේස්බුක් එකේ දාන රිලේෂන්ශිප් ස්ටේටස් එකකට තියා කසාද සහතිකේටවත් හැකියාවක් නෑ ආදරයේ සීමා මායිම් හෝ නීති රීති සටහන් කරන්න. ගිවිසුම් කාලයක් සටහන් කරන්න. ඇයට හෝ ඔහුට ආදරය දෙන්න. ආදරය විඳින්න. ඔයාට හෝ අනෙකාට එතනින් යන්න වුවමනා වෙනකම් ආදරය කරන්න. ආදරය සදාකාලිකයි. නමුත් මම හෝ ඔබවත්, ඇය හෝ ඔහුවත් සදාකාලික නෑ, එහෙම විය යුතුත් නෑ. ඇයට යන්න දෙන්න හැකි තරමට, ඔහුව අත්හරින්න හැකි තරමට ආදරය කරන්න. ආදරය සදාකාලික වෙන්නෙ එතකොට.

සංගීත ප්රසංගයක් අවසානයේ අපි සංගීතය අවසන් වීමේ, නොඇසී යාමේ දුකෙන් තැවෙන්නෙ නෑ. වෛර කරන්නේ නෑ. අපිට එතනදි දැනෙන්නෙ සැනසීමක්, සතුටක්. හේතුව, දැන් අවසන් වී තිබුණත් අපි ඒ සංගීතය රස විඳීම, ඒක අමතක නොවෙන හිත සුවපත් කළ අත්දැකීමක් වීම, හදවත ස්පර්ෂ කළ ප්රේමයක් වීම. ආදර සබඳතාවක් කියන්නෙ ඊට ගොඩක් වෙනස් දෙයක් ද? අපි අර සබඳතාව ඇතුලෙ විඳපු සතුට, ආදරය, සැනසීම, හැඟීම් සමුදාය ආදී වශයෙන් ලද අත්දැකීම ගැන සැනසීමට, ඒ රස වින්දනයට කෘතඥ වෙන්න අපට බැරිද?

ඇයත් සමඟ ඉර බැහැගෙන යන සවසක ඉස්සො වඩේ එකක් කන ගමන් ගෝල් ෆේස් එකේ බෙන්ච් එකක හිටියනම්, උරට උර තියාගෙන තමන් ආස කරන චිත්රපටියක් බැලුවා නම්, ඇස් දෙකට එබීගෙන මොහොතක් හෝ ආදරෙන් ගත කළා නම්, ඔයාගෙත් මගෙත් ආදරය සදාකාලිකයි. ඒ අත්දැකීම්, මොහොතවල් මතක් කරලා තමන් ඇයත්, ඔහුත් සමඟ ඒ මොහොත ගත කිරීම ගැන සතුටු වෙන්න පුළුවන් නම් ආදරය අමරණීයයි. විවාහ වෙලා අවුරුදු පණහක් එකට ජීවත් වුණ පමණින් හෝ දරුවන් වැදූ හැදූ පමණින් ආදරයක් අමරණීය වෙන්නෙ නෑ. අඩුම ගානෙ එතන ආදරයක් පවතින්නෙවත් නෑ. ඒ සරල සත්යය තේරුම් ගන්න.

ඇය ගියාට පස්සෙ මං මොකක්ද කරන්නෙ? අහිමිවීම ගැන වෛරයෙන් පසුවෙන එක? එහෙම නැත්නම් දුකෙන් වේදනාවෙන් හඬා වැලපෙන එක? තමන් ගැනම වූ අතිශය අනුකම්පාවෙන් ඔද වැඩිලා විනාස වෙලා යන එක? නෑ. එතන ආදරයක් නෑ. ජීවිතයක් නෑ. අඩුම ගානෙ විරහවක් නෑ.

සතුටු වෙන්න. ඇයව මුණ ගැහුණ එක ගැන. ඔහු සමඟ ජීවිතයේ සුන්දර අත්දැකීම් බෙදාගන්න හැකිවීම ගැන සතුටු වෙන්න. එතකොට ඇය ඔබව හැරදා ගිය එක? ඒ ගැන? ඒ ගැන සතුටු වෙන්න. තමන් ඇයට ආදරය කළා නම් ඇගේ සතුට සොයා යාම වෙනුවෙන් සතුටු වෙන්න. සුභ පතන්න. තමන් ආදරය කළ කෙනාගෙ අනාගත සතුටට එරෙහි වෙන්න ආදරයෙන් පිරුණ මනුස්සයෙක්ට පුළුවන්ද?

විරහ රසය විඳින්න. තමන්ගෙන් වෙන්වූ ආදරවන්තිය ගැන තව අවුරුදු විස්සකින් මතක් කරලා සතුටු වෙන්න. පපුව හූරගෙන යනව විරහ රසය විඳින්න. ආදරය සදාකාලිකයි කියලා අපි දැනගන්නෙ එහෙම. නමුත් දුක් වෙන්න හෝ වෛර කරන්න එපා.

කෙස් ගහක වෙනසක් තියෙන්නෙ ‘ආදරය’ සහ ‘වෛරය’ අතර නෙවෙයි. ‘ආශාව’ සහ ‘වෛරය’ අතර බව මං කිව්වා. මොකද ආශාව සදාකාලික නෑ, අමරණීය නෑ. ආශාව අනෙකාගෙන දේවල් බලාපොරොත්තු වෙනවා. ආශාව හිමිකාරිත්වයක් ඉල්ලනවා. ගිවිසුමක් ඇති කරගන්නවා. හුරු පුරුදුයි වගේ නේද? ඒ අපි මෙච්චර කල් ආදරයත් ආශාවත් පටලවාගත් නිසා. ආශා කළ දෙය, හිමිකම අහිමි වුණාම අපි දුක් වෙනවා, වෛර කරනවා. ආදරය තියෙන්නෙ ඊට වඩා ගැඹුරු තැනක.


අත් හරින්න පුළුවන් තරමට ආදරය කරන්න.

Comments

  1. ath harinna puluwan tharamatama adaraya kala bawa wataheemata metharam kalak gatha wuye kimada nodanimi..
    wasara 6kata pasuwa premaya kumak dei soya gaththemi..
    kathuwaraya,ebawin obata mama thuthi pudannemi...

    ReplyDelete

Post a Comment