‘ජීවත් වෙන එකේ අරමුණ
මොකක්ද?’
‘මං මේ ජීවිත කාලය තුළ කරන දේවල් වල තේරුම මොකක්ද?’
‘මං මේ ජීවිත කාලය තුළ කරන දේවල් වල තේරුම මොකක්ද?’
‘කන බොන එකේ ළමයි හදන එකේ අනුන්ව තලා පෙළා දැමීමේ හෝ අනුන්ට උදව් කරන එකේ
අවසාන ප්‍රතිඵලය, නැත්නම් රිවෝර්ඩ් එක මොකක්ද? දශක ගාණක් නටලා නටලා ගත කරපු ජීවීතේ එහෙම කුමක් හෝ අර්ථයක් තියනවද?’
ඔහොම නොයෙක් ප්‍රශ්න අපි සමහර දෙනෙක්ට ජීවීතේ සමහර ස්ටේජස් වලදි ඇතිවෙනවා.
හැබැයි ඉතින් ඕකට උත්තරයක් තියනවා, ඉපැරණි
මිසර රාජධානියන් හි පිරමිඩ නටඹුන් අතර තිබී දශක දෙකකට පෙරාතුව කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්
ලෙස හමු වූ පැපිරස් පත්‍ර කිහිපයක සඳහන් වෙනවා මෙහෙම දෙයක්. ඔබ සහ මම මේ දකින ලෝකය, අපේ ජීවිතය සහ අත්දැකීම් පවතින්නෙ අපේ සිත තුල, අපි අත්දකින යථාර්තය යනු සිතෙහි හටගැනීමට සැලසූ දෘෂ්ටි මායාවක් පමණයි.
සරලවම කිව්වොත් මේ සිද්ධ වෙන්නෙ සිහින දකින එක, ඔබ මේ
දකින්නේ සිහිනයක්. එතකොට ජීවත් වීමේ අරමුණ මොකක්ද? යහපත් දිවි
පෙවෙතක් ගත කරමින්, සත්‍යය කරා වන පියවරයන් අවබෝධ කරගනිමින්, පසු කරමින් සත්‍යය වෙත ලඟා වීම. එතකොට අවසාන වශයෙන් මෙම ජීවත් වීමේ අදාළ
සත්‍යය අවබෝධ කරගැනීමේ පරමාර්ථය වෙන්නෙ ‘මෙම සිහිනයෙන් අවදි වීම.’ පැවතීමේ මහා
අරමුණ සහ අර්ථය වෙන්නේ ඒක. එතකොට ඔබේත් මගේත් වගකීම තමා මෙම සත්‍යාවබෝධ කරගන්න
උත්සාහ දරණ එක සහ අන් අයවත් මෙම මාර්ගයට යොමු කරවීම.
මේ උතුම් ක්‍රියාවලිය හෙවත් මාර්ගය ගැන මදක් පැහැදිළි කලොත්, දැන් අපි මේ ජීවිත සිහිනය තුල යම්තාක් දුරකට සත්‍යාවබෝධය වෙත පියවරක්
තැබුවා කියමු, එතනදි වෙන්නෙ මේ සිහිනය අවසන් වීමෙන්, ඒ කියන්නෙ සිහිනය තුළ නාමික ලෙස මරණයට පත්වීමෙන් අනතුරුව අපි වඩාත් ප්‍රඥාවන්ත, Enlightened ස්ටේට් එකක් සහිත ජීවියෙක් වශයෙන් නැවත ඉපදෙනවා, හෙවත් නව සිහිනයකට ඇතුළත් වෙනවා. අපිට ඒක හඳුන්වන්න පුළුවන් නව සිහින
භවයක් ලෙස. එතකොට ඒ ඊලඟ සිහිනයේ දී අපිට හැකිවුණොත් තවත් පියවරක් සත්‍යය වෙත ගමන්
කරන්න, ඒ අවබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් අපි වඩාත් ප්‍රඥාවන්ත සිහින භවයක් ලබනවා.
මෙන්න මේ අයුරින් පියවරෙන් පියවර සත්‍යය වෙත ලඟා වෙලා අවසන් පියවරේදී අපි ‘Enlightened One’ හෙවත් ‘අවබෝධකරගත් තැනැත්තා’ ලෙස හඳුන්වන විශේෂ සිහින භවයකට ඇතුලත් වෙනවා.
