දුෂ්ටයා මිය යාමෙන් පසු,


මම ටියුෂන්කාරයා ව මරා දැම්මෙමි. ඒ පාපතරයා. සුදු පැහැ කමිසය යට කර අඳින, දුඹුරු පැහැ සපත්තු පැළැඳි තිරිසනා. පිහි තුඩ ඔහුගේ පපු කුහර සිදුරු කරද්දී ඔහු පැළඳ හුන් ආටෝප කණ්නාඩි යටින් වූ වමැස අන් දිනයන් පරයා ගැහෙමින් තිබුණි. යටට ගිලී ගිය වේගයෙන් නටන්නට වූ වම් ඇස. එය බියෙන් සලිත ව ඇත. නමුත් එය එසේ නොවන්නට ද හැක. ඇස නටන්නේ මරණ මංචකයේ දී පවා මා හට සරදම් කිරීමට පුළුවන. ටියුෂන්කාරයාගේ වම් ඇස මින් පෙර ද එසේ කළේ ය. ඉඳින්, මා පිහි තුඩ ඇස විනිවිද යැව්වෙමි. ඔහු අවසන් හුස්ම පොද වැය කර කෑ ගසද්දී, මුහුණ රක්තවර්ණයෙන් වැසී යද්දී මම ඇස උගුළුවා ගත්තෙමි. ඉන්පසු, පිටව ආයෙමි. දැන් මට සැනසීමක් දැනෙණු ඇත. ටියුෂන්කාරයා මගේ ජීවිතය උදුරා ගත්තේ ය. සැනසීම නැති කළේ ය. දූෂණය කොට මරා දැමුවේ ය. ඉඳින් මා ඔහු මරා දැමුවෙමි.

එදින රාත්‍රියේ මම සුවසේ නින්දට ගියෙමි. දෙවන දිනයේ ද ගැටළුවක් වූයේ නැත. තෙවන දිනයේ දී මම ඇගේ රාමු කළ ඡායාරූපය තුරුළු කරගනිමින් වැලපුණෙමි. මාගේ දියණිය. ටියුෂන්කාරයා විසින් රවටා ගෙන ගොස්, දූෂණය කර මරා දැමූ, මාගේ ජීවිතය. තිරිසන් පාහර බල්ලා. ඔහු මාගේ දියණිය මරා දැමූයේ ඇය කිනම් වරදක් කළාට ද?

දෙවන සතියෙහි මම ලොතරැයි කූඩුව අසලට ගොස් ටියුෂන්කාරයාගේ නිවෙස පෙනෙන මානයේ හිඳ කල් මැරුවෙමි. ඔහු යනෙන තැන් මා නිවැරදිව දැනගත යුතු ය. දින චර්යාව අධ්‍යයනය කිරීම වැදගත් ය. කල්යල් බලා පහර දී ඔහු මරා දැමිය යුතු ය. නමුත් ඔහු එදින නිවෙසින් පිටතට ආවේ වත් නැත. ඉන්පසු දින මා වඩාත් වේලාසනින් ගොස් රැක සිටියෙමි. එදිනත් ඔහු නැත. මිනිසුන් කිහිප දෙනෙකු ඔහුගේ නිවසට ඇතුළුව පිට ව යනු දුටු මා ඔවුන් පසුපස හඹා යන්නට තීරණය කළෙමි. මන්ද යත්, ඔවුන් දැක පුරුදු අයවළුන් නොවුණ නිසාත් සැක කටයුතු ලෙස හැසිරුණ නිසාත් ය. ස්කූටරයේ නැඟී ඔවුන් හඹා ගියෙමි. ඵලක් වූයේ නැත. ඔවුන් ඇවිද ගියේ පොලිස් ස්ථානයට ය. මා හැරී ආයෙමි. ටියුෂන්කාරයාගේ නිවෙසට පොලීසියෙන් ආවේ සමහර විටෙක ඔහු මා ගැන පොලීසියට දැනුම් දෙන්නට ඇත. මා ඔහු එන තුරු රැක සිටිනවා ඔහු දකින්නට ඇත. මා ප්‍රවේශම් විය යුතු ය. ඊලඟ දිනයේ සිට මා ලොතරැයි කූඩුව අසල වෙනුවට පාරෙන් අනෙක් පස වූ පළතුරු කඩය අසල රැඳී සිටියෙමි. නමුත් ඔහු තවමත් පිටතට ආයේ නැත. තෙවන සතිය අවසාන විය. ටියුෂන්කාරයා එළියට බහින්නේ ම නැති සෙයකි. තවත් ඉවසන්නට නොහැක. 

