කොටට ඇන්දම අවුල් ද?



ට්විටරයේ මිතුරියක් ත්‍රෙඩ් එකක අහලා තිබුණා මෙහෙම ප්‍රශ්නයක්. කෙල්ලො කොටට අඳිනවට කොල්ලො කැමතිද? More specifically,
'තමන්ගෙ පෙම්වතිය කොටට අඳිනවට කොල්ලො කැමතිද?'

ඒක හරියට මේ වගේ. මං පෞද්ගලිකව ආසයි කොණ්ඩෙ දිග කෙල්ලන්ට. ඒක තමා මගෙ හිතේ ඇදිලා තියන අයිඩියල් කෙල්ලගෙ රූපෙ. ඒ වුණාට සමහර කොණ්ඩෙ කොටටම කපපු කෙල්ලන්ටත් මං කැමැත්තෙන් ඉඳලා තියනවා. මං අරහෙම ආස වුණා කියලා කොණ්ඩෙ කොට වුණ එක මට ගැටළුවක් වෙලා නෑ. කෙල්ලෙක් කොටට අඳිනවා කියන්නෙත් ඒ වගේම දෙයක්.

සමහර අයට කොට කොණ්ඩෙත් සමහරුන්ට දිග කොණ්ඩෙත් ලස්සනයි වගේ ම සමහර අයට කොටට ඇන්දමත්, සමහරු දිගට ඇන්දමත් ලස්සනයි. 

ඇත්තටම ගැටළුව තියෙන්නෙ සමාජ සංස්කෘතික ආකල්පයේනෙ, ඒ කිව්වෙ ගැහැණු කකුල් දෙකක් මැජික් වෙන සමාජයක තියන ගැටළුවක්. දැන් පිරිමියා කොටට අඳින එක මේ -පුරුෂ මූලික- සමාජයට ගැටළුවක් වෙලා නෑනෙ. ගැහැණු කොටට අඳින එකයි ගැටළුව. ඒ සමාජයට හා සංස්කෘතියට අනුව මේක අවුලක්. හේතුව සමාජයේ සම්මත ලිංගික විලෝපිකයා (Sexual Predator) පිරිමියාත් ගොදුර කාන්තාවත් විදියට ලියාපදිංචි වෙලා නිසා. සමහර කාන්තාවන් ගැහැණු කෙනෙක්ට අතවරයක් වුණ වෙලාවට, 'පිරිමි කොහොමත් එහෙම තමයි, ඒක සාමාන්‍ය දෙයක්. ගැහැණු කෙනා හරියට ඉන්න/ හරියට අඳින්න දැනගන්න ඕන.'

මෙන්න මේ විදියෙ දෙයක් කියලා වින්දිතයා මත ම වරද පටවලා 'සැබෑ වරද සහ වැරදිකාරයා' සාමාන්‍යකරණයට ලක් කරනවා. ඊට පස්සෙ ඒ සමාජය තමන්ගේ කාන්තාවන්ගෙන් අපේක්ෂා කරනවා සමාජය විසින් ම ලයිසන් දීපු ලිංගික විලෝපිකයා එක්ක ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලමක් කරන්න. සමාජය විලෝපිකයා මර්ධනය නොකර වින්දිතයා සමාජයීය සහ සංස්කෘතික සිරකරුවෙක් විය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා.

මෙන්න මේ විලෝපිකයාට ලයිසන් දීපු සමාජයට හා සංස්කෘතියට අනුව කෙල්ලෙක් කොටට අඳින අවුලක්, වරදක්, ලැජ්ජාවක්, අගෞරවයක්. ඒ සමාජයේ පිරිමියා සහ සමහරක් ගැහැණු මනසින් ප්‍රාථමිකයි. කැලේ ඉන්න භයානක සතෙක් වගේ. ඒ නිසා ගැහැණු ශරීරය වසාගන සිටිය යුතුයි. හොඳම උදාහරණය බුර්කාව. මේ කලාපයේ රටවල දැක්ම මේක, මේ වර්තමාන ලාංකික සමාජය එළියෙන්, පිටතින් අබායා, නිකාබ් හෝ බුර්කා වලට විරුද්ධ වෙන ගමන් හිත යටින් පතන්නේ තමන්ගේ කාන්තාවන්ට බුර්කාවක්.