මේ අවසාන පියවර සාක්ෂාත් කරගැනීමෙන් පසු සිද්ධවෙන්නෙ අපි සියල්ල ඒ අයුරින්ම තේරුම්
ගැනීම හෙවත් පූර්ණ සත්‍යය අවබෝධ කරගැනීම, එතනදි අපි
සිහිනයෙන් අවදි වෙනවා. එහෙම නැත්නම් මේ සිහින ලොවේ පැවැත්ම අවසන් කරනවා. නැවතත්
සිහින භවයන් නොලැබ සීස්ඩ් ටු එක්සිස්ට් වෙනවා. එතකොට අපිට ඔය සත්‍යය අවබෝධ කරගන්න
බැරි වුණොත් අපි ඒ අවබෝධය ලබන තාක් සිහින ලොවේ නැවත නැවත උපත ලබමින්, නොගිණිය හැකි භවයන් සංක්‍යාවක ජීවත් වෙනවා. අවදි නොවී සිහින ලොවක ගත කරනවා, කවදා හෝ සත්‍යාවබෝධ කරගන්නකම්.
දැන් හරි නේද? ජීවිතයේ අරමුණ, පැවැත්මේ තේරුම, ඩිවයින් ප්ලෑන් එක අපිට පැහැදිලියි. ඔය
වගේ කතන්දර අපි හැමෝම වගේ ඕන තරමක් අහලා තියනවා. සාමාන්‍යයෙන් ආගම් සහ ආගමික
දර්ශනයන් මඟින් ඔය පැවැත්මේ ගැටළුවට පිළිතුරු ලබා දෙන්නෙ ඔය වගේ මොකක් හරි
කතාවකින්. දිව්‍යලෝකයේ උපත ලැබීම, ස්වර්ගයට ඇතුළු වීම, සත්‍යාවබෝධ කර නිවන් දැකීම, දෙවියන්
වෙත කැප වූ ජීවිතයක් ගත කර අවසන් විනිශ්චයේ දී ගැලවුම්කරුවාණන් ඉදිරියේ පෙනී සිට
ශුද්ධ වූ රාජ්‍යයට ඇතුළු වීම, සත්‍යාවබෝධ කර සිහිනයෙන් අවදි වීම; මෙන්න මේ වගේ. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට ඔහොම පිළිතුරක් දෙන එක වඩාත්
පහසුයි, ඒ වගේ ම ඉතාම ඵලදායී, සාධනීයයි. එක හේතුවක් වෙන්නෙ, මිනිස්සුන්ව පුද්ගලානුබද්ධව සහ සාමූහිකව පාලනය කරන්න පහසුයි මේ වගේ
දේශපාලනික උපකරණයක් ඇසුරෙන්. අනිත් කාරණය මිනිස්සුන් ට වුවමනා කරනවා, හිත පතුලෙන් ම අවශ්‍ය කරනවා ‘දිව්‍යමය සැලසුමක්’ (Divine Plan) නැත්නම් අපිට වඩා ඉහළ තලයක ක්‍රියාත්මක
වෙන උතුම් ක්‍රියාවලියක් පවතිනවා කියලා දැන්ගන්න සහ ඒ ක්‍රියාවලියේ කොටසක් වෙන්න.
මොකද එතකොට ජීවිතේ පහසුයි. එතකොට අපිට දුක කියන්න කෙනෙක්, වරද පටවන්න කෙනෙක් ඉන්නවා. දෙවියො, දේව කැමැත්ත, බුදුන්, ජේසුස්, මහා මකර
ආත්මය, කර්මය. මේ වගේ දේවල්.
ඉතින් ඔය වගේ සංකල්පයක් විශ්වාස කරන, අදහන
කෙනෙකුට පැවැත්ම පිළිබඳ ගැටළුවට පිළිතුරක් අනිවාර්යයෙන් තියනවා. ගැටළුවක්
ඇතිවෙන්නෙ ඔය ආගමික සංස්ථා වලින් බැහැර ඉන්න මනුස්සයෙක්ට. එහෙම කෙනෙක්ට ඇතිවෙන
පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නෙ කොහොමද? මම දන්නෙ නෑ. අපිට පුළුවන් අදහස් දක්වන්න සහ ප්‍රශ්න අහන්න.
