බබාලන්තය, ජනාධිපති බබා සහ තවත් බබාලා

(Image : Boss Baby Movie)

අපගේ ක්ෂීරපථය නම් මන්දාකිණියට බොහෝ එපිටින් පිහිටා ඇති ලොවක පිහිටන්නේ අපට බෙහෙවින් සමාන වූ මිනිසුන් වෙසෙන රටෙකි. එක ම වෙනස නම් එම රටෙහි වෙසෙන්නේ වැඩුණු හා පරිණත මිනිසුන් වෙනුවට බබා ලා වීම ය. අපේ බබා ලා කාලයත් සමඟ ලොකු වුණ ද මේ බබා ලා ලොකු වන්නේ නැත. එනයින් මෙම අසිරිමත් රට බබාලන්තය යැයි හැඳින්වේ. බබාලන්තය පාලනය වන්නේ ජනාධිපති බබා මූලික බබා-ලි-මේන්තුව මඟිනි.

කිරි බෝතල් උදුරා ගැනීම්, ජනාධිපති බබාගේ සූප්පුව අගමැති බබා හැපීම, කිරි බෝතලයට රටකජු ඇට දැමීම, ඇමති බබෙකුගේ නැපිය මාරු කිරීමට පොලිස් බබෙකු අමතක කිරීම වැනි කාරණා ඉතා සංවේදී හා දරුණු වූ අතර ජාතික ගැටළුවක් දක්වා වර්ධනය වන අවස්ථා එමට ය.

උදාහරණයක් ලෙස මාස කිහිපකට ඉහත දී ජනාධිපති බබා දුර බැහැර පෙදෙසකට ගියේ බබී කෙනෙකුගේ තන පටයක් ද රැගෙන මඩු මාළුවන් ඇල්ලීමට ය. තන පටයන් එකට ගැට ගසා දමා අල්ලාගන්න මඩුවන්ගේ නැට්ටෙන් කස තැනීම ඒ බබාගේ විනෝදාංශය විය. මේ අතරේ අගමැති බබා සිය ඇමති බබාලා ද සමඟ එක්ව ජනාධිපති බබාගේ සූප්පුව හපා තිබුණි. ජනාධිපති බබා ඩෙඟා නැටුවේ ය. පස්සා පැත්ත බිම ගසා ගත්තේ ය. නැපිය ගලවා විසි කර කෑ ගැසුවේ ය. අවසානයේ ජනාධිපති බබා තීරණය කළේ තමන්ගේ සහ අගමැති බබාගේ පැරණි විරුද්ධවාදියෙකු වූ මන්ත්‍රී බබෙකුට අගමැතිකම ලබාදෙන්නට ය. බබාලන්තයේ නීතියට අනුව ජනාධිපති බබා හට සිතැඟි පරිදි 'බබා-ආතල්' ගන්නට අයිතියක් හෝ බලයක් නැතත් මොළය නොවැඩුණ බබෙකු වූ ඔහු බබෙකු හැසිරෙන පරිද්දෙන් ම හැසිරෙමින් නැපිය නැතුවම බබාලන්තය ඉදිරියේ ප්‍රසිද්ධියේ ම නැටුවේ ය. අවසානයේ දී බබා-අධිකරණය විසින් ජනාධිපති බබාට පස්සට ගසා නැපිය හැඳ ගන්නා ලෙස බල කෙරුණි. අගමැති බබා නැවතත් තනතුරෙහි පිහිටවනු ලැබූ අතර විරුද්ධවාදී මන්ත්‍රී බබා හට විපක්ෂ නායක බබා ලෙස පත්වීම් ලැබ සැනහෙන්නට සිදු විය.

බබාලා ජීවත් වූයේ, ඔව්, බබාලා මෙනි.

