ආදරය, ලිවිං ටුගෙදර් සහ විවාහය


සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක සංස්කෘතිය, සදාචාරය සකස් වෙලා තියන විදියට ඔය ‘ලිවිං ටුගෙදර්’ නැත්නම් ‘ප්‍රොපෝසිං’ වගේ දේවල් වෙන්නෙ නෑනෙ. මං මේ ප්‍රොපෝස් කිව්වෙ ආදර සබඳතාවක ඉන්න දෙන්නෙක් අතරෙම ඒ දෙන්නගෙන් කෙනෙක් අනිත් කෙනාට විවාහ යෝජනා කරන එක. මෙහෙ නැතුවට අපි සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ මේ දේ දකිනවා. ලිවිං ටුගෙදර් ගත්තත්, ඒ කිව්වෙ විවාහ නොවී එක ගෙදරක ජීවත් වෙන එක, වරදක් හෝ අසම්මත දෙයක් වශයෙන් සලකනවා. ලිවිං ටුගෙදර් ඕන නෑ තවමත් සමහරුන්ට කිස් කරන එකත් දරුණු ගැටළුවක්නෙ.

ඉස්සෙල්ලම ලිවිං ටුගෙදර් සංකල්පය ගත්තොත්, මේක ඇත්තටම ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. මොකද නීත්‍යානුකූල විවාහෙ කියලා පොතක අත්සන් කරන්න ගත්තෙ මෑතකදිනෙ. ඒක පැත්තකින් තියමුකො. ලංකාවෙ සාමාන්‍ය අදහස තමයි දෙන්නෙක් යාළු වෙන්නෙ/ආදරය කරන්න පටන්ගන්නෙ විවාහ වෙන බලාපොරොත්තුවෙන් සහ එය එසේ විය යුතුමයි කියලා. මේ නිසා බොහෝ වෙලාවට දෙන්නෙක් වෙනත් වුවමනාවකට (තනිකම, පාළුව, ලිංගික ඇසුර, මේ වගේ.. ) අෆෙයාර් එකක් පටන් ගත්තත් අර සම්මතය රකින්න යාළු වුණ දවසෙ ඉඳන් කසාඳ බැඳලා හදන ළමයි ගාණත් ප්ලෑන් කරනවා, අනිත් එකා වෙනුවෙන් බොරුවක් මේන්ටේන් කරනවා. නමුත් ආදරය ඔතරම් පටු දෙයක් වෙන්න වුවමනා නෑ. තම තමන්ගේ වුවමනාවන් පිළිබඳ තම තමන් අවංක සහ විවෘත වෙන්න වුවමනයි. ඒ වගේ ම හැම සබඳතාවකම කෙලවර විවාහය විය යුතුයි කියලා විශ්වීය නියමයක් වගේ දෙයක් නෑ, සහ, තමන් ආදර සබඳතාවක් ඇරඹූ කෙනා තමන්ට ඇත්තටම ගැලපෙනවද? මේ පුද්ගලයා සමඟ තමන්ට ජීවිත කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද? මේ මට මුලදි පෙනුණ මනුස්සයම ද? වගේ ප්‍රශ්න වලට පිළිතුරු දැනගැනීම වරදක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඔය ප්‍රශ්න වලට පිළිතුරු අපි හිත ඇතුලෙම උපකල්පනය කරලා ඒ මත තීරණ ගන්න එක. බොහෝ විට ප්‍රතිඵලය පසුතැවීම. ලංකාවෙ ආදර ගීත වලට වඩා දැන් විරහා ගීත තියෙන්නෙ ඒකයි.

