දේව උදහස

(Image : Tare Sameer Par)
‘ඇත්තටම ෆාදර් ඕවා දේව උදහසට හේතු වෙන කාරණා. ඔය බොනිෆස්කාරයා පහුගිය ඡන්දෙ පරාද වුණේම ඕකයි. දේව උදහසට ලක් වෙලා. අපේ පක්ෂ නායකතුමා තරයේ විරුද්ධ වුණා මේ අසරණ මිනිස්සුන්ව හූරන් කන එකට.’

ඝන රවුලින් යුත් මුහුණ දහදියෙන් දිදුලයි. නෙත් කෙවෙනි රක්තවර්ණ ය. ශුද්ධ වූ පිනුම් යාර දෙකකට එපිටින් සිටි ගරු වින්සන්ට් පාදිලි තැන සිය කෙසඟ සිරුර හරි බරි ගස්සවා අසුනෙහි හිඳගත්තේ ය. සුදු කමිසයෙන් සැරසුණ මහ ඇමති දෙස බලා හිස වැනුවේ ය.

‘මම මේ අද ආධාර බෙදන්නත් එක්කම ආවෙ අපි මීසමේ මිනිස්සු ගැන හරියට හොයලා බලන්න එපැයි. ඒකයි. අනිත් එක ෆාදර් අපේ මේ ධර්මදාස මුදලාලි සෑහෙන ගාණක් වියදම් කළා අධාර වලටත්. ඒ මනුස්සයත් ඉතින් කන්න බොන්න එපැයි, ඒ? මිනිහා ඔය වැඩේ කාටවත් කරදරයක් නැතුව කරගෙන යයි. ෆාදර් ට තියෙන්නෙ මේ වැඩේට කැමැත්ත දෙන්න විතරයි. ස්කෝලෙ ලඟ වුණා කියලා මොකද අපි මේ නොදරුවන්ට අරක්කු පොවනවා කියලයැ. මම සිරිසුමන හාමුදුරුවො එක්කත් මේ ගැන කතා කරලා තියෙන්නෙ. අපේ මේ ඉන්ස්පෙක්ටර් මහත්තයා වුණත් අපි එක්ක ඉන්නවා.’

අළුතින් සවි කළ එල්.ඊ.ඩී. ආලෝකයෙන් දිදුලන කුරුසියෙහි අලෝකය පසෙක හිඳ සිටින මිනිසාගෙ මුහුණ රත් පැහැ ගන්වයි. ස්ථානාධිපතිවරයා විරිත්තුවේය. හිස නමා, ‘එහෙමයි.’

‘ම්ක්.. ර්හ්… දෙමව්පියොත් වැඩේට විරුද්ධයි ඇමති තුමා, මං කොයිකටත් කතා කරලා බලන්නම්කො.’
තදව ගිය දෙතොල් නැවතද මන්දස්මිත්යකින් පිරෙයි. දහඩිය පිසලන ලේන්සුව අනතුරුව සහචරයකු අතට පත් වෙයි.

‘ධර්මදාස මුදලාලි අර ස්කෝලෙ අළුත් ලැබ් එකේ වැඩේට උදව්වක් කරන්නත් කැමැත්තෙන් ඉන්නෙ. අපි ඒ මනුස්සයට උදව්වක් කරන එක වගකීමනෙ, නැද්ද? ඔය පර්මිට් එක වුණත් මම ගත්තට මිනිහටම භාර දීලයි තියෙන්නෙ. සත පහක්වත් ගන්නෙ නෑ මං.’

