සැලකර සිටින වග නම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිරි තේ සන්ධානගත වූ වගයි!




කිරි තේ සන්ධානය, සිංහලෙන් කියනවනම් Milk Tea Alliance කියන්නෙ තායිවානයෙන් ඇරඹි, මූලික වශයෙන් තායිවානය-හොංකොං-තායිලන්තය යන රාජ්‍යයන් වල අන්තර්ජාල භාවිතා කරන්නන් (Netizens) විසින් පිහිටුවාගත් ජනතා ව්‍යාපරයක්.

දැන් හොං කොං රාජ්‍යය කියන්නෙ වසර 156ක පමණ බ්‍රිතාන්‍ය පාලනයකින් අනතුරුව නැවතත් චීන රජය වෙත භාර දුන් පාලන ප්‍රදේශයක්. මේ පවරා දීමෙන් අනතුරුව චීන මධ්‍යම රජයෙන් හොං කොං වැසියන්ට සිදුවෙන විවිධ අකටයුතුකම් හේතුවෙන් විටෙන් විට ගැටළුකාරී තත්වයන් උදාවෙනවා. 2019 උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වෙන්නෙත් මූලික වශයෙන් හොං කොං රජයෙන් සම්මත කරන්නට යෙදුණ පිටිවහල් කිරීමේ නව වෙනස්කම් සහිත පණතක් (Fugitive Offenders amendment bill) හේතුවෙන්. ඒ වගේ ම ඒ හා සමඟ වන මධ්‍යම රජයේ බලපෑමත්, සිවිල් නිදහසට එල්ල විය හැකි බලපෑම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හේතුවෙන්.

2020 වසර ආරම්භයේ දී තායිවාන නළුවෙක් වන Vachirawat “Bright” Cheeva-aree විසින් ට්විටර් අඩවියේ පීන්තූරයක් පළ කරනවා, මේ පින්තූරයේ හොංකොං රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙනවා. මේ සිදුවීමට චීන අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි විරෝධයක් දක්වන්නේ බ්‍රයිට් ගේ නාට්‍යයන් වර්ජනය කරන ලෙස කියමින්. ඒ අවස්ථාවේදී බ්‍රයිට් සමාව ඉල්ලමින් අදාල පින්තූරය ඉවත් කරගන්නවා. නමුත් පසුව චීන නෙටිසන්ස්ලා හොයාගන්නවා 2017 දි බ්‍රයිට් ගේ පෙම්වතිය Weeraya “New” Sukaram කියන නිරූපිකාවගේ තායිවානය ස්වාධීන රාජ්‍යයක් බව හැඟවෙන ට්විටර් පණිවිඩයක්. ඒ සමඟ ඔවුන් දෙදෙනාට එරෙහි ප්‍රහාර නැවතත් ඉහළ යනවා. මේ අවස්ථාවේදි තායි අන්තර්ජාල භාවිතා කරන්නන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. බැංකොක් හි චීන තානාපති කාර්යාලය මඟින් තායි නෙටිසන්ස්ලාගෙ ක්‍රියාකලාපය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ මෙම ඝට්ටනය තායි නෙටිසන්ස්ලා සහ චීන එම්බසිය සමඟ සටනක් බවටත් අනතුරුව චීනයේ පුද්ගල නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් එරෙහි ක්‍රියාකලාපයන්ට විරුද්ධ සටනක් බවටත් පත්වෙනවා. මේ අවස්ථාවේ දී හොංකොං සහ තායිවාන නෙටිසන්ස්ලා මේ සටනට එකතු වෙන්නෙ තායි නෙටිසන්ස්ලා හට සහය දක්වමින්. ටෙලිග්‍රාෆ් පුවත්පත හැඳින්වූ ආකාරයට මේ සිදුවීම ප්‍රාදේශීය (දකුණු-නැගෙනහිර ආසියාතික ) ‘පොදු අරමුණක් වෙනුවෙන් පුරවැසියන් එකතු වූ දුර්ලභ අවස්ථාවක්.’ ඒ වගේ ම 50 Cent Party සහ Little Pink සංවිධානයන්ට ප්‍රතිචාර දක්වමින් චීන අන්තර්ජාල ට්‍රොල්ස් ලට විරුද්ධව සන්ධානගත වූ ‘ස්වෙච්ඡා අන්තර්ජාල හමුදාවක්’ වශයෙනුත් කිරි තේ සන්ධානය පුවත්පත් මඟින් හැඳින්වුණා.




