Differently-abled ආදරය



අවසන් මොහොතේ දී ජීවිතය දෙඇස් ඉදිරියෙහි මැවී පෙනනවා ඇතිද? ඔහු නිතරම කුතුහලයෙන් පසු වූයේ ය. 

හිසෙහි, වම් පසින්, කණට ඉහළින් ගිනියම් ව ඇත. රස්නය මදින් මද පැතීරි යනු ඔහුට දැනෙයි. ඔහු හිස හැරවූයේ ය. හිස අත ගෑවේ ය. මැලියම් මෙන් ඝනව ඇලෙයි. නමුදු වේදනාවක් නැත. උළු සෙවිලි කළ වහලය බොඳව පෙනෙන්නේ මන්දැයි ඔහු දැන හුන්නේ ය. කම් නැත. ඔහු සූදානම් ය. ඔහු බොහෝ කලෙක සිට සූදානම්ව හුන්නේ ය. පපුවට වැදී තිබූ පිහි පහරෙහි වේදනාව තවදුරටත් නොදැනෙයි. සතුටට කරුණකි. 

‘අර්.. ම්.. ’ කෙඳිරියක්. ඔහු කඳ ඍජු කරන්නට තැත් කළේ ය. පසෙක හැරී අත් වලට වාරු දුන්නේ ය. අවසඟව ඇද වැටුණේ ය. ‘ආර්... ග්හ්.’ 

තමන් දෙසට ලඟාවෙන හඬක් ඔහුට ඇසෙයි. ඔහු හිස හැරවී. බොඳව ගිය පා යුග්මයක් දිව ඒ. කටහඬක් මොනවාදෝ කියන්නේ උච්ච ස්වරයකිනි. දෑතක් දිගු ව ඔහුගේ හිස බදා ගති. සියල්ල බොඳව යයි. අන්ධකාරය තුලින් ඔහු වෙත කෙමින් ලඟාවන රුවක්. ඔහුට ඒ වෙත දිව යන්නට වුවමනා ය. දුඹුරුවන් බළල් දෙනෙත්. සියල්ලෙහි ආරම්භය වූයේ ඒවා ය.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

සතුන් වත්තෙහි කොටුකර හිඳිනා උණහපුළුවෙකු දෙස මිනිසුන් දෑස් දිගුකර බලා සිටිනු ඔබ දැක තිබේ ද? ඔවුහු කුතුහලයට පත්ව ඔබ දෙස බලයි. නමුත් උණහපුළුවෙකු සමඟ කතා බස් කරන්නට හෝ ඔවුන් සුරතල් කරන්නට කිසිවෙකු කැමැත්තක් නොදක්වති. ඔහු දෙස බලා ඉවත යන නානාවිධ මිනිසුන් ද එයාකාර විය. නමුත් දුඹුරුවන් දෙනෙත එසේ නොකළා ය.

