පරෙයියාගේ දින සටහන් - 02

(Cartoon by Awantha Artigala)

පාන්දර පහට තැබූ එලාම් එක හයයි තිහට ද වදින්නට වූ විට පරෙයියා එක් ඇසක් හැර බැලුවේ ය. 'සලාං!' තටු පහරින් විසිව ගිය ඔරලෝසුව බිම ය. ඇඟමැලි කැඩූ පරෙයියා ගැලවී ඉහට ද උඩින් ගොස් තිබූ බතික් සරම දනිපනි ගා හැඳගත්තේ ය. අනතුරුව ඇස් පියාගෙනම ඇඳ අතගාන්නට විය. ඇපල් අයිෆෝනය අතට හසුවූ සැණින් සංසාරගත පුරුද්දට මෙන් යන්නේ බුකියට ය. එතැන එකම පොර පිටියකි. පප්පා ගමේ මාකැට්ටුව මෙනි.

සමස්ත ලංකා විකටවරණය තව නොබෝ දිනකින් පැවැත්වේ. ඒ සඳහා ඉදිරිපත්ව හිඳින අපේක්ෂකයන් දිනෙන් දින කල එලි බසින අතර ඔවුන්ගේ සහචරයන් බුකිය දෙවනත් කරමින් සිටියේ තමන්ගේ අපේක්ෂකයා හොඳම විකටයා බව කියමිනි. විවිධ තරාතිරම් වල පුද්ගලයන් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. බෝඩිමේ අක්කා සාදා ගෙනැවිත් තිබූ කිරි කෝප්පය අතට ගත් පරෙයියා, ඇස් පොඩි කරමින් නැඟිට්ටේ බුකියෙන් දෑස් ඉවතට නොගෙන ය. හරිතගාම වලව්වේ අතවැසියෙකු යටිගිරියෙන් කෑ කොක්සන් දෙමින් සිටියේ ය. ඒ ඕනෑම ගැටයකින් ලිස්සා යා හැකි ලූලෙකු වූ ද, හොරුන් සහ මිනීමරුවන් ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ගැන පාරම්බානා තම ඩීල්හාමු හොඳම විකටයා බව කියමිනි. ඩීල්හාමු බෝම්බ පුපරන විට නිදන්ට ද බෝල පාස් කරන්ට ද හපනෙකු ද වන බව අතවැස්සා වැඩිදුරටත් කියා සිටියේ ය.

ගුඩුස්! කිරි උගුරක් පරෙයියාගේ උගුරෙන් පහළට!

තවත් හරිතගාම වලව් අතවැස්සෙකු කිණ්ඩියක් ද දමමින් කියා සිටියේ ඩීල්හාමු දැන් යල්පැන ඇති බවකි. දැන් වලව්වේ ලොක්කා සේ ම හොඳම විකටයා වන්නේ ද 'පියාණෝ' වෙලෙන්දෙකු ද වන නිකම්-බාස් බව හේ තරයේම කියා සිටින්නට වන. ඔහු නිකම්ම නිකම් පියාණෝ වෙලෙන්දෙකු නොවන බවත් නවතම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුකූලව වලව්වට සිකුරුට්ටන් හා කම්කරුවන් තෝරාගත් ප්‍රාඥයෙකු ද වන බවත් ය. එපමණක් ද? නිකම්-බාස් හරිතගාමය 'නිකම්-බාස් උපහාරගාම' ලෙස වෙනස් කරන්නට ද යෝජනා කර ඇත. එනයින් නිකම්-බාස් හොඳම විකටයා නොවන්නේදැයි ඔහු විමසා සිටියේ ය.
පරෙයියා හුන් තැනම නැවතිණ. 'හ්ග්.. කැහ්.. හග්.. ' ඊලඟ මොහොතේ කිරි උගුරක් ඉස්මොල්ලේ ගියේ ය. මොහොතකට පසු සිහි එලවාගත් පරෙයියා නැවත ද බුකිය වෙත දෑස් පෑවේ ය.

