සුදු ඇදගත් කළු මිනිස්සු!


මිනිස්සු හරිම ආසයි වැදගත්කමට, සම්භාවනීය විදියට, නැත්නම් නවීන පන්නයට උසස් ලෙස ජීවත් වෙන්න. කෝටිපති බිස්නස්කාරයෙක් වගේම හන්දියේ පාක් එකේ වීල් එකක් හයර් කරන මිනිහත් එහෙමයි. උන් හැමෝම හරි කැමතියි ලෝකෙට තමන්ගෙ වටිනාකම්, වත්කම් ප්‍රදර්ශනය කරමින් ජීවත් වෙන්න.

ඒ වගේම ගොඩක් මිනිස්සු හරි ඉහළින් සලකන අංගයන් තියනවා, සම්මතයන් තියනවා. මිනිස්සු හරිම කැමතියි තමන් පරිපූර්ණ බව නැත්නම් අඩුම ගානේ පරිපූර්ණත්වයට ආසන්න බව පෙන්වන්න. නෑ, මිල මුදලින් බලයෙන් නෙවෙයි. චරිතයෙන්, තමන්ගෙ ගුණාංග වලින්, තමන් ඉහළ තත්වයක රැඳී ඉන්නා බව පෙන්වන්න.

සුදු අඳින, ශාන්ත ගමනින් යන, මිල වැඩි මොබයිල් ෆෝන් එකක් අතේ තියන, නවතම විලාසිතාවට අයිති වෙන ඇඳුමකින් සැරසිලා ඉන්න, මත්පැන් බිංදුවක් කටේ නොතියන, තමන් යම්කිසි විශ්වාසයක් හේතුවෙන් අග තැන්පත් කියලා හිතන, හරි ලස්සන වචන කතා කරන, තමන් වගේ නොවෙන එවුන් දිහා අවඥා සහගත බැල්මක් දාන, ආලෝකයේ ජීවීන්. හරි ලස්සන මිනිස්සු. දැක්කම ආස හිතෙනවා.

ඔය අන්ධකාරයට වෛර කරන ආලෝකයේ ජීවීන් තමයි සමාජයේ ඉන්න තරමක් ඉන්නෙ. ඔක්කොම වගේ. උන් බොරුවක් කිව්වත් ඒකත් කියන්නෙ සද්භාවයෙන්.

හැබැයි එක මොහොතකට ඔය සමාජයට මිනිහෙක් අහු වුණොත්?

ඔය ආලෝකයේ ජීවීන්ගෙ ශරීර වලට ඇතුලෙන් තියන කුණු ගද ගහන, ලේ රස හොයන ආත්මය එළියට එනවා. එක මොහොතකට ඔය සමාජයට, තවත් කෙනෙක්ට, තමන්ගෙ ජීවිතයේ වගකීම භාර කලොත් උන් උන්ගේ වෙස් මූණු ගලවනවා. උන් කරන්නෙ තමන්ගෙ අතට අහුවුණ මිනිහගෙ ශරීරය පණපිටින් තියාගෙන ඒ මිනිහගෙ ආත්මය ටික ටික කඩු කිණිසි වලින් ඇනලා වෙඩි තියලා මරන එක. අනිත් මනුස්සයගෙ ආත්මය තමන්ගෙ සෙල්ලම් බඩුවක් කරගෙන අවසානයේදී ඒ කාලකණ්නි වුණ, තුවාල වුණ, සමූහ දූෂණයකට ප්‍රසිද්ධියේම ලක්වුණ ආත්මයට තවත් යන්න එන්න තැනක් නැතුව පොළව හාරගෙන හැංගෙන්නවත් බැරි තරමට අසරණ වෙනකම් උඩ දදා ගහන එක. ඔය සමහර කාලකණ්නි පොඩි එවුන් ඉන්නවා උන් කරන්නෙ සත්තුන්ට වද දීලා ඒ දිහා බලලා සතුටු වෙන එක, අන්න ඒ වගේ; ඒ මනුස්සයා තැලෙන තරමට, විඳවන තරමට වින්දනයක් ලබන එක තමයි ආලෝකේ ජීවීන් කරන්නෙත්. තව කෙනෙක්ගෙ සතුට, සමාදානය ආත්මයෙන්ම උරා බීලා පීඩනයට පත් කරන මිනිස්සු?