තැනින් තැන මල කා ඇති, කොළ පැහැ ගේට්ටුව. අඩි තුනක් එපිටින් ඇති කාපට් පාර. එහි යනෙන වාහන. කඩිමුඩියේ දිව යන මිනිසුන්. වාහන මත වැටෙන අව් රශ්මියෙන් වැලකෙන්නට වරින් වර දෙනෙත් වසා ගන්නා, රෝද පුටුවක් මත හිඳින, අබ්බගාත ඔහු. දේවක රණසූරිය. අම්මා උදෑසනින් අනුන්ගේ බැලමෙහෙවර කරන්නට නික්ම යාමෙන් අනතුරුව, පිටරටකින් ආ කවුදෝ නෝනා කෙනෙකු ලබාදුන්, දැනටම රෝද වලින් ‘ක‍්‍රීඊඊ.. ක්’ හඬ නඟන, රෝද පුටුව දේවක හට පිහිට වෙයි. අම්මා නික්ම යන්නට පෙර ඔහු විසින් ඇය සාදා දෙන තිත්ත රසැති කිරි තේ වීදුරුව පානය කරයි. නැවත පානයට වුවමනා වුවහොත් ඇත්තේ තේ වතුර ය. ඒ ද තිත්ත ය. දේවක අම්මා විසින් සතියකට වරක් ඔපීසියේ කුස්සියෙන් කඩදහි කැබැල්ලක දවටාගන එන පිටි කලවම් කල, තිත්ත කිරි තේ පානයට ආශා කළේ ය. අනතුරුව කෑම කන්නට වුවමනා ය. බත්, දිය රහ පරිප්පු හොද්ද, හාල්මැස්සන් නැති හාල්මැස්සන් හොද්ද, ඔපීසියෙන් ගෙන ආ සැර බිස්කට් දෙකක් ප්ලාස්ටික් පිඟානෙහි වෙයි. තොල් පිට පෙරලාගන බත් අහුරු ගිල දමන ඔහු, ඉතිරි කරගත් බිස්කට් කැබැල්ල සූප්පු කරමින් සපයි. ඉන්පසු කෙමෙන් රෝද කරකවමින් කඩුල්ල අසලට යයි. 
රාජකාරියට ප‍්‍රමාද වූ මිනිසුන් සහ හන්දියේ ඇති පාසැලට යන්නට ප‍්‍රමාද වූ සිසුන් ඔහු ඉදිරියෙන් දිව යයි. ඉන්පසු කුඩා දරුවන් පාසැල වෙත හැරලා පැමිණෙන මව්වරුන් ය. කඩමණ්ඩියට යන තලත්තෑනි පිරිමින් ය. මෝටර් සයිකල්, ත‍්‍රීවීල්, ඉඳහිටෙක කාර් හෝ වෑන් රථයක්. තමා ද කලෙක දිවි ගෙවූ ලෝකයක් දෙස ඔහු පිටස්තරයෙකු ලෙස දෑස් අයා හුන්නේ ය. වයස විස්සේ දී ප‍්‍රසිද්ධ ඇඟලූම් කම්හලක සේවයට ගිය දේවක, සිව් වසරකට පසු, අළුතින් ගත් මෝටර් සයිකලයෙහි යන විට ට‍්‍රක් රථයක වැදී විසිව ගියේ ය. තුවාල කිහිපයක් හැරෙන්නට ඔහුගේ දෙපා වලට කිසිත් සිදුවූයේ නැත. නමුදු වෛද්‍යවරයා කී පරිදි කොන්දට සිදුවූ යම් හානියක් හේතුවෙන් ඔහුට ඇවිදගන්නට නොහැකි වනු ඇත. ඉඳින්, දැන් තවත් වසර දෙකකට පසු ඔහු තවමත් රෝද පුටුවක් මත ය. මුල දී හුන් මිතුරන් දැන් නැත, බිසී වෙලා ය. ඔහුව දැක සිනහ සී කතා කර ගිය මිනිසුන් දැන් තම තමන්ගේ ලෝකයන්හි අතරමං වෙලා ය. තනිවම දිවි ගෙවන්නට අපහසුය. මිනිස් පුළුටක ඇසුරක් නැතුව මිනිසුන් අතරේම තනිවීම, දරාගන්නට අපහසු ය. කඩුල්ල, ලෝකය දැකගන්නා විය සිදුර ය.

ඇය, කඩුල්ල ඉදිරියෙන් පා නගන්නට වූයේ සති කිහිපයකට පෙර ය. කඩිනමින් පා හුවමාරු කරන, සාරියට හැඩට පෙනෙන සිහින් සිරුරකින් යුත් තරුණිය, කිසිදිනෙක ඇය දෙස නෙත් යොමා හිඳින තරුණයා නොදුටුවා ය. ඇය අමතන්නට මුව විවර කරගන්නට ඔහුට ද කිසිදිනෙක හැකි වූයේ නැත. 