අපි භෞතිකව වර්ධනය වෙලා ධනවත් හා බලවත් මනුස්සයෙක් වෙනවා, සැප සම්පත් ලබාගන්නවා කියමු. නමුත් අවසාන ප්‍රතිඵලය මොකක් ද? මරණය. එතනින් අර හැමදේම ඉවරයි. ඒ වගේ ම, භාවනා කරලා, පොත පත කියවලා ආධ්‍යාත්මිකව වර්ධනය වෙනවා, ප්‍රඥාවන්ත
වෙනවා කියමු. අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඒත් මරණය.
අපි අර ආගමික ආෆ්ටර්ලයිෆ් පොරොන්දුව විශ්වාස නොකළොත්, ඇදහුවේ නැත්නම්, අපිට ජීවිත කාලය තුල සිදු කරන කිසිවක
‘අර්ථයක්’ හෝ ‘අවසන් ප්‍රතිඵලය’ කියලා යමක් පවතින්නෙ නෑ. ඉපදෙනවා, කනවා බොනවා, වයසින් වර්ධනය වෙනවා, ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා, විවාහ වෙනවා/තනිවම ඉන්නවා, ජීවිතේ
අරමුණ සහ වගකීම මෙන්න මේකයි කියලා අපි විශ්වාස කරන යමක් පස්සෙ දුවනවා, මැරිලා යනවා. ඔච්චරයි. දීර්ඝකාලීනව පැවැතීම සඳහා හේතුවක් හෝ අර්ථයක් නැහැ.
‘ඔන්න උඹ මෙන්න මේ දේ සාක්ෂාත් කරගත්තා’ කියන්න අවසන් තෑග්ගක් හෝ වටිනාකමක් ජීවිතය
හෝ පැවැත්ම අවසානයේ පවතින්නෙ නැහැ.
එතනදි අපිට ඇතිවෙනවා ඊලඟ ගැටළුව, ‘ඇයි එහෙනම් මං
පවතින්න ඕන?’,
‘පැවතීමේ අවසාන අර්ථයක් නැත්නම් මං අර හැමදේම කර කර ජීවත් වෙන්න වුවමනා ඇයි?’, ‘ඇයි මම සියදිවි නසා ගන්නෙ නැත්තේ?’, ‘මට
පෞද්ගලිකව සියදිවි නසා නොගෙන ඉන්න හෝ මිනිසාට ශිෂ්ටාචාරයක් වශයෙන් සියදිවි නසා
නොගැනීමට අර්ථාන්විත හේතුවක් තියනවද?’
මට අනුව නම් නැහැ. නමුත් බැලූ බැල්මට වේදනාත්මක අත්දැකීමක් කියලා හැඟෙන
සිය දිවි නසා ගැනීම කියන ප්‍රොසෙස් එකට අපි බයයි. බියඟුලුයි. ඒක එහෙම නොවෙන්න
පැවැත්මේ අර්ථය පිළිබඳ ගැටළුව මඟින්, වර්තමාන
සුයිසයිඩ් රේට් එකට වඩා ඉතාම ඉහළ වෙන්න තිබුණා. හරි, දැන් එතකොට
මොකද කරන්නෙ? අපි ඉපදිලා ඉවරයි, ඒ අපේ කැමැත්තෙන් නොවුණට දැන් කරන්න දෙයක් නෑ. අපිට මැරෙන්න බෑ. එකක් අපි
බයයි. අනිත් එක මරණය බලපාන්නෙ මැරුණ කෙනාට නෙවෙයි. මරණය කියන සිද්ධිය බලපාන්නෙ
මරණයට ලක්වූ කෙනාගේ අවට සමාජයට, ඇසුරු කළ, ආදරය කළ
අයට. ඊලඟට මෙහෙම හිතුවොත්, ‘මම මැරෙන්නෙ නෑ, නමුත් යම් කාරණයක් හේතුවෙන් මරණය ලඟා වුණොත් මම ජීවිතය වෙනුවෙන් සටන්
කරන්නෙ නෑ, මරණය සමඟ මට තියන බැඳීම ඉහලයි.’ දැන් මං පෞද්ගලිකව හිතන්නෙ ඔහොම. ඒත් දැන්
කවදහරි මැරෙනකම් මම ජීවිතය පවත්වාගෙන යා යුතුයි. එතකොට ඒ වෙනුවෙන් මට හේතුවක්, අර්ථයක් තියනවද?