මූලිකව මර්ධනකාරී චීන ක්‍රියාකලාපය ට විරුද්ධව හඬක් නගන්නට කටයුතු කළ කිරි තේ සන්ධාන ක්‍රියාකරුවන් මාස කිහිපයක් ගත වන විට පියවරක් ඉදිරියට තබමින් දකුණු-නැගෙනහිර ආසියාතික කලාපයේ ඒකාධිකාරිවාදී, පුද්ගල නිදහස මර්ධනය කරන, බලය අවභාවිත කරන පාලකයන් සහ පාලන තන්ත්‍රයන් ට විරුද්ධව නැඟී සිටින්නන් බවට පත්වෙනවා.

මින් පසු ගතවන සති ගණනාව තුළ කිරි තේ සන්ධානය වෙත ඉන්දු-චීන අර්බුදයන් සමඟ තායි නෙටිසන්ස්ලා වෙත සහය දැක්වූ ඉන්දියානු නෙටිසන්ස්ලා සමඟින් තවත් ආසියාතික රටවල් කිහිපයක් එකතු වෙනවා. ඒ වගේ ම පිලිපීනය, වියට්නාමය, කැම්බෝඩියාව ඇතුළු රටවල් කිහිපයක නෙටිසන්ස්ලා කිරි තේ සන්ධානය වෙත සහය පළ කරන්නට කටයුතු කරනවා. මීට අමතරව 2020 බෙලාරුසියානු ජනාධිපතිවරණයත් සමඟ බෙලාරූස් රජයටත් සවැනි වරටත් ජනාධිපති බවට පත්වන ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කො හටත් විරුද්ධව ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරයන් සමඟ සමහර නෙටිසන්ස්ලා විසින් බෙලාරුසියානු රයිෂෙන්කා කිරි, කිරි තේ සන්ධානයට ඇතුලත් කරගනිමින් විරෝධතාකරුවන් හට සහය පළ කරන්නට යෙදුණා.

කිරි තේ සන්ධානය අපූර්ව ලක්ෂණ කිහිපයකින් යුක්ත වෙනවා. එකක් තමයි ඔවුන්ගේ සන්ධානයේ නාමකරණයේ පටන්ම ඔවුන් නිර්මාණශීලී වීම. තමනට මුහුණ දෙන්නට අපහසු වියරු මෙන්ම බලවත් සතුරෙක් හට මුහුණ දීමට තමන් නිර්මාණශීලී විය යුතුව තිබුණ බව තායි නෙටිසන් කෙනෙක් කියනවා. ඒ වගේ ම නාමයේ පටන්ම ඔවුන් සිත්ගන්නාසුළුයි. කිසිවෙකු හට තමන් තර්ජනයකට මුහුණ පා බවක් දැනෙන්නේ නැහැ. තවත් විශේෂ කාරණයක් වෙන්නෙ කිරි තේ සන්ධානය ප්‍රාදේශීය සීමාවන් ඉක්මවා යමින් කලාපීය සහ අන්තර්ජාතික තලයකින්, මුහුණුවරකින් තම අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාමූහික සටනක නියුතුව සිටීම. සාමාන්‍යයෙන් කිසියම් සන්ධානයක නායකත්වය දරන්නෙකු හෝ කිහිප දෙනෙකු සිටිනවා, නමුත් කිරි තේ සන්ධානය කිසිදු නායකයෙකුගෙන් හෝ නායක මණ්ඩලයකින් තොරව ඉතාම සාර්ථක ලෙස කටයුතු කරනවා. මින් පෙර හොංකොං, තායි උද්ඝෝෂණයන්හි දී සිදු වූ අයුරින් ව්‍යාපාරයේ නායකයන් මර්ධනය කරමින් ව්‍යාපාරය අඩපණ කරන්නට මෙවර රජයට සහ විරුද්ධවාදීන් හට අවස්ථාවක් ඔවුන් ලබා දෙන්නේ නැහැ.