අපිට උදේ හවස මුණ ගැහෙන, එකට කන බොන, ඔෆිස් එකේ දී අපි ලඟින් ඉදගෙන ඉන්න, අපි ආදරය කරන, අපිට ආදරය කරන සමහර විට අපි ගරු කරන මිනිස්සු. තව ටිකක් හිතලා බැලුවොත් ඒ අපි. අනිත් මිනිස්සුන්ට චරිත සහතික දෙන්න ඉක්මන් වෙන අපි අපේ ඇතුලාන්තයට එබිලා බලනවද පිටතින් ආලෝකයෙන් දිදුලන ශරීරය ඇතුලෙ තියන ආත්මය මොන වගේද කියලා? නෑ, ගොඩක් මිනිස්සු බයයි තමන්ව ප්‍රශ්න කරන්න.
ෆේස්බුක් එකෙන් මෝඩ කතාවක් කියපු, නැත්නම් ජීවිතේ එක තැනකදි මෝඩකමක් කරපු, තමන්ගෙ මානසික ස්වභාවය නිසා හාස්‍යයට ලක්වුණ මිනිහෙක්ව/ගෑනියෙක්ව බයිට් එකට අරගෙන සමාජය ඉදිරියේම අර මනුස්සයගෙ ආත්මයම නිරුවත් කරලා සමූහ දූෂණයකට ලක් කරන ගමන් හුරේ දානකොට; බුකියෙන්, ගොසිප් සයිට් එකකින් කුණු ගොඩක් දැකලා නඩු තීන්දු තමන්ම දීලා උන්ව විනාශ කරලා දාද්දි එක මොහොතකට හිතුව ද තමන් කරන දේ ගැන?

ජීවිතේ එක තැනක් වැරදුණ, මෝඩ, නොතේරුම් කමක් තියන මනුස්සයෙක් ව බයිට් එකට ගන්න, උන්ගෙ ජීවිතේම විහිළුවක් කරලා විනාශ කරන්න තොපි මොක්කුද? එක මොහොතකට තව කෙනෙක්ගෙ ජීවිතයක වගකීම පැටවුණ මොහොතක ඒ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ මොන අයිතියකට ද?

ප්‍රතිභාපූර්ණ, පාරිශුද්ධවත්, පරිපූර්ණ ජීවිත ගත කරන මහා සමාජය!

තමන්ගෙ මේකප් තවරපු සෙන්ට් ගහපු ඇඟ ඇතුලෙ හංගගෙන ඉන්න කාලකණ්නි ගඳ ගහන ලේ පිපාසිත ආත්ම ඒ විදියට හැංගිලා ඉන්නෙ තමන්ට ඒ කාලකණ්නි අඳුරු ආත්මය එළියට දාන්න අවස්ථාවක් එනකම් විතරයි. එක ම එක මොහොතක්. ඒ ඇති.

ආලෝකය අගයන ආදරය කරන මිනිස්සු මේ ආලෝකය දිහා බලාගෙන ලෝකය සුරපුරයක් කියලා හිතාගෙන ඉන්න එක හොඳයි. මිනිස්සු පොසිටිව් වෙන්න ඕන, හොඳ දකින්න ඕන, කළු වලාවන් වල රිදී ඉරි තියනවලුනෙ නේද? ඒක තමා ගැම්ම. එතකොට අවුල මොකක්ද?

ආලෝකය, ලස්සන දකින එක හොඳයි. හැබැයි ඔය ආලෝකයට මුහුණ පාලා ඉන්න කොට තමන් පිටුපාන අන්ධකාරය පේන්නෙ නෑ. අන්ධකාරයට පිටුපාලා ආලෝකයේ ජීවත්වෙන මිනිස්සු තමන්ගෙ 'ආතල්' එක පිණිස විතරක් අන්ධකාරය එළියට දානකොට උන් ඒක දැක්කෙ නෑ ඉන්නවා. තව කාගෙහරි ආත්මයක් විනාශ කරද්දි එතන තියන අඳුර තමන්ගෙ කුහක මමත්වයෙන් වහගෙන සැනසෙනවා.
යටින් අපායක් හදලා ඒක උඩ තියන සුරපුරය ප්‍රදර්ශනය කරන සුචරිතවත් මහා සමාජය!

මූණට මේකප් ටිකක් දාගෙන අළුත්ම ස්ටයිල් එකට ගවුමක් අඳින, සෙන්ට් ටිකක් ගහලා ටයි පටියක් දිලිසෙන සපත්තු දෙකක් දාගෙන, ලස්සන වචන කතා කරන; තමන්ගෙ දිලිහෙන ශරීරය ඇතුලෙන් තියන කුණු ගඳ ගහන ආත්මය අනිත් එවුන්ට පේන්නෙ නෑ කියලා හිතන පිළිකුල් සමාජය!!

Comments