මහ ඇමතිවරයාගේ අනුග්රහයෙන් දේවස්ථානයෙහි සිදු කෙරුණ ආධාර බෙදා දීමේ වැඩසටහන නිම වන විට පාදිලි තැන හන්දියේ ඉදි කරන්න නියමිත නව පන්නයේ රෙස්ටොරන්ට් එක ගැන එක්සිත් ව තීරණයක් ගෙන තිබුණි. ආධාර ලබා ගත් මිනිසුන් එකා දෙන්නා දේවස්ථාන භූමියෙන් පිටව යති. දසන් විදහාගත් තරබාරු මුහුණක් ඇති ජනතාවගේ ආදරණීය නායකයා පසෙකින් ආ පොලිස් ස්ථානාධිපතිවරයා රැස්ව සිටි පිරිසට සමු දුන්නේ ය. ‘අද හොඳ දවසකි.’ ඔහු මහ ඇමතිවරයාගේ ඩිෆෙන්ඩරයට ගොඩ වූයේ ආඩම්භරයෙනි. ‘රාත්රී පාටියට මේ ගමන් ම යෑම යෙහෙකි. කොහොම ගියත් මහ ඇමති මන්දිරයට නොවැ.’

* * * *
පල්ලියේ සහනාධාර ලෙස වියලි ආහාර බෙදා දෙන බව කණ වැකුණ මොහොතේ ම ජොසපිනා හාමි ගමන පටන්ගත්තා ය. ඇන්තනී, තම පුත්රයා උදෑසනින්ම රාජකාරිය සඳහා නික්ම ගිය බැවින් මුණුපුරා ද පෙරටු කොටගත්තා ය. සිරුරෙන් සොළොස් හැවිරිදි වුව ද මනසින් සිව් හැවිරිදි වූ ඩිලන් තනිවම නිවසෙහි දමා යෑම කළ නොහැක්කකි. ඔහුගේ මව් ගැබිණිව සිටියදී පය ලිස්සා වැටුණෙන් ඔහුට එසේ වීලු. ඩිලන් උපත ලැබීමෙන් වසර කිහිපයක් ඇවෑමෙන් සිය දරුවා මන්ද බුද්ධික බව දැනගත් මව් හඬා වැළපුණා ය. ඩිලන් නව හැවිරිදි වන විට මව් ඔහු ද ඇන්තනී ද හැර වෙනත් දීගයක යන්නට ගියා ය. එවකට රජයේ ආයතනයක පියන්වරයකු වූ ඇන්තනී බිරිඳ හැර යාමෙන් ද මන්ද බුද්ධික දරුවෙකු සමඟ තනි වීමෙන් ද මානසිකව කඩා වැටුණේ ය. රැකියාව අහිමිවීමෙන් පසුව එවකට ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වූ මැල්කම් පෙරේරා වෙනුවෙන් වැඩ කරන්නට ඔහු හට කතා කළේ ධර්මදාස මුදලාලි ය. තමන් මහ ඇමතිවරයාගෙ දකුණු අතවන් මිනිසෙකු ඇසුරු කිරීම පිළිබඳ ඇන්තනී බෙහෙවින් ආඩම්භර වූයේ ය. ඇමතිවරයා වෙනුවෙන් ඉදිකරන නව ගොඩනැඟිල්ල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ඔහු එදින ද නික්ම ගියේ ය.

මිනිසුන්ගේ කෑ ගැසීම්, ගැහැණුන්ගේ විරෝධය පෑම්, දහඩිය ගඳ, මුහුණ ඉදිරියෙන් වේගයෙන් ඇදී යන අත්. ජොසපිනා හාමි ආධාර ලබා ගන්නට පොරකන මිනිසුන් අතර තෙරැපුණා ය. තමන් හට ඉදිරියෙන් යන්නී ස්වර්ණලතා ය. ආධාර බෙදීම භාරව සිටින්නේ පල්ලියේ පොඩි සුවාමි සහ පල්ලියේ බැතිමතෙකු වන වින්සන් ය. ස්වර්ණලතා ඉදිරියට ඇදෙනු ද මඳ වේලාවකින් පුළුටු වූ මුහුණින් යුතු ව හිස් අතින් නික්ම යනු ද ජොසපිනා හාමි බලා සිටියා ය. තමන් හට ලැබුණ වියලි ආහාර මල්ල ද රැගෙන මිනිස් පොරය අතරින් මිදුණු වියපත් කාන්තාව පල්ලියට ගොඩ වන දොරටු පඩියක් මත හිඳ ගත්තා ය. ඩිලන් තවමත් කාසියක් රැගෙන පල්ලියේ බංකුවක ඉරි අඳියි. තෑගි ලැබුණ අව් කණ්නාඩිය ඔහුගේ දෑස මත ය. කවදත් පල්ලියට ද ආගමට ද ලැඳි ජොසපිනා හාමි ආධාර බෙදීම අවසන් වන තුරු රැඳී පොඩි සුවාමි හට ද පල්ලිය තුල හුන් මහත්තුරුන් හට උවටැන් කරන්නට ඉටා ගත්තා ය.