ලිවිං ටුගෙදර් සංකල්පය ඉතාමත් එෆෙක්ටිව් වෙන්නෙ මෙන්න මේ නිසා. සාමාන්‍යයෙන් ආදර සබඳතාවක් පටන්ගත්තම අපිට දැඩි වුවමනාවක් තියනවා අපි ආදරය කරන කෙනාව ඉම්ප්‍රෙස් කරන්න. ඒ මොහොතෙ ඉඳන් අපි රඟපාන්න පටන් ගන්නවා, එයා කැමති දේවලට අපි ආසයි, එයා නැගිටින වෙලාවට තමයි නැඟිටින්නෙ, එයා බොනවට කැමති නැත්නම් බොන්නෙ නෑ කියනවා, එයා හැමදාම රෑට දත් මදිනවනම් අපිත් මදිනවා, එයා සෙක්ස් වලට වැඩි කැමැත්තක් නෑ වගේ නිසා අපිත් වැඩි ගාණක් නෑ වගේ ඉන්නවා, නැත්නම් එයා සෙක්ස් වලට ඉතාමත් කැමති නිසා අපි එහෙම නැතත් අපි එයාව සතුටු කරන්න එහෙමයි වගේ රඟපානවා. දැන් ඔහොම ඉද්දි කිසිම අවුලක් නෑ. ඔන්න ඊට පස්සෙ කේන්දරත් ගලපලා විවාහ වෙනවා. දැන් මොකද වෙන්නෙ? මාස තුන හතරක් යනකම් මොනවත් වෙන් නෑ. ඊට පස්සෙ තමන් අර එයාව ඉම්ප්‍රෙස් කරන්න දාගත්තු මූණ ටික ටික ගැලවෙනවා. ඒ කාලෙ එයාට ‘සුදු මැණික’ කිව්වට අපිට ඇත්තටම එහෙම කතා කරලා පුරුද්දක් නෑ, ඒක ගැලවිලා එයාගෙ නම එනවා. ඊලඟට එයා තරම් උදෙන් නැඟිටින්න බෑ. සතියකට සැරයක් එයා එක්ක එයා ආස දේවල් කෑවට තුන්වේලම කන්න බෑ. ඔහොම ප්‍රශ්න ගොඩයි.

සත්‍ය උදාහරණ දෙක තුනක් කියන්නම්. මේවා මේ විවාහ උපදේශන සේවයකට යොමු වුණ දික්කසාද නඩු. එක සිද්ධියකදී බිරිඳක් තමන්ගේ සැමියගෙන් වෙන්වෙන්න හදනවා, හේතුව තමන්ට වැඩි අවධානයක් යොමු නොකිරීම, ඒ කිව්වෙ ලිංගිකව අවධානය නැතිකම. විවාහවෙන්න කලින් ඒක ගැටළුවක් නෑ. ඒත් ඊට පස්සෙ සැමියා හෝ බිරිඳ ෂොට් එක දාලා ඇවිත් අනෙකාව ඉග්නෝ කරලා පත බෑවෙද්දි ඒක ප්‍රශ්නයක්. ඔය වගේම තව කාරණයක් තිබුණා, මෙතනදි දෙන්නා විවාහ වෙන්න කලින් ගැටළුවක් නෑ, දෙන්නා දුරකථනය සහ ස්කයිප් වැනි මාධ්‍යයන් භාවිතයෙන් ලිංගික ආශ්වාදය ලබනවා, දෙන්නම ඒකට කැමතියි. කාලෙකට පස්සෙ දෙන්නා විවාහ වෙනවා. පස්සෙ සැමියා පිටරට රැකියාවකට යනවා. ඒ ඉන්න අතරෙදිත් දෙන්නා පරණ පුරුදු විදියට ලිංගික ආශ්වාදය ලබනවා. වසර කිහිපයකට පසුව අර සැමියා ලංකාවට එනවා. දැන් සිද්ධ වෙන්නෙ මේ සැමියා බිරිඳ සමඟ ලිංගිකව එක්වෙන්න මැලිකමක් දක්වනවා. ඇගේ ඇසුරෙන් ආශ්වාදයක් නොලබන බවක් පෙන්වනවා. බිරිඳ බොහෝවිට විය හැකි පරිදි සැමියට ඇති අනියම් සබඳතාවක් ගැන සැක කරනවා. තරහා වෙනවා. තමන්ගෙ දෙමාපියන්ගෙ නිවසටම ආයෙ යනවා. ඔහොම දින කීපයක් යද්දි අර සැමියා දුරකථන මාධ්‍යයෙන් පරණ පුරුදු විදියට ලිංගික ඇසුර ලබන්න ඉල්ලීම් කරනවා, බිරිඳත් කැමති වෙනවා. දැන් ප්‍රශ්නෙ හරි. බිරිඳ ආයෙ එනවා. ඒත් ආයෙත් අර ප්‍රශ්නෙමයි. මේ සිදුවීම් වලින් පස්සෙ උපදේශන සේවයෙන් සැමියා එක්ක කතා බහ කරද්දි ගැටළුව තේරෙනවා, සැමියා නිල් චිත්‍රපට සහ දුරකථනය හරහා කෙරෙන ලිංගික ඇසුරට ඇබ්බැහි වෙලා, එතනදි ලබන ආශ්වාදය සැමියා තමන්ගෙ බිරිඳ සමඟ ඇත්තටම ඉද්දි ලබන්නෙ නෑ. සරලයි වගේ පෙනුණට විශාල ගැටළුවක්. තව එකක් කියන්නම්, මේ හා සමාන වෙන්වෙන්න කරන උත්සාහයකදි වෙනත් කරුණු කාරණා බොහොමයක් වෙන්වෙන්න හේතූන් වශයෙන් ඉදිරිපත් කළත් අවසානයෙදී හෙලි වෙන්නෙ මේ දෙදෙනාගෙන් කෙනෙක් වැසිකිලි භාවිතයෙන් පස්සෙ ෆ්ලෂ් නොකරන එක. මුලදි මේක ඉවසුවත් කාලයක් යද්දි අනිත් කෙනාගෙ ලිමිට් පනිනවා. තවත් වැරදි පේන්න ගන්නවා. දෙන්නා වෙනවා. අර අනිත් කෙනා පස්සෙ තමන්ගෙ වරද පිළිගන්නවා. ඒ කෙනාට එහෙම පුරුද්දක් තිබිලා නෑ. විශ්වාස කරන්න බෑ වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථා තුනම ලංකාවෙම සත්‍ය කාරණා. මේ උදාහරණ කිව්වෙ අවුරුදු ගාණක ඉඳන් ආදරය කරන දෙන්නෙක් අතරෙ වුණත් නොගැලපීම් තියන බව පෙන්නන්න. ඔය වගේ ම ඔය අවුරුදු ගාණක් ආදරය කරපු කෙනා ආදරය කරන්න ඉතාම සුදුසු වුණත් විවාහ ජීවිතයකට සුදුසු නොවෙන්න්නත් පුළුවන්. මේවා සරල වගේ ම සංකීර්ණ කාරණා. මේ කියපු වගේ දේවල් ම නෙවෙයි ඇතිවෙන ගැටළු. සමහර විට රෑට බලන ටෙලිඩ්‍රාමා එකේ ඉඳන් දාර්ශනික මත නොගැලපීමක් දක්වා කරුණු ගැටළුවක මුල වෙන්න පුළුවන්.