දේවක ආරම්භයේ දී පාරේ යනෙන සියල්ලන් සමඟ හොඳින් සිනහ පෑවේ ය. ඔවුන්ගෙන් ප‍්‍රතිචාර නැති තැන නිහඬ විය. දෙතොල් කිටි කිටියේ තද කොට ඔරවාගන සිටින්නට දැන් ඔහුට පුරුදු ය. ඉඳින්, එක් දිනෙක, ඇය ඔහුට සිනහවකින් සංග‍්‍රහ කළ විට ද ඔහු ඔරවාගනම සිටියේ ය. අඳුරු වූ දෙනෙත් පහත් කළ ඇය ඉක්මන් ගමනින් යන්නට ගියා ය.

පළමු වරට දේවක හට උදරය තුල  වරදකාරී හැඟුමක් දඟලනු දැනුණේ ය. කේන්තියක් දැනුණේ ය. නිල් පැහැ සාරියක් හැඳ, දිගු කොණ්ඩයක් ලෙලවමින්, මියුරු සිනහවක් පාමින්, දුඹුරුවන් දෑසින් සිනහ නැඟූ කෙල්ල නැවත නැවතත් ඔහු ඉදිරියෙහි දෘෂ්‍යමාන විය. පපු කුහරයෙන් වරින් වර මහත් බරක් නැඟ ආවේ ය. ඔහු එදින සවස් කාලයේ ඇය නැවත එන තුරු දෙනෙත් අයා සිටියේ ය. පසුදින උදයේ ද හුන්නේ ය. දහවල් බත් පත පිළුණු වන්නට හැර බලා හුන්නේ ය. අම්මාගෙන් බැණුම් අසමින් කඩුල්ල අසලට ව තැවුණේ ය. පපු කුහරයෙන් නැඟ ආ බරින් දැන් දැන් ඔහුගේ ගතම ඇදුම් කෑවේ ය. ඉවසන්නට බැරි ය. පසුදින කඩුල්ල අසලට හිරු කිරණ පාව ආවේ ය. දේවක කාමරය තුල හිඳ තැවුණේ ය. ඔහුගේ පපුව ‘ඩිග්.. ඩිග්.. ’ හඬ නඟමින් ගැහෙයි. ඇය අදත් නාවොත්? ඔහු එදින කඩුල්ල වර්ජනය කළේ ය. ඊලඟ දිනයේ වෙනදාටත් කලින් අබ්බගාත කොල්ලා කඩුල්ල අසල හිඳිනු පාරේ යනෙන බොහෝ දෙනා දැක තිබුණි. 

නෙත් කෙවෙනි විසල් ව ඇරී ඇත. ඇසිපිය නොගැසේ. පපුව තෙරපන බරට අමතරව, තමන්ගේ උදරය ගිනිගන්නා බවක් ද බුර බුරා නඟින ගින්න හමුවේ, උදර බිත්ති පෙරලෙනු ද ඔහුට දැනෙයි. හිරු කිරණක්, කාරයක වින්ඞ්ස්ක‍්‍රීනයෙහි වැදී, මුහුණ ට පහර දුන්නේ ය. දේවක අතක් ද ඔසවමින් මුහුණ හැරවූයේ ය. අත පහත් කළේ ය. ඇස් රිදුම් දෙන හිරු රශ්මිය අතරින් ඇය පා නඟමින් හුන්නා ය. මුහුණට වැටුණ කෙහෙ රැල්ලක් ඇඟිලි තුඩින් ඉවත් කරමින් දුඹුරු පැහැ දෙනෙත් කැරකුවා ය. දේවක, පපුව පිරෙන්නට හුස්මක් ගත්තේ ය. හදවත පපු බිත්ති වෙත ‘දඩාං.. දඩාං.. ’ හඬ නගමින් පහර දුන්නේ ය.