දීර්ඝකාලීනව අර්ථ රහිත වෙන පැවැත්ම සඳහා අපිට, පැවැත්ම සඳහා කෙටිකාලීන අර්ථ දැක්වීම් කරන්න පුළුවන්. ජීවිතය සමන්විත
වෙන්නෙ මොහොතවල් පෙළක සහ අත්දැකීම්වල එකතුවක් වශයෙන්. අපි අතීතයේ දි ගත කළ
මොහොතවලුත් ඒවායේ අත්දැකීමුත් එකතුවෙන් අපි ගත් තීන්දු තීරණ මඟින් අප ගත කරන මෙම
මොහොතත්, මේ මොහොතේ අපි ගන්නා ලබන තීන්දු තීරණ මඟින් අනාගතය කියන ‘මොහොතවලුත්’
නිර්මාණය වෙනවා. එතකොට ජීවිතය කියන දීර්ඝකාලීන ක්‍රියාවලියේ අවසන් අර්ථයක් නැතත්, අපි මේ ගත කරන ‘මොහොත’ ට අර්ථයක් තියනවා, වටිනාකමක්
තියනවා. අපි ආදරය කරන කෙනා සමඟ ගත කරන කාලයේ, අපි ආස කරන
ආහාරයක් භුක්ති විඳින මොහොතේ, අපි ආස කරන චිත්‍රපටයක් බලන මොහොතේ අපි
ඒ අත්දැකීම විඳිනවා, සතුටට පත් වෙනවා. එනයින් අපිට එහි
වටිනාකමක් තියනවා, ඒ මොහොත ගත කරන්න, ඒ මොහොතේ පවතින්න හේතුවක් තියනවා, තේරුමක්
තියනවා.
ඒ වගේ ම අපි අකමැති කෙනෙක් එක්ක ගත කරන මොහොතේ, අපේ ආදරණීයයන්ගෙන් වෙන්වෙන මොහොතේ, අපි වරදක්
කරන මොහොතේ, අපි බය වෙලා ඉන්න මොහොතේ අපි ඒ අත්දැකීම විඳිනවා, සමහරවිට විඳවනවා, දුක් වෙනවා. එනයින් ඒ මොහොතේ වටිනාකමක්
තියනවා. ඒ මොහොතේ පවතින්න හේතුවක් තියනවා. මෙතනදි ඒක නීරස හේතුවක් වෙන්න පුළුවන්, නමුත් ඒ මොහොත, අත්දැකීම අපේ ජීවිතය හැඩගස්වනවා. ඒ
මොහොතට තේරුමක් තියනවා.
කෙටිකාලීනව අපිට පවතින්න හේතු තියනවා, ගත කරන
මොහොතට තේරුමක් තියනවා. චරිකාව අවසානයේ අපි ලඟා වෙන ගමනාන්තයේ විශේෂ අර්ථයක්, තේරුමක් හෝ ලස්සනක් නැහැ. නමුත් අපි වසර ගණනාවක නියුතුව හුන් චාරිකාවේ, ගමනේ අපි පසු කළ සෑම මොහොතකම, සෑම
අත්දැකීමක ම අර්ථයක් තියනවා, ලස්සනක් තියනවා. අපිට පුළුවන් අන්න ඒ
මොහොත වෙනුවෙන්, මේ මොහොතේ ජීවත් වෙන්න.
සමහරවිට, සිහිනයෙන් අවදි වීම වෙන්නෙ ඒ මොහොතට
වෙන්නත් පුළුවන්. අපි මේ මොහොත වටහා ගැනීමේ සහ වටිනාකම තක්සේරු කිරීමේ මොහොත.
‘Life sings because it has a song; the meaning is in it’s lyrics.’ (psychology
today)
Comments
Post a Comment