කෙනෙක් අහන්න පුළුවන් ලිවිං ටුගෙදර් නැතුව කතා බහ කිරීමෙන් සහ දිගු කාලයක් ආශ්‍රය කිරීමෙන් ඔය ටික තේරුම් ගන්න බැරි ද කියලා. පුළුවන්. නමුත් ගැටළුව වෙන්නෙ එක වහලක් යට නොඉන්නා තාක් අර ඉම්ප්‍රෙස් කරන මූණ දාගෙන ඉන්න එක පහසු වීම. ඒ වගේ ම තමන් නොදන්න තමන් ට නොතේරෙන, තමන්ගේ සහකාරයාට සහකාරියට ප්‍රශ්නයක් වෙන කාරණා තියෙන්න පුළුවන් වීම. ගෙවල් දෙකක වෙන වෙනම තමන්ට ඉපදුණ දා ඉඳන් කොම්ෆොර්ටබ්ල් වුණ පරිසරයක ඉඳන් ආදරය කරන එකයි, තමන්ට එකට ඉඳලා නුපුරුදු කෙනෙක් එක්ක ඉතිරි ජීවිත කාලෙම ජීවත් වීමයි එකිනෙකට වෙනස් කාරණා දෙකක්. මේ එක්කම කියන්න ඕන වෙනස්කම් තිබීම සහකරු/කාරිය සමඟ එකට ජීවත් වෙන්න ගැටළුවක් නෙවෙයි. ගැටළුව වෙන්නෙ ඒ වෙනස්කම් එකිනෙකාට පිළිගන්න, අගය කරන්න හෝ ඉවසන්න බැරි වුණොත්.