‘ස්වර්ණලතා ආධාර නොගෙනම පිටව ගියේ ඇයි?’ ජොසපිනා හාමිගේ හිතට වදයකි. ඉවසා බැරිම තැන ඇය පොඩි සුවාමි වෙත පැනය යොමු කළා ය.

‘ඒ ගෑණු මනුස්සයා ආගමේ නෙවෙයි ලු නේද නැන්දේ?’ තවමත් තරුණ පොඩි සුවාමිගේ මුහුණ හැකිළෙයි.

‘අහ්.. ඔ.. ඔව් සුවාමි, ස්වර්ණලතා බුද්ධාගමේ නෙව.’ කටේ කෙළ සිඳුණ ජොසපිනා හාමි මුහුණ සඟවා ගත්තා ය. හද ගැස්ම හැල්මේ ඉහළ නඟින බව දැනෙයි. ‘අසරණ ගෑණි’

‘අපිට ඉතින් වින්සන් මහත්තයලව තරහා කරගන්නත් බෑනෙ නැන්දේ.’ වියපත් කාන්තාවගේ දෑස් මඟ හරින ජූඩ් රසල් පාදිලි තැන වියැලුණ සිනහවක් නඟා පිටව යයි.

උවටැන පසෙක හළ ජොසපිනා හාමි තම ආධාර මල්ල අතට ගත්තා ය.
‘වරෙන් කොල්ලො යන්න.’

* * * * * *
සේනාධීර තවත් රොටි කෑල්ලක් කෑවේ ය. ‘රොටි කෑල්ලක් එක්ක ලුණු මිරිස මරු පහර.’ ප්ලේන්ටියක් ද ගසා කුඩා අටල්ලෙන් එළියට පැමිණි උඩු රවුලින් යුතු සිවිල් ඇඳුමින් සැරසී සිටි ස්ථානාධිපතිවරයා දුම් වැටිය දල්වා ගත්තේ ය. ඇමති තුමා ඩිෆෙන්ඩරය තුළ ය. දීර්ඝ දුරකථන ඇමතුමක නිරත වෙන සෙයකි. දුම් උගුරක් අඳින තරබාරු මිනිසා කවුළුවෙන් පිටතට අළු කඩයි. සේනාධීර නැවතත් එදින ලැබෙන්නට නියමිත රටින් ගෙනා ‘මරු භාණ්ඩය’ කෙරෙහි අවධානය යොමු කළේ ය.

‘ඕයි.. ඕයි.. ‘ මිනිසා හැරී බැලුවේ කල්පනා ලොවෙන් වැටෙමිනි.

ඇමතිවරයා කිසිවෙකුට බැණ වදියි. සේනාධීර වටපිට බැලුවේ ය. අමුතු පෙනුමක් ඇති දඩාවතේ යන ගැටයෙකු කාසියකින් ඩිෆෙන්ඩරයේ බඳ සූරයි. ‘මූ යකෝ.’ සේනාධීර සිගරට් කොටයෙන් කොල්ලාට දමා ගැසුවේ ය. සුදුමැලි දෙතොලෙන් හැරී බැලූ ගැටයා බකල් ගමනකින් පලා යයි.