තියුණු දඩයම් පිහිය මා මිටෙන් ග්‍රහණය කර ගත්තෙමි. මසැස පිරී ගියේ ටියුෂන්කාරයාගේ රුවෙනි. මම වේගයෙන් ඇවිදින්නට වීමි. අද කෙසේ හෝ පාහරයාව මරා දමමි. තවත් ඉවසිය යුතු නොවේ. නිවෙස ලඟා වෙයි. ‘ලබ් ඩබ්... ලබ් ඩබ්.’ හඬක් දෙසවන් පුරවයි. මූසල කුණු ගඳක් නාස් කුහර විනිවිද යයි. මා දොර ඉදිරිපසට පැමිණියෙමි.

‘පාහර බැල්ලිගෙ පුතා!’ පපුව රිදවමින් මුරගෑයෙමි. ‘බැහැපන් යකෝ එළියට.’
කවුරුන්දෝ දොරටුව ඉදිරිපසින් කහ පැහැ පටියක් ඇද තිබිණ. ‘මේ මොන විහිළුවක් ද?’ මා වැර යොදා පා පහරක් එල්ල කළෙමි. දොර ගැස්සී ගිය ද විවර නොවේ. මා නැවතත්, නැවත නැවතත්, වැරෙන්, පහර පිට පහර එල්ල කළෙමි. කෑ ගැසුවෙමි. අවසන දොර වෙත මුළු සිරුරෙහි වැර යොදා පීනා ගියෙමි.

‘කරාස්’ දූලි පිරුණ සිමෙන්ති පෘෂ්ඨය මා අබියස විය. මම නැඟී සිටියෙමි. හමා ආ වියලි සුලඟින් සලිත ව ගියෙමි. පා හඬක් නැඟ එයි. ඒ ඔහු විය යුතු ය. පිහිය මානා ගත් මම බලා සිටියෙමි. බිදී ගිය දොරින් මෑත් වූයේ පළතුරු කඬේ කොළුවාත් තවත් කිහිප දෙනෙකුත් ය. මුව අයා ඔවුහු මා දෙස බලා සිටියෝ ය. අහිංසකයන් බිය නොකළ මනා ය. මම පිහිය පහත හෙළුවෙමි. නමුත් අපූරුම කොටස වූයේ එය නොවේ. මා පිටතට කැඳවාගන ආ දත් බොල්ලෑ කොළුවා පැවසූ දෙය ය. ටියුෂන්කාරයා තෙසතියකට පෙර මිය ගොසිනි!
වසර ගණනාවකට පසු මම බීර සුවඳක් ඉව කෙරූයෙමි. ප්ලාස්ටික් මේසය මත හිස හොවාගත්තෙමි. ඇය පැංචියක ව සිටියදී මා ඇති පදම මත් වූයෙමි. ඇය නොමැති කළ පොරොන්දු වලින් ඵලක් නැත. මා බීර තොල ගාන්නට වීමි. ටියුෂන්කාරයා මරා දැමූයේ මම ය. ඔව්, ඒ තෙසතියකට පෙර විය හැකි ය. මාගේ ජීවිතය වූයේ කුමක් ද? මාගේ දියණිය යි. ඇය මා හැර යාමෙන් පසු මගේ ජීවිතය වූයේ ද ඇය වෙනුවෙන් ජීවත් ව පළිගැනීම ය. ඉන්පසු? මම කල්පනා කරන්නට වීමි.
බීර වීදුරු හතරක් හිස් වන විට ද පිළිතුරක් නැත. මනෝභ්‍රාන්තික දුෂ්ටයා විසින් දැරියක දූෂණය කොට මරා දැමීමෙන් අනතුරු ව ඇගේ පියා දුෂ්ටයා මරා දමන්නට තැත් කරයි. පාඨකයා එය ත්‍රාසජනක හැඟුමෙන් ආශක්ත ව රස විඳියි. වේදනාබර පියා දුෂ්ටයා මරා දමනා විට පාඨකයාගේ රෝම ඉලිප්පෙයි. ලොමු දැහැන් ගැන්වේ. යුක්තිය ඉටු වී තිබේ. සාධාරණත්වය රජයයි. ආලෝකය අන්ධකාරය පරයා නැඟී හිඳියි. පාඨකයා සැනසුම් සුසුම් හෙලමින් පොත වසා දමයි.

නමුත් කතාව අවසාන නැත.