අඩි උස පාවහන් මන්දගාමීව එසවෙයි. ඔහු දෑස් අයා හුන්නේ ය. රිදී පැහැ අත් පළඳනාවකින් යුත්, ඇත් දළ පැහැ අතක්, නළලතට තබා ඔහු දෙස බැලුවා ය; දෙවන වරටත්. ඇගේ මුවගට සිනහවක් නැගෙද්දී ඔහුගේ හදවත තොවිල් නැටුවේ ය. ඒ බෙර, දවුල්, හා ගොප් කොළ ද සමගිනි. 


'ගුඩ් මෝනිං!' මිහිරි කටහඬක්.

මුව විවර විය. දසන් දැක්විණ. සැලෙන දෙතොල් විවරව චලනය විය. කිසිදු හඬක් පිටවූයේ නම් නැති. ඇය, දිදුලන දෙනෙතින් බැල්මක් හෙලා පා ඉක්මන් කළා ය. 

දින දෙක තුනක් ඇවෑමෙන් දේවක දසන් දක්වා සිනහසුණේ ය. 

'ග්.. ගුඩ් මෝනිං!'

'ගුඩ් මෝනිං!' ඇය ද සිනාසුණා ය. ඇගේ දිදුලන දුඹුරු පැහැ දෙනෙත් වලිනුත්.

ඔහු උදෑසනින් කඩුල්ල වෙතට ගියේ ය. නැවත ආයේ ය. සවස් කාලයේ කඩුල්ල වෙත ගියේ ය. රාත්‍රියෙහි දී එළිපත්තට ව දිදුලන තාරකා ද සෞම්‍ය සඳ මඩල ද නැරඹුවේ ය. කාමරය මුල්ලෙහි මල කා ඇති යකඩ කබඩය විවර කෙරිණි. චිත්‍ර පුවරුවක්, සුදු පැහැ කඩදාසි, පැන්සල් සහ පින්සල්. ඔහු දහවල් කාලයේදී ඇන්දේ ය. වසර ගණනකට පෙර විඳි පින්සල් පහරක් සමඟින් දැනෙන සැනසීම ඔහු නැවත වරක් වින්දේ ය. එකම වෙනස වූයේ චිත්‍ර ආට් බෝඩ් රඳවනයෙහි කකුල් කපා කොට කර තිබීම ය. කලබලයෙන් ඇදී ගිය පැන්සල් පහරවල්. අපිළිවෙල පින්සල් වර්ණ රටා. වර්ණ සංයෝජනයන් අතර සැඟව ගිය රුවක්. දේවක නැවත නැවතත් කැන්වසය මත හරඹ කළේ ය. 

තම පුත්‍රයාගේ පැරණි කලබලයත් අධිෂ්ඨානශීලී මුහුණත් දැක්මෙන් රණසූරිය මාතාව මදහසක් පෑවා ය.

'කවුද ඒ කෙල්ල?'

දේවක මන්දස්මිතයක් පෑවේ ය. ඇය කවුදැයි තෙමේ ද නොදනියි.

ඔහු පසුදින උදයේම කඩුල්ල අසළට ගියේ ය. කාපට් පාරෙහි එක් අන්තයක් දෙස දෑස් අයා හුන්නේ ය. කඩිමුඩියේ දුවන මිනිසුන් ද පාසැල වෙත දිව යන ළමුන් ද ඔහු පසු කර ගියේ ය. හිරු උසැති ගස් පෙළ ඉහළින් නැඟ ආයේ ය. ඔහු බලා සිටියේ ය. 'තමන් පරක්කු වුණා ද?' රෝද පුටු ඇන්දට අත මිට මොලවා පහරක් ගැසුවේ ය. නැවතත් සිය අඳුරු කාමරයට. එදින ඔහු තෙරක් නොපෙනෙන මාවතක් දිගෙහි ඈත ක්ෂිතිජය කරා පිය මනින දිගු කෙහෙරලින් යුත් යුවතියක සිතුවම් කළේ ය. පරිසරය අඳුරු ය. හිරු බැස යන්නට පටන් ගන්නා විට දේවක සිතුවම ද රැගෙන කඩුල්ල අසළට වූයේ ය. ඈත වංගුවෙන් මෑත්ව තමන් දෙසට පා තබන රුව දුටු විට දිගු සුසුමක් හෙළුවේ ය. ඇත් දළ පැහැ මුහුණෙහි දහඩිය බිඳු ය. සාරිය කැලේ ගොසින් ය. කෙස් වැටිය අවුල් ජාලයකි. ඇගේ අතෙහි රැඳී තිබූ - වෙනදාට දක්නට නොලැබෙන - බඩු මල්ල ඇය වරින් වර අතින් අතට මාරු කළා ය. දෙඇස් යටට ගිලිලා ය. නමුත් සුන්දර ය. ඔහු අසළට ආ ඇය ඔහු දෙස බැලුවා ය. 