කිරි තේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකාව


දැන් ලංකාවට එද්දි ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන්නෙ අවස්ථාවාදී දේශපාලකයන් විසින් අවභාවිත කර විහිළුවක් බවට පත් කරන ලද සංකල්පයක්. එහි ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ හමුදා පාලනය, ඒකාධිපතිවාදය, ජාතිවාදය, ආගම්වාදය, සහ රාජ්‍ය මර්ධනය වැනි නිදහස් ලෝකය ප්‍රතික්ෂේප කළ යුතු වැඩවසම් සංකල්පයන් ලංකාවේ පුරවැසියන් යහපත් සංකල්පයන් ලෙස වටහා ගැනීම. තමන් යහපත් ලෙස වටහාගෙන සිටින රාජ්‍යය මඟින් සිදු කරන මර්ධනය, අකටයුතුකම් හෝ තමන්වම පීඩාවට පත්වෙන ඒකාධිපති ලක්ෂණ සහිත රාජ්‍ය තන්ත්‍රයන්ට ඔවුන් විරුද්ධ වෙන්නේ නෑ. ඒවා ට තවත් සහය දක්වනවා පමණයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමන් පීඩාවට පත්වීම ඔවුන් හට මඟ හැරෙනවා. එයට ප්‍රධාන හේතුව වෙන්නෙ ඔවුන් තම තමන්ව පුද්ගල ඒකක ලෙස පමණක් දැකීමත්, සමස්තයක් වශයෙන් ඔවුන්ගේ පුද්ගල තීරණ සමාජය කියන විශාල තනි ඒකකයට බලපාන බවත් තමන් එහි කොටසක් බවත් නොදැකීම. කලකට ඉහත එක් දේශපාලකයෙකු වෙනුවෙන් මරණයට පත් වූ ආධාරකරුවෙකුගේ නිවැසියන් අද වෙද්දි කරන්නෙ එම මිනීමරුවාත් තමන් සහය දැක්වූ දේශපාලකයත් එකට වැජඹෙද්දි ඒ දෙස බලා වැලපීම. එමෙන් ම තමන් විසින් ඡන්දය පළ කරමින් තෝරා පත් කරගත් රාජ්‍ය තන්ත්‍රය විසින්ම තමන්ගේ ජීවිකාවටත් එදිනෙදා දිවියටත් බාධා කරමින් කටයුතු කිරීමට, පොරොන්දු කඩ කිරීම් වලට මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදු වී තිබෙනවා. හේතුව වෙන්නෙ, සාමුහික ඒකකයක් ලෙස සියල්ලන්ටම යහපත් වන තීරණ ගැනීමේ නොහැකියාව.

ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතයට සහ අවතක්සේරු කිරීමට හේතු සාධක වෙන්නෙ සමාජය විසින් සැබෑ බලය පවතින්නේ තමන් අත බවත් තමන් හටද තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් ඇති බවත් නොදැන සීටීම. ඒ වගේ ම තොරතුරු සහ දැනුම අතර වෙනස නිවැරදි ලෙස ග්‍රහණය කර නොගැනීම. එහෙම සඳහනක් කරන්න හේතුව වෙන්නෙ පාලකයෙකු හට යටහත්ව සිටීම වුවමනා නොවන බව, තමන් මෙන්ම අනෙකා ද තමන් මෙන්ම අයිතීන් සඳහා හිමිකම් කියන බව, සංස්කෘතිය ජාතිය ආගම ආදී සංකල්පයන් නිරතුරුව විකසනය වෙමින් පවතින්නා වූ ලක්ෂණ බව තේරුම් නොගැනීම. සියළු දෙනාට සම අයිතීන් ඇති සමාජයක වටිනාකම වැඩවසම් සමාජයක පුරවැසියෙකුට වටහගාන්න අපහසුයි. තොරතුරු නිරත්තරව අප අවට තියනවා. නමුත් දැනුම, ප්‍රඥාව, බුද්ධිය සඳහා වෙහෙස විය යුතුයි. මෙතන දි බුද්ධිය හෝ දැනුම යනුවෙන් අදහස් කරන්නේ සමාජීය දැනුම. බුද්ධිය හීන තොරතුරු ගබඩාවන් නොමඟ යැවීම දේශපාලකයෙකු හට ඉතාම පහසුයි. එවන් සමාජයක කිසි දිනෙක සාධාරණ නායකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිවන්නේ නැහැ. මේ හේතුව නිසාවෙන් අපට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද සහ එහි වටිනාකම තේරුම් ගැනීම සඳහා අරගලයක නිරත වීමට.