හරිතගාමයෝ නම් කජ්ජක්දැයි විමසා සිටියේ මුලමදින වලව්වේ අතවැස්සෙකි. අසූ හාරදාහට තද වී සිටි අතවැස්සා දබරැඟිල්ල ඔසොවා කියා සිටි වග නම්; නිකම්-බාස් ලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවෝ ය. ඕකුන් දන්නා විහිළුවක් නැත. රට ජාතිය පාවා දෙන්නට මාන බලන්නෝය. අපේ අපේක්ෂකයා වන මංබබා සෑර් එවැනි අයෙකු නොවේ. කලකට පෙර සමස්ත ලංකා විකටවරණය ජයගත් මංරජා  හාමුගේ මලණුවන් වන්නේ ද ඔහු ය. ඔහු හට ලේ උරුමයෙන්ම ජය උරුම ය. අනීතික ව්‍යවස්ථා කුමන්ත්‍රණයන් හට සහය දෙමින් නීතිය සුරකින බව සපථ කිරීමත්, තමන්ගේ විරුද්ධ මතවාදීන් මරා දමමින් සියළු දෙනාගේ ආරක්ෂාව එක ලෙස සලසන බවට පොරොන්දු වීමත් හැරුණු කොට අන් මහා විහිළුවක් කොහි වේද? අතවැස්සා සිය බඩ හපා ගනිමින් තවදුරටත් පැවසූයේ ඩීල්හාමුලාගේ ප්‍රවේණි දාසයන් හට තමන්ගේ ප්‍රවේණි දාසයන් සමඟ හැරෙන්නටවත් නොහැකි බව ය. මංබබා සෑර් හොඳම විකටයා බව තමන් සක්සුදක් සේ දනියි. අතවැස්සා හතිලමින් වතුර වීදුරුවක් බිව්වේ ය.

විවර වූ මුවෙන් යුතුව අතවැස්සාගේ ආවේගශීලී කතාව පරෙයියා අසා සිටියේ ගල් පිළිමයක් මෙනි. ඊලඟ මොහොතේදී කුස්සියෙහි හුන් බෝඩිමේ අක්කා හට ඇසුණේ පරෙයියා නිවෙස දෙවනත් කරමින් කැකිරි පලන හඬ ය. මිනිත්තු කිහිපයකින් සිනහව නතර වූ තැන අක්කා බෝඩිම් කාමරයට එබී බැලුවා ය. සිනහවෙන් පරෙයියා හුස්ම හිර වී මලොත් කාමර කුලියට බබා හම්බෙන බව මතක් වී විය යුතු ය. නැත. පරෙයියා කිරි කෝප්පයේ ඉතිරි අඩට පෙර දිනයේ ගෙන ආ ඕල්ඩ් කෙග් අඩිය කලවම් කරගෙන ගසමින් හුන්නේ ය. විකටවරණයේ විහිළු දරාගත නොහැකිව විය යුතු ය.

බෝඩිමේ අක්කා පුපුරමින් පිටව යන අතරතුරේ පරෙයියා තවමත් වරින් වර කැකිරි හත අටක් ම පැලුවේ ය. අනතුරුව තමන්ගේ බුකි ක්‍රෂ් එක සර්ච් කිළේ ය. ඇය ශෙයා කර තිබූ විකටවරණ අපේක්ෂක පෝස්ටුවට ලයික්කෙකක් දමා, 'ඒක ඇත්ත සුදූ!' කියා කොමෙන්ටුවක් ද කෙටුවේ ය. අල් මයනු බහුල වූ උම්මා එකක් ද පා කර හැරියේ ය. අනතුරු තවත් කැකිරි ගෙඩියක් පැලුවේ ය. සිනහවට ම බඩ කොර වෙලා ය. ඉතිරි ඕල්ඩ්-කිරි-කෙග් අඩිය උගුරට හලා ගත් පරෙයියා බෝඩිමෙන් පිටතට පය තැබුවේ ය.

පාරේ කෙලවරක සිට ලවුඩ්ස්පීකරයක් බැඳගත් ලාන්සරයක් පැමිණෙයි. මේ මොන මඟුලක්දැයි සිතමින් පරෙයියා එදෙසට කන යෙමුවේය. බෝඩිම ඉදිරියෙන් ගිය ලාන්සරයේ හුන් අයෙක් යටි ගිරියෙන් කෑ ගසමින් දේශපාලන රැලියක් පිළිබඳ කියමින් ගියේ ය. හම්මට ඩෙඟ! තව කිහිප දොහොකින් සිරි ලංකාවේ ජනාධිපතිවරණය ද පැවැත්වෙන බව සිහිපත් වූ පරෙයියා අඩියට දෙකට කාමරයට පීනුවේ ඒ ගැන සටහනක් හෝ බුකියෙහි නොවූයේ මන්දැයි කල්පනා කරමිනි.

Comments

Post a Comment