'හලෝ.. අද උදේ හිටියෙ නෑ නේද?' පිටි අත්ලෙන් නළලත පිස දැමූ ඇය සිනහවක් පෑවා ය.

'නෑ.' දේවක දසන් දැක්වී ය. 'ඇහැරෙන්න... ඇහැරෙන්න පරක්කු වුණා.'

'අහ්, ඒක තමා.'

නිහඬතාවක්. 'ඔයාගෙ නම මොකක්ද? ඔයා කොහෙද ඉන්නෙ? වැඩ කරන්නෙ කොහෙද? මගෙ නම දේවක. ඔයාගෙ නම මොකක්ද? මං මේ කියන්නමයි ඉඳියෙ. ඔයා ගොඩක් ලස්සනයි.' දේවකගෙ දෙතොල් වෙව්ලයි. සිතිවිලි සියල්ල කෙල ගුලියක් ද සමඟින් උගුරෙන් පහළට ගොස් සැඟව ගියේ ය.

ඇය බඩු මල්ල බිමින් තැබුවා ය. කාපට පාර දෙස බලා හුන්නා ය. මුහුණට ආ කෙහෙරලක් අතැඟිලි වලින් පසෙකට කළා ය. බඩු මල්ල තුලට කිමිදුණා ය. කිසිවක් අත්ලෙහි රඳවාගෙන නැඟී හුන්නා ය. ඔහු වෙතට විත් අත දිඟු කළා ය. සුරත එය ගන්නට දිගු වෙද්දී ඔහුගේ වමත රෝද පුටුවෙහි ඇන්ද මිරිකාගෙන සිටියේ ය. අනතුරුව ඇය නික්ම ගියා ය. ඔහු එදින රාත්‍රියේ නින්දට ගියේ තම අතෙහි රැඳි චොකලට් දවටනය - එහි තවත් එක් කැබැල්ලක් ඉතිරි ය - දෙස බලා හිඳිමිනි. වරින් වර ඔරලෝසු කටු වෙත දෑස පියඹා ගියේ ය. 

එළිය වැටෙන්නටත් පෙර ඔහු අවදි ව හුන්නේ ය. දිය රහ කිරි කෝප්පය එක හුස්මට ගිල දැම්මේ ය. ඇඳුම් කබඩය විවර කළේ ය. අම්මාගේ ද උපකාර ඇතිව ඔහු ප්‍රිය කළ කැමා ත්‍රී-ක්වාටර් එක ඇඳ ගත්තේ ය. මිතුරෙකු ලබා දී තිබූ කාල පැහැ පෝලෝ එක දමා ගත්තේ ය. කබඩය අවුස්සා සෙන්ට් කුප්පිය ද සොයා ගත්තේ ය. අම්මාගේ කුඩා කතුරින් අපිළිවෙලට තිබූ රවුල කොට කර ගත්තේ ය. යාන්තමින් හිරු කිරණක් පොළොව සිඹින මොහොතේ දේවක කඩුල්ල අසල හුන්නේ ය.