ඔය මොකුත් නැතුව අර ආදර ලෝකෙක ගිලිලා ඉඳන්, විවාහ වෙලා මාස හයෙන් අවුරුද්දෙන් දෙකෙන් දික්කසාඳ වෙලා විඳවන අය මං සෑහෙන දැකලා තියනවා. බලන්න ඕන හඳහන වෙන්නෙ ඔන්න ඔය මං කියපු කාරණා. මගෙ පෞද්ගලික අදහස එකිනෙකා තේරුම් ගන්න නම් පොරොන්දම් දේව කැමැත්ත පැත්තකින් තියලා ආදරය කරන කෙනා එක්ක මාස තුනක් එක වහල යට ජීවත් වෙන්න. ඩිවෝස් රේට් එක 50%ක් අඩුවෙයි. (ඔව් 100%ක් බෑ. අවුරුදු පහකට පස්සෙ මේක ඇති කියලා හිතුණොත් මොකද වෙන්නෙ? ඔතනට තියන විසඳුම වෙන්නෙ, ආදරය කරන්න, එකට ජීවත් වෙන්න ඕන නම් එහෙම ඉන්න, කවදහරි යන්න ඕන නම් යන්න සහ යන්න දෙන්න. කවුරුවත් කාටවත් සින්නක්කර ලියලා දීලා නෑ.)

හරි, ඊලඟට ප්‍රොපෝස් කරන එක. සරලයි. දැන් ඔය ලිවිං ටුගෙදර් සංකල්පය ප්‍රායෝගික සහ එෆෙක්ටිව් වෙන්න දක්වපු කරුණු කාරණා හරි නම්, මේ ඊලඟ ස්ටෙප් එක. දැන් අඳුනගෙන, ආදරය කරලා, එකට ජීවත් වෙලා තමන් ආදරය කරන කෙනා තමන් එක්ක ඉතිරි ජීවිත කාලේම ජීවිතය බෙදාගන්න සුදුසුයි සහ තමන් ඒකට සූදානම් කියලා හිතෙනවනම්, අන්න ඒ මොහොතෙදි තමයි විවාහයක් ගැන හිතන්නෙ ඕන. එහෙම නැතුව බස් එකේ දී දැකපු මොහොතෙ හෝ ෆේස්බුක් එකෙන් චැට් කරලා නම්බරෙක ගත්තු මොහොතෙ නෙවෙයි, රූම් ගිහින් සෙක්ස් කරපු මොහොතෙත් නෙවෙයි. ඔය ආදරය කරනවනම් ආයෙ අමුතුවෙන් ප්‍රොපෝස් කරන්නෙ මොන මඟුලකටද? ඒ මොන විහිළුවක්ද? වගේ දේවල් හිතෙනවනම් පෝස්ට් එක ආයෙ මුල ඉඳන් කියවන්න. ආදරය කරන දෙන්නෙක් විවාහය කියන කොන්සෙප්ට් එක ගැන වෙනම ම විවෘතව කතා බහ කරනවා කියන්නෙ ම ඉතාමත් පරිණත ක්‍රියාවක්. ඔය ගැන තමුන්ට අවබෝධයක් නොතිබුණොත් වෙන්නෙ, එක්කො අවුරුද්දකින් දික්කසාද වෙන්න, නැත්නම් ඇතුලෙන් විඳවන ගමන් සමාජයට පේන්න රඟපාන්න වෙන එක, විවාහ ජීවිතය බිස්නස් ඩීල් එකක් බවට පත්වෙන එක, දරුවෙක් හදලා ඒ දරුවගෙ ජීවිතෙත් අපායක් කරලා ‘දරුවා වෙනුවෙන් එකට ඉන්නවා’ කියලා අපායක ජීවත් වෙන්න වෙන එක.