වේදනාබර පියා තවමත් ජීවත් වෙයි. ජීවත් වීමේ අරමුණ දුෂ්ටයා ද සමඟ මිය ගොසිනි. දුෂ්ටයා සිටින තාක් අරමුණ පැහැදිලි ය. ජීවිතය වේදනාබර ය. පීඩාකාරී ය. එනමුදු පැහැදිලි ය. පලිගැනීම. අරමුණ එය ය. පලිගැනීම.

‘මං පලිගත්තා.’ පිහිය මානමින් මම සේවකයාට කතා කරමි. ‘මං ඌව මැරුවා. තව බියර් එකක් ගෙනහන්.’
නමුත්, දුෂ්ටයා මිය යාමෙන් අනතුරු ව වීරයාගේ අරමුණ කුමක් ද? පවතින්නට හේතුවක් තවදුරටත් තිබෙනවා ද? ඔව්, මා හට දුෂ්ටයෙකු අවැසි ය. පලිගන්නට දුෂ්ටයෙකු වුවමනා ය. මා නැඟී සිටියෙමි. මාගේ දියණිය උදුරාගත් පාහරයාගෙන් නිමාවක් නොමැතිව පලිගන්නට මා හට අවැසි ය. ඌව නැවත නැවතත් පිහියෙන් සිදුරු කරන්නට. උගේ සමච්චලයට නටන වමැස නැවත නැවතත් උගුළුවා දමන්නට. දෙනෙතින් ප්‍රාණය නික්ම යනු නැවත නැවතත් දකින්නට. රක්වර්ණයෙන් සිරුර වසාගනු නැවත නැවතත් දකින්නට. මා හට අවැසි ය.

දුෂ්ටයා නොමැති ව මා හට පැවැත්මක් නොමැත. සදාකාලික ව ඔහුගෙන් පලිගන්නට මා හට අවැසි ය. දඩයම් පිහියෙහි මිටෙහි ග්‍රහණය දැඩි කළ මම ප්ලාස්ටික් මේසයට පයින් ගැසුවෙමි. සියල්ලෝ ම මා දෙස දෑස් අයා බලති.

‘ම.. මගෙ කෙල්ල... එ.. ඒකි... ’ මිනිසුන් කෑ ගසනු ද, කිසිවෙකු පැමිණ මා ග්‍රහණය කර ගනු ද, මා විසිව ගොස් පොළොව සිප ගනු ද, මා හට මතක ය. ‘මගෙ කෙල්ල... මැරුවා.’ 

එය මහා විහිළුවකි. ඔවුන් හට, මා අත්අඩංගුවට ගන්නට පැමිණි පොලිස් නිලධරයන් හට කිසිවක් වැටහෙන්නේ නැත. මම පැහැදිලිව ම එය කියා සිටියෙමි. ටියුෂන්කාරයා ව මා මරා දැමූ බව. ඔවුන් එය කණකට නො ගනිති. ඒ කාලකණ්නි බල්ලන් හට කොහොමත් කිසිවක් නොතේරේ. මාගේ දියණිය මරා දැමූ තැනැත්තා සොයා දෙන ලෙස පැවසූ විට ද එයට වගකිව යුත්තේ ටියුෂන්කාරයා බව පැවසූ විට ද ඔවුන් හට කිසිවක් වැටහුණේ නැත. මා කෑ ගසමින් ටියුෂන්කාරයා ව මරා දැමූ බව කීව ද ඔවුන් එය  පිළිගත්තේ ද නැත.
මම සියල්ල ලියා තබන්නට තීරණය කළෙමි. මාගේ සොළොස් වියැති දියණියට ගණිත පාඩම් දෙන්නට ආ ටියුෂන්කාරයා ඇය වසඟයට ගත් අයුරු ද, ඔහු ඇයව තමාගේ නිවස්නේ දී කෙලෙසා ඝාතනය කළ බව ද, මියෙන්නට මොහොතකට පෙර ඌ - ඒ පාහර බල්ලා - තමන් කෙලෙසූ ගැහැණුන් ගැන කියමින් උදම් ඇනූ අයුරු ද, ඔහුගේ වම් ඇස මා සමච්චලයට ලක් කළ අයුරු ද මම ලියමි. ඉන් පසු මා සිටින කාමරයෙහි - මා දැන් නැවතී සිටින්නේ අමුතු මිනිසුන් සිටිනා රෝහලක ය - උළුවස්සෙහි එල්ලී මිය යමි.

අහිංසකාවිය මිය ගියා ය. දුෂ්ටයා ද මිය ගියේ ය. වීරයා ද මිය යා යුතුම ය. 

Comments