ඇය ඈත කෙළවරකින් මතු වන විට ඔහු ඇසිය යුතු හා කිය යුතු සියල්ල හොඳින් අවධාරණය කර හුන්නේ ය. ඔහු මුවඟට මන්දස්මිතයක් නඟා ගත්තේ ය. යුවතිය සෙමින් පා තැබුවා ය. නිල් පැහැ සාරිය, කුඩා අත් බෑගය, දිව්‍යමය සිනහව, ඔහුව උමතු කරවන දෙඇස්, එදින ඇය අන් කවරදාකටත් වැඩියෙන් සුන්දර ය. නමුත්, ඊලඟ මොහොතේ ඔහුගේ සිනහව වියැකී ගියේ ය. හැඩි දැඩි සිරුරකින් යුතු, අව්වට පිළිස්සී ගිය මුහුණකින් යුත් මිනිසෙකු ඇය පසෙකින් ඇවිද එයි. මිනිසා ඇයට වරින් වර මොනවාදෝ කියයි. සිනහ නඟයි. ඇය අත්ලෙන් ඔහුගේ පිටට ගසයි. දේවකගේ තොල් වියැලී ගොසිනි. දෙදෙනා ඔහු වෙතට ලඟා වේ. ඔහු ඇය දෙස නෙත් අලවාගෙන හුන්නේ ය. ඇ‍ය මිනිසා සමඟ කතාවක ය. දේවක වෙව්ලන දෙතොල් විවර කර දසන් දැක්වා මන්දස්මිතයක් පෑවේය. සුරත එසවූයේ ය. ඵලක් නැත. ඇය ඔහු පසු කර පිය නැඟුවා ය. ඔහු මුව විවර කළේ ය. 

'හලෝ.. මේ මං මෙතන.' ඔහු කීවේ ය. ඔවුන් හැරී බැලුවේ නැත. ඔහුගේ මුවින් හඬක් පිට වී නොතිබිණ. යුවතිය මිනිසාගේ බාහුවක් තමා ග්‍රහණයට ගෙන මාවත දිගේ කෙළිලොල් ගමනින් පා නඟනු ඔහු බලා හුන්නේ ය. සිහිනයක දී මෙන් ඔවුහු ඈතට පාවී ගියෝ ය.

ඔහුගේ ශරීරය සීතල ය. ඔහු ගොඩ දැමූ මාළුවෙකු මෙන් ගැහෙයි. පපුවට කිණිසි පහරක් වැදී ලේ ගලනු දැනෙයි. දේවක රෝද පුටුව හරවා ගත්තේ ය. නිවස දෙසට ගමනාරම්භ කළේ ය.

තමන් සිතුවේ මොනවාද? ඇය වන් ලාබාළ රූමත් තරුණියක් තමා වෙත ආකර්ෂණය වේවී යැයි කියා ද? මා වැනි අබ්බගාතයෙකුට? තමන් එසේ සිතුවේ කෙසේ ද? ඇය අබ්බගාතයෙකුට අනුකම්පා කරන්නට ඇත. තමන් ඇය ගැන සිහින මවන්නට ගියේ අහවල් උලව්වකට ද? ඇරත්, ඇය තමා හට කැමැත්තෙන් උන්නත් ඵලක් වේද? තමන් හට මේ උලව් කකුල් දෙකත් ඔසවාගන ඇයව බලා කියාගන්නට බැරි ය. ඔව්, මේ කෙහෙම්මල් කකුල් දෙක. තමන් හට ඇවිදගන්නට පුළුවන් වුණා නම් හොඳ ය.