ඒකාධිපතීත්වයට, මර්ධනයට විරුද්ධ වන්නට නම් ඒවායේ ඇති භයානකකමත් අයහපත් ප්‍රතිඵලත් අවබෝධ කරගෙන සිටිය යුතුයි. ලංකාවේ පසුගිය කාලයේත් සමහර විට මේ වෙද්දිත් සමහරුන් අතර අදහසක් පවතිනවා හමුදා පාලනය ඉතාමත් යහපත් බවට. යුද්ධ හමුදාව කියන ආයතනය වෙනුවෙන් ඉතාමත් ඉහළ තැනක් ඔවුන්ගේ සිත් තුල පවතිනවා. ඒ ලබාගත් යුධ ජයග්‍රහණයත් ඒ වගේ ම ඔවුන් සිවිල් සමාජය කරදරයන් හට මුහුණ පෑ විට ඔවුන් සමඟ කටයුතු කරන ආකාරයත් නිසා. පොලීසිය සමඟ ජනතාවට තියන සිත් නොහොඳ කම හමුදාව වෙනුවෙන් පවතින්නේ නැහැ. මෙන්න මේ තත්වයත් සමඟ සමාජය හිතනවා හමුදා පාලනය ඉතාමත් සුන්දර අදහසක් බව. ඉන් පසු ‘තමන්’ හට ඉතාමත් සාධාරණ සහ සන්තුෂ්ටිදායක දිවි පෙවෙතක් ලබා ගැනීමට හැකිවේවි කියලා. සමාජය නොහිතන සහ ඔවුන්ට නොදැනෙන දේ වෙන්නෙ යුධ හමුදාව යනු ඇත්ත වශයෙන්ම යුද්ධය වෙනුවෙන් නිර්මාණය කල ‘හමුදාවක්’ බව. එහි අර්ථය වෙන්නෙ තමන් හට ලැබෙනා යහපත් හෝ අයහපත් අණ/විධාන අනුව කටයුතු කළයුතු බව. සුවච කීකරු ලෙස හැසිරෙන්නට අණ කළ විට එලෙසත්, වන මෘගයෙකු ලෙසට හැසිරීමට අණ කළ විට එලෙසත් හැසිරෙන වග. එමෙන්ම අපට උදාහරණ වශයෙන් හමුදාව තමන් නිලධාරයෙකු හට යටත් හමුදාවක්ම පමණක්ම බව පෙන්වමින් මෘග හැසිරීම් පළ කල අවස්ථාවන් දක්නට තියනවා. රටක ආරක්ෂාවට මිසක පාලනයට හමුදාව කියන ආයතනය සුදුසු නොවන්නේ එම නිසා.

නමුත් යුධ හමුදාවටත් වැඩියෙන් ප්‍රභල ආයතනයක් පවතින බව අපි අමතක කරනවා. ඒ අප සියල්ලන් අයත් සමාජ තන්ත්‍රය. එමෙන්ම දේශපාලකයන් යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නියෝජිතයන් පමණක් බවත් ඔවුන් කරා බලය පවත්වන්නට ද බලයක් සමාජයට ඇති බවත් අපි අමතක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ත් සාමූහිකත්වයේ ත් වටිනාකම තේරුම්ගෙන රාජ්‍ය මර්ධනය සහ අකටයුතුකම් වලට විරෝධය දක්වන්නටත්, වඩාත් යහපත් ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයක් දක්වා ‘රජය මෙහෙය්වන්නටත්’ ජනතාවට බලය තියනවා. නිර්මාණාත්මක කිරි තේ සන්ධානය අපට ඒ වග නැවත මතක් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය සැලකීමේ දී අප නිතර වටහා නොගන්නා කාරණයක් තියනවා. එනම් ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ මා වෙනුවෙන් පමණක් නොවන බව. ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අනෙකාගේ සහ සමස්තයේ සුභ සිද්ධිය උදෙසා. බහුතරයේ පමණක් නොව සුළුතරයේ ද අයිතිවාසිකම් උදෙසා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක මනුෂ්‍ය අයිතිවාසිකම් විඳීමේ අයිතිය පවතින්නේ රටේ ඉහළ ස්ථරයන් වන පාලකයන්, ගිහි පැවිදි නායකයන් හට පමණක් නොවෙයි, රටේ පහළම ස්ථරයක් වන සිරකරුවාට ද එම අයිතිය පවතිනවා. කිරි තේ සන්ධානයේ විරෝධතාකරුවෙක් මෙහෙම අදහසක් පළ කරනවා.

“ප්‍රජාතන්ත්‍රවාදය යනු විශ්වීය සංකල්පයක් බව මේ සන්ධානය ඔප්පු කරමින් සිටිනවා. සියළුම දෙනා හට තම සිහිනයන් සැබෑ කරගන්නට හැකිවෙන එකම ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පමණයි.”

Comments