ඒ වගේම දැන් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරගත්තේ යුත්තේ ඇයි කියන එකට හේතුවක් දක්වනවනෙ මේ ඇඳුම විලෝපිකයා හට අතවරයක් හෝ දූෂණයක් කරන්න පෙළඹවීමක් ඇති කරනවා කියලා. ඒක ඇත්තටම එහෙමද?

දැන් ඕක ඇත්තටම මේ වගේ, දැන් ඔය සීරියල් කිලර්ස් ලා කියලා ජාතියක් ඉන්නවනෙ. මේ අයට මිනී මරන්න විවිධාකාර හේතු තියනවා. ඒ වගේම තමන්ගේ ගොදුර තෝරාගැනීම සඳහාත් විවිධ හේතු තියනවා. බොහෝ වෙලාවට හේතුව පෞද්ගලික ආරවුලක් වගේ කිසිම හේතුවක් නෙවෙයි. දාම ඝාතකයා මිනී මරන්නේ වෙනත් අරමුණු උදෙසා. බොහෝ විට දාම ඝාතකයාගෙ ගොදුරු සියල්ල යම් ආකාරයකින් පොදු ලක්ෂණයන් දක්වනවා. දැන් යම් කෙනෙකුට තියන හේතුව තමන්ගේ ගොදුර රෝස පැහැ ගවුම් අඳින සහිත අවුරුදු 20ත් 25ත් අතර තරුණියක් වීම වගේ දෙයක් වෙන්න පුළුවන්, වෙන හේතුවක් නෑ, මානසිකව මේ ඝාතකයා මෙම ලක්ෂණ සහිත කාන්තාවන්ට වෛර කරනවා.

දැන් එතකොට අදාල දාම ඝාතකයා මෙයාකාර කාන්තාවන් තරුණියන් මරා දැමීම හේතුවෙන් 'විස්සත් විසි පහත් අතර තරුණියක් රෝස පැහැ ගවුම් ඇඳීම හරිද?' වගේ දෙයක් ඇහුවොත්?

නැත්නම්, 'ඔය කෙල්ල රෝස පාට ගවුමක් ඇඳගෙන ගියේම අර වගේ එකෙක්ගේ අතින් මැරෙන්න තියන උවමනාවට.' හෝ 

'මැරෙන්න ඕන නැත්නම් රෝස පාට ගවුමක් නොඇඳ ඉන්න තිබුණා. ඔය කෙල්ල ආත්මඝාතක (Suicidal) ආශාවන් ඇති කෙනෙක්.' කියලා කිව්වොත්?

කොට ඇඳුමක් අඳින කෙල්ලෙක් වීම ගැන ගැටළුවත් මේකමයි. අර දේවල්ම වෙන විදියකට අහනවා,

(01. කෙල්ලෙක් කොටට අඳින එක හරිද?
02. ඔය කෙල්ල කොටට ඇදගෙන ගියේ දූෂණය වෙන්න තියන උවමනාවට.
03. දූෂණය වෙන්න අකමැති ඔහොම නොඇඳ ඉන්න තිබුණා. ඕකි ගණිකාවක්/බඩුවක්.)

ඇත්තටම කොතනද ගැටළුව? රෝගී තැනැත්තා දාම ඝාතකයා ද? අදාළ ඝාතකයාගේ ගොදුර ද? කියන එක අපි වෙන් කරලා අඳුනගන්න ඕන.

අපි කරන්න ඕන, රෙද්දේ දිග පළල වැඩි කරන එක ද?

නැත්නම්,
සමාජ ආකල්පයන් හි දිග පළල වැඩි කරන එක ද? 

මේකයි ඇත්තම ප්‍රශ්නෙ.

Comments

  1. එතකොට ඔබ පෞද්ගලිකව ආසයි කොණ්ඩෙ දිග කෙල්ලන්ට කියන එකත් සමාජයේ සම්මත ලිංගික විලෝපිකයා (Sexual Predator) පිරිමියාත් ගොදුර කාන්තාවත් විදියට ලියාපදිංචි වෙලා නිසා ඇතිවූ දෙයක්ද

    ReplyDelete

Post a Comment