දේවක රෝද වෙතින් අත් ඉවත් කළේ ය. ඇන්දට බර දී එස වුණේ ය.  දෙපා බිමින් තැබුවේ ය. කපරාරු නොකළ බිත්ති කණ්ඩියට අත් ගැසුවේ ය. අඩියක් තැබුවේ ය. කිසිත් නොදැනේ. ඊලඟ අඩිය ද තැබුවේ ය. කොඳු ඇට පෙළ ගිනි ගන්නට විය. බිත්ති කණ්ඩියේ එල්ලී තවත් පියවරක් ගියේ ය. බිත්ති කණ්ඩිය අත හැරියේ ය. පාදයක් එසවූයේ ය. ඊලඟ මොහොතේ පණ නැති පාදය ලිස්සා ගියේ ය. ඔහු උඩුබැල්ලෙන් ඇද වැටෙනු ද හිස කිසිවක වදිනු ද දේවක හට සිහිනෙන් මෙන් මතක ය.

දුඹුරු පාට ඇස්! ඒවායේ හිමිකාරියගේ නම කුමක් වන්නට ඇති ද?

තම හිස දතින් ගත් මුහුණ දෙස බලා සිනහවක් පෑ දේවක රණසූරිය ඇස් පියා ගත්තේ ය.


- දින පොතකින් පිටුවක් - 


මං හසිනි. හසිනි වීරසිංහ. දින පොතක් ගත්තට ගොඩ කාලෙකින් මොනාත්ම ලිව්වෙ නෑ. ලියන්න තරම් දෙයක් තිබුණෙ නෑ. දෙයියනේ ඒක එහෙම ම වුණා නම් හොඳයි. දෙයියම්පා මාව තාම වෙව්ලනවා. අද මහ පුදුම දෙයක් වුණේ. අද කිව්වට ඇත්තටම ඒක වෙන්න පටන් අරගන්න ඇත්තෙ මීට මාස තුනකට විතර කලින්. මං අළුත් ජොබ් එකකට ගියා. ටවුන් එකේ අළුතෙන් දාපු ඔෆිස් එකක. එච් ආර් කෝස් එකෙන් පස්සෙ ජොබ් එකක් හොය හොයා ඉද්දි මට ඒක හොයලා දුන්නෙ, සිතිජ. සිතිජ කීවෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. එයත් වැඩ කළේ එතනමයි. ඉතින් මට ජොබ් එක ලේසියෙන් ලැබුණා.

මං වැඩට යන පාරෙ, ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් ගෙදරක් ලඟ සිතිජගෙම වයසෙ වගේ, අවුරුදු 25ක විතර කොල්ලෙක් හිටියා. මං එයාව කලිනුත් දැකලා තියනවා ඉඳහිට. එයා ඉන්නෙ රෝද පුටුවක. කකුල් වලට මොනවහරි වෙලා මං හිතන්නෙ. මූණ පුරා රැවුල වවපු කළු වුණ ඇස් දෙකක් තිබුණ කෙනෙක්. එයා හැමදාම වගේ එතන හිටියා, කොහෙවත් යන්නත් බැරි නිසා වෙන්න ඇති. මං එයාව දැක්කම හොඳට හිනාවෙලා යනවා. පස්සෙ පස්සෙ හැමදාම වගේ වචනයක් දෙකක් හරි කතා කරනවා. ඊයෙ, අපේ අයියා ගෙදර ආවා, එයා ආමි එකේනෙ ඉන්නෙ, ඔය සෑහෙන කාලෙකින් ගෙදර ආවෙ. ඉතින් මං වැඩ ඇරිලා ෆුඩ් සිටියෙන් බඩු වගයක් ගත්තා, උයන්න. තව ස්වීට්ස් ජාති එහෙමත්. එදා උදේ මං වැඩට යද්දී අර ළමයා හිටියෙ නෑ. මට ඒක මතක් වුණේ මං හවස එද්දි එයා බලන් හිටපු නිසා. මං දිහාම බලන් හිටපු විදියට මට ටිකක් බයත් හිතුණා. ඒත් එයා තනියෙන්මනෙ ඉන්නෙත්. මං ගණන් ගත්තෙ නෑ. මං ඒ ළමයට මං ෆුඩ් සිටියෙන් ගත්තු චොකලට් එකක් දුන්නා. එයා බයෙන් බයෙන් වගේ ඒක ගත්තෙත්. මං ඊට පස්සෙ ඉක්මනට එතනින් ආවා.

