නොස්ටැල්ජියාව


ලැප් එක මගෙ ඉස්සරහ, මං ඇට ගැහුණ බිලී හැලෙක් එක්ක ගමනක් යමින් හිටියෙ, අවුරුදු 106 ක් වයස රොමානි අහිගුණ්ඨකයෙක් හොයාගෙන. මට මැවිලා පේනවා නාකි මිනිහා කුණු වුණ නහයක් එක්ක වැහැරිලා ගිය දුඹුරු පාට පරණ හංකඩ රෙදි කෑල්ලක් ඔළුවෙ ගැට ගහගෙන ඉන්න හැටි. මහ විසාල ගිනි ගොඩක් ඉස්සරහ.

ඒ අතරේ ලැප් එක පැත්තකින් තිබුණෙ පොත් කන්දක්. මහ විසාල පොතක් උඩම. ඊට පස්සෙ පරණ පාට ගහපු ටිකක් පොඩි පොතක්. ආයෙම මගෙ නෝට් බුක් දෙකක්. ඒවාට යටින් තවත් පොත්. ලැප් එක උඩ මං උදේ ලියන ගමන් නෝට්ස් දාගන්න ගත්තු හාෆ් ෂීට් කොලේ. HB B2 පැන්සල, ඒක මගේ අතේ. ටයිප් කරන්න මොකටද පැන්සලක්? මේසෙ වගේ ම මගෙ ඔළුවත් අවුල් වෙලා.

බිලී හැලෙක් වාහනේ නැවැත්තුවා, එයා යමින් හිටියෙ කුලියට ගත්තු කාර් එකක. ඔය වගේ ගමන් යද්දි මං සිංදුවක් දාගෙන තමා යන්නෙ. අද පටන් ගත්තෙ නයිට්විශ්ලගෙන්. ටික වෙලාවකට පස්සෙ හුරු පුරුදු සිංදුවක් ඇහෙන්න ගත්තා. මට ඒක ඇහුණෙ කාලෙකින්. අතීතයෙන් ඇහුණ සිංදුවක්. සිංදුවල සාමාන්‍යයෙන් තියෙන්නෙ සංගීතය, වචන වුණාට සමහර සිංදුවල හැඟීම් තියනවා. ඒත් අපේ ජීවිතේ දී වෙලාවකට සිංදුවකින් දෙකකින් අපිට ඊටත් වඩා දේවල් හම්බෙනවා.

පරණ ඈත ලෝකෙකින් අපි ඉස්සරහට ඇවිත් කොනිති ගහන මතක! හිත කීරි ගැහෙන හීන!

මං බිලී හැලෙක් ට පොඩ්ඩක් නවතින්න කියලා කාර් එකෙන් බැස්සා.

කට හඬකුත් එක්ක නොපැහැදිලි රූප සටහන් ගොඩක් පා වෙලා එනවා.

'අන්න ඔයාගෙ සිංදුව යනවා'

ඈ එහෙම කිව්වෙ මොනිටරේ ට ඔබන් හිටපු ඇස් දෙක මගෙ පැත්තට හරවන ගමන්. කළු පාට ට දිලිහෙන මාව ඇතුලට ඇදලා ගන්න ඇස්!

සීට් දෙකකට එහායින් හිටපු කොල්ලෙක් මං ආසම සින්දුවක් හයියෙන් දාගෙන අහනවා. කළු පාට ඇස් තියෙන කෙල්ල මං ම ෆෝන් එකට දාලා දීපු ඒ සිංදුව ගැන එයාට හිතෙන දේවල් කියනවා. මං අහන් ඉන්නවා.

මං හිනාවුණා, ඒක මහ වේලුණ හිනාවක්. මං ඒ හිනාවුණේ ඒ වෙලාවෙ ද නැත්නම් දැන් ද කියලා මට හිතාගන්න අමාරුයි. මං බිලී හැලෙක් දිහා බැලුවා. මිනිහා අහිගුණ්ඨකයා ඉන්න ගිනි මැලේ දිහාට යන ගමන්. මං ඒ පස්සෙන් යන්න හැදුවත් ආයෙම අර කටහඬ ඇහෙනවා.

මං එයා දිහා බැලුවා. අර මං ආසා කරන කම්මුලක් වල ගැහෙන හිනාවෙන් ඈ මං දිහා බලන් හිටියා. මං අහක බලලා ෆෝන් එක අතට අරන් කන්ටැක්ට් ලිස්ට් එකේ උඩට පහළට යනවා. තාමත් ඒ හිනාව පේනවා.

මං ෆෝන් එක පැත්තකින් තියලා ලැප් එක දිහා බැලුවා. සිංදුව තාම ප්ලේ වෙනවා. ඒත් මට ගායකයගෙ කටහඬ ට ඇතුලෙන් ඇහෙන්නෙ එයාගෙ කටහඬ.

'ඇයි ඔයා ඒ සිංදුවට ආස?'

මං ඒ සිංදුවට ආස නෑ. ඒත් මට ඒක නවත්තගන්න බෑ. දැන් කොහොමත් හේතුව වෙනස් වෙලා. මං පැනලා යන්න තැනක් හොයාගන්න වගේ වට පිට බැලුවා.

සිංදුව ඉවර වුණා. ඊලඟ සිංදුව ප්ලේ වෙන්න ගත්තා. අර කටහඬ ටික ටික නැතුව ගියා. මං බිලී හැලෙක් දිහා බැලුවා. මිනිහා ගිනි මැලේ ඉස්සරහ. ඈතින් ඉන්න ජිනා දිහා මිනිහා බලන් ඉන්නවා.
ඒ අස්සෙ මට සිංදුවකුත් ඇහෙනවා.

'I wish for this night-time
To last for a lifetime
The darkness around me
Shores of a solar sea....... '

Comments