‘ඔහෙ හිටපන්.’ සේනාධීර කොල්ලාගේ කමිස කර ග්රහණය කරගති. ‘මොකක්ද පරයො ඒ කරපු වැඩේ? තෝ දන්නවද මේක කෝටි කීයක් ද කියලා, ඒ?’

මිනිසා මරුමුස් ගැටයාගේ ගෙලෙන් අල්වා ඇදගන විත් මුහුණ ඩිෆෙන්ඩර් බඳෙහි එබුවේ ය. ඔහු දෙස බැලූ අව් කණ්නාඩි පැළද හුන් කොල්ලා දත් විරිත්තුවේ ය. වෙවුලමින් නැඟී ආ සේනාධීරගේ අත ගැටයාගේ මුහුණ මත. සුලඟේ පාව ගිය ගැටයා හඬ නඟමින් ඩිෆෙන්ඩර් බඳෙහි ගැටුණි. ‘තෝ තව හිනා වෙන්නත් එනවද? දඩාවතේ යන හැතිකරේ.’

බිම ඇද වැටී හුන් ගැටයා කඳුළු පුරවාගෙන කෑ ගැසුවේ ය. කණකින් නැඟ ආ ලේ බිඳු කිහිපයක් ගුරු පොළොව තෙත් කළේ ය. ‘උඹ දන්නවද බල්ලො මේ වාහනේ කාගෙද කියලා? කට වහප්පරයා.’ දිග හැරුණ පය ගැටයා වෙත දෙතුන් වතාවක් ගමන් කර පමා විය. කොහෙන්දෝ ආ ගැහැණියක සේනාධීරගේ ඇඟේ එල්ලෙමින් විලාප තබන්නට වූවා ය.

‘කට වහන් පලයන් නාකිච්චි.’ කාන්තාව විසිව ගියා ය. ‘අයිසෙ ගුණතිලක, දාගනින් මේකව ජීප් එකට.’

ගැටයා වෙත පහත් වූ කොස්තාපල්වරයා විසල් දෑසින් සේනාධීර වෙත හැරෙයි. ‘සර් මූට අමාරුයි වගේ.’
‘අනේ සර් මයෙ කොල්ලා. ඕකට අසනීපයි.’ බිම වැදගත් වියපත් කත දෙ අත් පොළොවේ ගසයි.

‘මොකක්ද අයිසෙ මේ කරන්නෙ?’ කවුළුවෙන් මෑත් වන ගිනිගත් දෙනෙතින් යුතු තරබාරු මුහුණ ගොරවයි.

‘සර් ඇතුලට වෙලා ඉන්න. ඔය වීදුරුව වහගන්න.’ සේනාධීර කොස්තාපල්වරයා වෙත හැරෙයි. ‘අයිසෙ මේකව ජීප් එකෙන්ම අරන් යනවා හොස්පිට්ල්. ගමේ රණ්ඩුවක් වෙලා අරන් ආපු එකෙක් කියලා දාහන්. ඇමතිතුමා ගෙ නමවත් ගෑවෙන්න බෑ.’

ගැටයා ජීප් රියෙහි වැටී හුන්නේ කෙඳිරි ගාමිනි. ‘අම්මම්මේ.. ‘ නික්ම යන ජීප් රිය පසුපසින් විලාප තබමින් දිව යන වියපත් කාන්තාව හති වැටී මඟ ඇද වැටුණා ය.

* * * * * *
‘මෙහෙමයි ඇන්තනී, තමුසෙගෙ කොල්ලා කරලා තියෙන්නෙ වැරදි වැඩක්නෙ. ඕකට නිකම් පොලීසියයි මහ ඇමති තුමා එක්කයි පැටලෙන්න යන්න එපා. කොල්ලාට අනතුරක් නෑනෙ අයිසෙ. තව ටික දවසකින් හොඳ වෙයි. ඔය බය ගතියත් ඇරිලා යයි.’