පස්සෙ දවසෙ, ඒ කියන්නෙ ඊයෙ උදේ, මං හංදියට ගියේ අයියත් එක්ක. එයාටත් කොහෙද යන්න ඕන කිව්වා. මං හිතන් හිටියෙ අයියට අර ළමයා ගැන කියන්න. ඒත් මට ඒක මතක් වුණේ ඔෆිස් එකටත් ගියාට පස්සෙ. අයියා ඉන්න නිසා මං අද කලින් ඕෆ් වෙලා ගෙදර එන්න ආවා. හවස එද්දි මං ආවෙ සිතිජත් එක්කම, එයාගෙ බයික් එකේ. මට අර ළමයව මතක් වුණේ ම නෑ. අද නිවාඩු දවස. මං දවල් වෙලා අයියත් එක්ක ගියේ ටවුන් එකට යන්න. අර ගේ ලඟින් යද්දි එතන ගොඩක් කට්ටිය හිටියා. රෝද පුටුවෙ ඉන්න ළමයා හිටියෙ නෑ. මං ඒ වෙද්දි අයියට ඒ ළමයා ගැන කියලා තිබුණෙ. අයියා එතන හිටපු අයගෙන් ඇහුවම මළ ගෙයක් කිව්වා. ඒ ගෙදර ළමයගෙ. මාව වෙව්ලන්න ගත්තා උණ ගැනිලා වගේ. මං අයියට කිව්වම එයා මාව ඇතුලට එක්කන් ගියා. මට ඇස් අදහගන්න බැරි වුණා. අර ළමයා මැරිලා. පෙට්ටියක තියලා තිබුණා. මට ඇඬෙන්න ආවා. ඒත් මං වැඩියෙන් බය වුණේ එතන හිටපු දෙතුන් දෙනෙක් මං දිහා බලන් හිටපු හැටි දැකලා. මට හිතාගන්න බැරි වුණා මොකද කියලා. ටිකකින් එතන අඬ අඬා හිටපු ගෑණු කෙනෙක් මගෙ ලඟට ආවා, මං හිතන්නෙ අර ළමයගෙ අම්මා. එයා මගෙ අතින් අල්ලගන කාමරේකට එක්කගෙන ගියා. 

ඒ කාමරෙට අඩිය තියපු වෙලාවෙ ඉඳන් මට තාමත් මේ හීනයක් ද හිතාගන්න බැරුව ඉන්නෙ. ඒ කාමරෙ පුරාවටම තිබුණෙ චිත්‍ර. ඒ හැම එකේම තිබුණෙ මගෙ මූණ. එක එක විදියට ඇදලා. අර අම්මා මාව බදාගෙන අඬන්න ගත්තා. මට කතා කරගන්නවත් හෙල්ලෙන්නවත් බැරි වුණා. කකුල් පණ නෑ වගේ දැනුණා. අන්තිමට අයියා ඇවිත් මාව වත්තම් කරගෙන ගෙදරටම අරන් ආවෙ. මට තාම හිතාගන්න බෑ මොකක්ද වුණේ කියලා. ඒ ළමයා මට ආදරේ කරන්න ඇති සමහරවිට. කවුද දන්නෙ, මං කාමරෙන් එළියට එද්දි මං දැක්කා මං කලින් දවසෙ දීපු චොකලට් රැපර් එක මේසයක් උඩ තියනවා. රැපර් එකේ හාට් එකක් ඇදලා තිබුණා මට දැන් වගේ මතකයි.

ඇත්තටම කවුද ඒ? මං හරියට දන්නෙවත් නැති මට ආදරේ කරපු කෙනෙක්? පුදුමයි. මං ඒ කොල්ලගෙ නමවත් දන්නෙ නෑ. ඇත්තට මොකක් වෙන්න ඇති ද එයාගෙ නම?

Comments