ලංකාවෙ ලොකු ප්‍රශ්නයක් තියනවා, මේ සමාජය ඇතුලෙ විවාහ වෙන්නෙ පරිණත ගැහැණු පිරිමි නෙවෙයි, ළමයි. උන්ගෙ අම්මලා තාත්තලා එයාලා මේන්ටේන් කරපු ‘ළමයා’ ව විවාහෙට දක්කනවා. ඔය කසාඳ බඳින එකා වචන්යේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ළමයෙක්.’ අවුරුදු විසි පහක තිහක ‘මානසික ළදරුවෙක්’ තමයි තවත් ඒ වගේම ‘ළදරුවෙක්’ එක්ක විවාහ වෙන්නෙ. උන් කසාඳ බඳින කෙනා, කසාඳ බඳින විදිය, විවාහක ‘ළමයි’ දෙන්නට බබාලා ඕන ද නැද්ද කියලා තීරණය කරන්නෙත් අර ‘ළමයි’න්ගෙ වැඩිහිටියො, අම්මලා තාත්තලා. ඕක ඇවිල්ලා සංස්කෘතික ජෝක් එකක්, විහිළුවක්. විවාහ වෙන්න ඕන නම් ඉස්සෙල්ලම වැඩිහිටියෙක් විය යුතුමයි. ශාරීරිකව වයස විසි පහක් වෙලා මනසින් උදේට නැගිටලා අම්මව හොයන ළඳරුවෙක් වෙලා බෑ. ශාරීරිකව වගේ ම මානසිකවත් වැඩිවියට පත්වෙන්න ඕන. මානසිකව ජම්බු ගහෙන් වැටෙන්න ඕන. එහෙම නැත්නම්, තමන්ගෙ විවාහ ජීවිතය ප්ලෑන් කරන්නෙ අම්මයි තාත්තයි නම්, අවට සමාජෙ නම් කසාඳ බඳින්න එපා, ඉස්කෝලෙ පලයන්. දැන් ඇත්තටම ගත්තොත් ඔය සංස්කෘතිකව විවාහ වෙන ‘ළමයි’ හැමිනෙන්නෙ සමාජයට සහ වැඩිහිටියන්ට වුවමනා වෙලාවට තමයි. වෙන එකක් තියා රෙද්දක් අරන් උන් දෙන්නා හැමිනුණාද කියලා බලන්නත් යනවා. ඉහේ ඉදන් ගූ නේ? ගෝත්‍රිකයිනෙ? ඒ වගේ ම හරිම සිඟිතියි. දැන් ඔය ලිවිං ටුගෙදර් වගේ කොන්සෙප්ට් එකක් බටහිරින් එන දේවල් ඕකුන් අපේ සංස්කෘතිය කනවා කියන එවුන්, ඔය කන්‍යාපටලෙ බිඳුණද බලන ගෝත්‍රික සිරිත ආවෙත් බටහිරින් බව නොදැන, අපේ සංස්කෘතිය කියලා බදාගෙන දගලද්දි ඉතින් පුකෙනුත් හිනා.

හරි, එතකොට තමන්ට තමන් ගැන තීරණ ගන්න පුළුවන් තරමට පරිණත වුණ වැඩිහිටියො දෙන්නෙක්, අර ආදරේ විඳින අතරෙම ජීවීතේ එකට බෙදාගන්න එකිනෙකා ගැලපෙනවද කියලා ලොජිකලි හිතලා බලන එක ඉතාමත් ප්‍රායෝගිකයි. කෙනෙක් කියන්න පුළුවන් සමාජ තත්ව, පරම්පරා බලලා, හඳහන් බලලා, වත්පොහොසත්කම් ගලපලා කරන්නෙත් ඕකමයි කියලා. නෑ, ඒ කරන්නෙ සමාජය ඉස්සරහා රඟපාන්න ප්‍රමාණවත්ද කියලා බලන එක.

අපි කාගෙන්වත් මොනවත් කොපි කරන්න හෝ අර වගේ මේ වගේ වෙන්න මොනවත් කරන්න ඕන නෑ. වෙන්න ඕන තමන් සහ තමන්ගේ සංස්කෘතිය විකසනය වෙන එක. සංස්කෘතිය යනු එක තැන පල්විය යුතු යමක් නෙවෙයි. විකසනය විය යුතු වැඩි දියුණු විය යුතු දෙයක්. අනෙක් කාරණය ඔය සංස්කෘතික පොලීසි වලින් මුරකාවල් දාන සංස්කෘතික අංග, ඇත්ත වශයෙන්ම ශිෂ්ටාචාරගත සංස්කෘතික අංගයන් නෙවෙයි. ගෝත්‍රික අශිෂ්ටභාවයේ සංකේතයන්. වෙනස උන් කොළ අතු වෙනුවට රෙඳි ඇදගෙන ඉන්න එකත්, කිරි කොරහා නටනවා වෙනුවට පොතක්, බිල්ඩිං එකක්, බෝ ගහක්, පිළිමයක් වටේ නටන එකත්, දඩයමේ වෙනුවට රස්සාවකට යන එකත් විතරයි.

Comments