සූප්පුව හැපීමේ ජාතික අර්බුදයෙන් පසු කෙටි කලක් බබාලන්තය තරමක් සාමකාමී ව පැවතිණ. මේ වන විට ජනාධිපති බබා අන්දරේ බබා ලෙස ද හඳුන්වන්නට ද ජනතා-බබාලා උත්සුක වූ බව පැවසෙයි.

ඉන්පසු උදා වූයේ බබාලන්තයට තවත් නරක කාලයකි. බබාලන්තයේ සහ එරට පිහිටි ලොවෙහි විවිධාකාර නම් හා විශ්වාසයන් සහිත ආගමික බබාලා නම් කොටසක් වෙසෙති. මේ බබාලා තමන් විශ්වාස කරන දෙයම නිවැරදි යැයි ද අනෙක් බබාලා වැරදි යැයි ද විශ්වාස කරති. ආගමික බබාලා හට පරිණත වනවා යනු ම වරදකි. ඔවුන් බබා වැඩ කරමින් බබාලා සේ ම ජීවත් වන්නට ආශා කරති. ඔය අතරින් බබාලා කණ්ඩායම් කිහිපයක් ම බබාලා බිහිවූයේ අරුම පුදුම දේව බබෙකු නිසා යැයි ද තම තමන්ගේ දේව බබා ඇත්තම යැයි ද අදහති. තම දේව බබාව පිළිනොගන්නා අයවළුන් මිත්‍යා-බබාලා ලෙස ද ඔවුන් සියල්ලන් ම හඳුන්වති. තවත් බබාලා පිරිසක් ඈත කාලයක විසූ බබෙකු අනුගමනය කරනවා යැයි පවසමින් ඒ බබාගේ ඇඟෙහි කොටස් ද ගල් හා මැටිවලින් තැනූ පිළිම ද වන්දනාමාන කරති. බබාලන්තයේ වැඩියෙන් සිටියේ මේ බබාලා ය. මේ වන විට එක් දේව බබෙකු අදහන පිරිසක් තම දේව බබාව පිළි නොගන්නා පිරිස මරා දැමීම සඳහා කටයුතු කර තිබුණි. වෙනත් දේව බබෙකු පිළිගන්නා පිරිසක් එල්ල කරගෙන මරාගෙන මැරෙන ජාපාල ඇට බෝම්බ පහර එල්ල කර බබාලා විශාල පිරිසක් ඝාතනය කරන්නට මේ බුද්ධිය නොවැඩුණ ආගමික බබාලා කටයුතු කළහ.

ඉන්පසු ව හෙළි වූයේ මෙම තොත්ත-බබා වරුන්ගේ ප්‍රහාරය පිළිබඳ රටෙහි ජනාධිපති බබා ද අගමැති බබා ද පොලිස්පති බබා ද ඇතුළු කිහිප දෙනෙකුම දැන සිටි බව ය. අගමැති බබා කීවේ ජනාධිපති බබා තමන්ට බබා මීටිං වලටවත් කතා නොකරන බැවින් තමන් කිසිත් නොදන්නා බව ය. ජනාධිපති බබා බබාලන්තයේ ආරක්ෂක ඇමති බබා ද වෙයි. තොණ්ඩුව බෙල්ලට ම වැටෙන්නට යන බව තේරුම්ගත් ජනාධිපති බබා පොලිස්පති බබා ට හා ආරක්ෂක ලේකම් බබා හට තග දමා ඔවුන් ව එලවා දැමුවේ ය. බබාලා විශාල පිරිසක් මරණට පත් ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ද බබාලන්තය දැඩි අනතුරකට ද පත් ව සිටින බව නොසැලකූ බබා-ලි-මේන්තු බබාල තීරණය කළේ තවත් බබා-ආතල් එකක් පිණිස සෙල්ලම් කරන්නට ය. ජනාධිපති බබා සහ අගමැති බබා දෙපිළ බෙදුණි. විපක්ෂ නායක බබාට ද වෙනම පිළක් ඇති අතර ඒ බබා දෙපිළට ම තරඟ කරන බවක් පෙනී යමින් තිබුණි. ජනාධිපති බබා ගසන ගසන පහරට අගමැති බබා බුරිය හපාගෙන පහර ගැසුවේ ය. බබා-ලි-මේන්තුවේ කතා-බබා තරඟයේ නාමික විනිසකරු මෙන් පෙනී සිටියේ ය. නමුත් සැබවින්ම බබා-ලි-මේන්තුවේ බබාලා සෙල්ලම් කරන විට වසු පැටව් මෙනැයි විටෙක පත්තර බබාලා පවසන්නට පුරුදුව සිටියහ.