කිළුටු වී ගිය සරමෙන් සැරසී හුන් මිනිසා තම මුහුණෙහි වූ ඉන්නා කැසුවේ ය. නටන්නට වූ ඇස පිරිමැද්දේ ය. වියලී ගිය හිස් බැල්මෙන් වටපිට බැලුවේ ය. ‘කොල්ලට වචනයක් කතා කරගන්න බෑ මුදලාලි දැන්. ඌ හයහතර නොතේරෙන අහිංසකයා. ඌට මොන එහෙකට එහෙම ගැහුවද? අපෙ අම්මත් එහෙමම මැරිලා ගියා. සේනාධීර මහත්තයට මං කොච්චරනම් කඹුරලා තියනවද? මැල්කම් මහත්තයත් දැන් මාව අතෑරලා.’

‘උඹ ආයෙමත්.. ‘ අක්බඹරු කෙසින් යුත් දේහදාරී මිනිසා සරම කැසපට ගසාගෙන ඉදිරියට පැන්නේ ය. සැලෙන දෙතොලට තරඟයට මෙන් ඔහුගේ දබරැඟිල්ල ද ලෙල දෙයි. ‘මං තොට සැරයක් කිව්වා ඇන්ටා. වෙච්ච දේ වුණා. අර වලපයයි ගොඩ පයයි ගෑණි මලාට අපි අහවල් දෙයක් කරන්නද? උඹේ කොල්ලා අහිංසකයා නිසා තමා මං මෙහෙමවත් උඹට කතා කරන්නෙ. ඌ කොහොමත් මොංගලයනෙ බාං. කතා කළා නොකළා කියලා වෙනසක් තියනවද? ඔන්න ඕක අතෑරලා දාහන්.’

ධර්මදාස කට කොණින් විරිත්තුවේ ය. ‘මං උඹට මොණර කොළ ටිකකුත් දුන්නානෙ ඒ.’ ඇන්තනීගේ වමැසෙහි කඳුළු බිඳුවක් නැටුවේ ය.

‘මැල්කම් මහත්තයා ඔය පුටුවට ගියේ අපේ කරපිටින්. මං උන්දැ වෙනුවෙන් කී දෙනෙක්ට තඩි බෑවද? උන්නැහෙට තිබුණා සේනාධීරට වචනයක් දෙකක්වත් කතා කරන්න. මෙහෙම අපිව කාණුවට දාන එක වැරදියි. මං අර තඩි බාප්… හුහ්.. ‘

පපුව මැදටම වැදුණු හෙණ සරයෙන් විසිව ගිය ඇන්තනී මිදුල මැද පත බෑවී ගියේ ය. කැඩී ගිය සරම් ගැටය තද කරගත් ඔහු නැඟී සිටියේ ය. කමිසය පිස දමා ගත්තේ ය. ගිනි නැඟෙනා දෑසින් ධර්මදාස මුදලාලි පිය නඟයි. ‘කරපු කියපුවා ගැන අතන මෙතන වහුරන්න ගිහින් මගෙන් මැරුම් නොකා හිටපන් ඇන්ටා. උඹ දන්නවනෙ මැල්කම් මහත්තයගෙ හැටි. ඔය දීපු තුට්ටු දෙකත් අරන් මකබෑවෙයන් මෙතනින්.’

කොර ගසමින් ගුරු පාර දිගේ ඇවිද යන මිනිසාගේ නිරුවත් දෙපයට පෑගෙන තෙත වැලි කැට ‘චිරි චිරි’ ගාමින් හැඬුවේ ය.


සේනාධීර තමන් හට ලැබුණ ‘රට බෝතලය’ තොල ගෑවේ තලු මරමිනි.

Comments