Dead Roses

 


'මං යන්නම්.. ' දුරකථන තිරය වේලාව උදෑසන 10 බව දන්වයි. මම නැගී සිටිමි. 

'අද යන්න ඕන නෑ.' ඇය අතකින් අල්ලා අදියි. 'අද මෙහෙම ඉමු.' 

ඇය ඇඳ මත හිඳගනියි. මුහුණ කළුවර ය. නිරුවත් ලැම වැසුණ රෙදි කඩ සුරතින් අල්ලාගෙන. මම ඇය වෙත නැඹුරු වෙමි. නළලත සිප ගනිමි. 

'බෑනෙ. වැඩ වගයක් තියනවා.' 

මුහුණ සෝදාගන පැමිණ කළු කමිසය ද ඩෙනිම ද හැඳ ගමි. 'කළු කමිසෙ ඇන්දම ලස්සනයි.' කවුරුන් හෝ එහෙම කිව්වා මතක ය. ඇය සාදා දුන් කිරි කෝප්පය උගුරු දෙකට බොන මම ඇගේ බෝඩිම් කාමරයෙන් පිට වෙමි. 


පැය දෙකක ඇවෑමෙන් පුරහල හන්දියෙන් බසයෙන් බැස ගමි. විහාරමහාදේවි සෙවණෙහි වන කෑම ලොරිය වෙත ගාටමි. 

'රෝල් එකයි ගෝල්ඩ් ලීෆ් දෙකයි' 

පාර අයිනේ සිතුවම් වල වර්ණ ගැන්වුන ලෝකයන් ය. සද්දන්ත අලි ඇතුන්. ආඩම්බරකාර පක්ෂීන්. පිටුපහ හැරී සිටින තරුණියක්. ඇගෙන් අඩක් නිල් පාට ය. මම ඉදිරියට ඇවිද යමි. විටෙන් විට එහා මෙහා යන පෙම් යුවල් දකිමි. බංකුවක් මත ගස් කොටයක අසුන් ගෙන එකිනෙකාට තුරුළු වී හිඳින පෙම්වතුන්ගේ සැනසීම තේරුම් ගන්නට වෑයම් කරමි. 

මම තවත් ඉදිරියට යමි. විසල් වෘක්ෂයක් පාමුල ඇය සුපුරුදු පරිදි අසුන්ගෙන ය. අවට ලෝකයෙන් මිදෙන ඈ එහි හිඳ පොත් වලට ආදරය කරයි. 

'කොහොමද?' මම ඇගේ දැහැන බිඳින්නට තතනමි. 

පොත් පිටුවක අකුරු අතර ඇය ගව් ගණනක් එපිට ගොසින් ඇතුවා නිසැක ය. නොපෙනෙනා දුරක ඇති විශ්වයක, ආදරය සහ මායාවන් අතර. වීරයන් සහ වීරවරියන් අතර ගැටෙමින්. 

'හායි.. ' පිටව යන්නට නොහැක. 

'ආ... හලෝ.. ' දිදුලන ඇස්. මායාවෙන් බැඳි දෙතොල්. ආලවක දමනය විය. 

'කොහොමද? සොරි .. මේ... පොතේ හිරවෙලා හි... ' කියවමින් හුන් පිටුව ට ඇඟිල්ලක් තබාගන පොත හකුලයි.

'ආ.. ඒකට මොකද.. කමක් නෑ.. කොහොමද ඔයාට?' 

'හොඳින්. කොහෙද මේ? ආ... පුස්තකාලෙ?'

මම 'ඔව්.' යි හඟිමි. 

'හොඳයි.' පොත දිග හැරේ. 

'යන්නම්.' 

'හා.'


මම පුස්තකාල භූමියෙහි කිහිප විටක් එහේ මෙහේ ඇවිදිමි. රෝල් එක කමි. සිගරැට්ටුව උරමි. ආපසු එමි. ඇයව පෙනෙන දුරකින් නැවතී ගල් බංකුවක් මත හිඳ ගමි. 

පොතෙහි අතරමං වූ ඇය විඳිමි. දුරින් හිඳ බලමින් මා ද මහා ආදරවන්තයෙකැයි සැනහෙමි. තමන් හට ආදරය කරන, තමන් හට හිමිවන, ඇගේ තුරුලේ සැනහෙන්නට හැකි අයෙකු හට ආදරය කරන්නට ඕනෑම මිනිසෙකුට හැකි ය. එහෙත්, තමන් හට හිමි නොවන, ආදරය නොකරන, තමන්ගේ ආලය නොදන්නා කෙනෙකු හට ආලය කිරීම වඩා පරාර්ථකාමී ආදරය යැයි ද වඩාත් ශ්‍රෙෂ්ඨ ආලය යැයි ද හඟිමි. සැනසෙමි. 

ඇය පිටු අතරින් ඇස් ඉවතට ගන්නේ කලාතුරකිනි. එ ද සිහින් ඔරලෝහුව දෙස බලන්නට ය. මම ද දුරකථනයෙන් වේලාව පිරික්සමි. සවස 03.00 යි. ඇය මගේ නොවන බව සැක හැර දැනෙන්නට මිනිත්තු කිහිපයක පමාවක්. 

පිටෙහි එල්ලාගත් බෑගයක් ද ඇය වෙනුවෙන් ගත් මල් කළඹක් සුරතින් ද රැගෙන ඔහු පැමිණෙයි. පිටෙහි එල්ලාගත් බෑගයක් ද ඇය වෙනුවෙන් ගත් මල් කළඹක් සුරතින් ද රැගෙන ඔහු පැමිණෙයි. කිසිවකට වෙන් කරන්නට බැරි වෙතැයි සිතූ පොත පසෙකින් තබන ඇය ඔහු හා ආල හැඟුම් හුවමාරු කරගනු බලා සිටිමි.


මම බසයේ ජනේලය අසල අසුනක හිඳ පසුවෙමින් යන සියල්ල දෙස, නොපෙනෙනා සියල්ල දෙස ද, ඈත ක්ෂිතිජය දෙස ද බලා හිඳිමි. දුරකථනය නද දෙයි.

“හෙලෝ.”

“එන්න වෙලා යනවද?” ඇය විමසයි.

“නෑ දැන් ලඟයි.”

“හ්ම්ම්.”

රාත්‍රියේ ඇය විසින් සාදා දෙන ආහාරය ද විද ඇගේ පසෙකින් නිදමි. තමන් හට ආදරය නොකරන කිසිවෙකුට පෙම් බඳින ඇය ශ්‍රේෂ්ඨයැයි හඟිමි.


Comments