මේ අතර ජනතා හා මීඩියා-බබාලාගෙන් ගැලවෙන්නට බබා-ලි-මේන්තුවේදී තීරණය කෙරුණේ බබා-දොස්තර-සෙල්ලමක් කරන්නට ය. ඇමති හා මන්ත්‍රී බබාලා විසින් එය ඇරඹුණි. එය හොඳින් පැවැත්වෙන බවක් පෙනුණි. නමුත් එක් දිනෙක එහි පැමිණි හිටපු-පොලිස්පති බබා ජනාධිපති බබා අල්ලාගෙන ජනාධිපති බබාගේ නැපිය අල්ලා අදින්නට වූයේ නැපිය ඔළුවෙන් ම ගලවන්නට ය. ජනාධිපති බබා හට බෙන්-ටෙන් වැහුණි. කිසිදු නිලධාරී බබෙකුට බබා-ලි-මේන්තු  සෙල්ලමට යාමට නොදෙන බව ජනාධිපති බබා කියා සිටියේ ය. මන්දපෝෂණය වැළඳුණ බබෙකු සේ කටයුතු කරන්නට වූ ජනාධිපති බබා බබාලන්තය තවත් අනතුරෙහි හෙලමින් බබා-කැබිනට් මීටිං වර්ජනය කරන්නටත් කැබිනට් බබාලා හට තර්ජනය කරන්නටත් වූයේ කෙසේ හෝ තම නැපිය බේරා ගැනීමේ අපේක්ෂාවෙනි.

පොලිස්පති බබා සිය නැපිය ගලවන්නට උත්සාහ කිරීමෙන් පසු ජනාධිපති බබා සිය සූප්පුව හැපුවේ පිස්සු බබෙකු මෙනි. මීඩියා බබාලා සහ ජනතා බබාලා පොලිස් බබා සමඟ එක්ව තමන්ගේ නැපිය ගලවන්නට අර අදින බව ජනාධිපති බබා හට වැටහුණි. ජනාධිපති බබා මීලඟට කළේ වඩු බබෙකුගේ සෙල්ලම් මඩුවක් කඩා දමා පැන දිවීම ය. ඉන් පසු කිසිත් නොදන්නා බබා මෙන් කැබිනට් බබා ලා හමුවන්නට ද යන බව පවසා තිබුණු බව සැලවෙයි. තමන් බබාලන්තය විනාශ කර හෝ හොඳ බබෙකු වී ඊලඟ වසරෙහි පැවැත්වෙන බබාලන්ත මොන්ටිසෝරිවරණයේදී මොනිටර් (සිංහලෙන් ජනාධිපති) විය යුතු බව පස්සා පැත්ත පොලවේ ගසමින් හැඬූ බව පසුගිය දිනෙක ජනාධිපති බබාට නැපි අන්දන්නට තවත් ඇමති බබාලා කිහිපදෙනෙකු සමඟ පොර ඇල්ලූ ආගමික තට්ට බබෙකු පවසා තිබුණි.

මේ වන විට බබාලන්තය අනෙක් බබාලාගේ නැපි වලින් අදින, නැපිය ගලවා නටන, බුරිය හපාගන අඬන බබාලාගෙන් පිරී ගොස් ඇතැයි ද බබා-ආරංචි මාර්ග පවසයි.

-සඳකැළුම් වෑවිට

Comments

Post a Comment