කොන්දේසි විරහිත ආදරය



මනුස්සයා කියන්නෙ රංචු වශයෙන් නැත්නම් කණ්ඩායම් වශයෙන් ජීවත්වෙන සත්ව කොට්ඨාශයක්, එහෙම කියනවා. ඉතින් එදා මෙදාතුර මිනිස්සු එකිනෙකා අතර බොහොමයක් මාතෘකා කතා කරලා ඇති. ගැහැණු, පවුල, යුද්ධ, දෙවියන්, ආගම්, ලෝකෙ ගැන මේ වගේ දේවල්. ඔය කාටත් මඟ හැරුණු නැති දෙයක් මං හිතන්නෙ ආදරය කියන්නෙ. එක විදියකට හෝ තවත් විදියකට මිනිස්සු ආදරය ගැන කතා කරනවා. සමහරු ආදරය ආශිර්වාදයක් විදියට සලකද්දි තවත් සමහරු ඒක ශාපයක් නැත්නම් දුර්වලකමක් විදියට දකිනවා. ආදරය එකම විදියට දැකපු දෙන්නෙක් මේ ලෝකෙ නැතුව ඇති. ඉතින් එක එක විදියෙ ආදර කතා ඇතුලෙ තියනවා 'කොන්දේසි විරහිත ආදරය' කියලා එකක්; එහෙම එකක් තියෙන්න පුළුවන් ද? විශේෂයෙන් යුවලක් අතර ඇතිවන ආදර කතාවක?
මනුස්සයෙක් තමන් වෙනුවෙන් අල්පමාත්‍රයක දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙකුට ආදරය කරයි ද? සාමාන්‍යයෙන් නම් නෑ; අපි තව කෙනෙක් ආශ්‍රය කරන්නේ මොනයම්ම දෙයක් හෝ බලාපොරොත්තුවෙන්. මේක සරලයි. සුරක්ෂිතභාවය, ධනය, බලය, ලිංගික සතුට, ආපිට ආදරය, හිමිකර ගැනීමේ තෘප්තිය. මේ විදියට විවිධ දේවල්. දැන් එතකොට තමන් ගේ ආදරය වෙනුවෙන් ආපිට කිසිම නොලැබුණොත්?
කොන්දේසි විරහිත ආදරය කියන්නේ ම මහා පැටලිලි සහගත වචනයක්. මොකද ඒක නිර්වචනය කරගන්නේ තමන්, තමන් ට සාපේක්ෂව. සරලව ගත්තොත් වැඩි වශයෙන් ඕක නිර්වචනය වෙන්නෙ දෙවිදියකට;
එකක් අනිත් කෙනාගෙන් තමන්ගේ ආදරය වෙනුවෙන් කිසිම දෙයක් නොලැබුනත් ආදරය කරන එක. ඒ කෙනා ගැන ඔහුගේ/ඇයගේ යහපත ගැන හිතන එක. ඒ කෙනා තමන්ට නොලැබී වෙන කෙනෙක් ලඟට ගියත් ඒ ආදරය නොවෙනස්ව තියන එක. මේක ගොඩක් වෙලාවට යමක් ක්‍රියාවෙන් කරනවට වඩා හිතේ ඇතිවෙන හැඟීමක්. මෙතනදි සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඒක ඇත්තටම කොන්දේසි විරහිත නෑ කියලා. මොකද අර 'අනිත් කෙනා' ට කරන ආදරය කොයිතරම් ද ඊට වඩා දශමයක් හෝ තමන් තමන් ට ආදරය කරන නිසා.
අනිත් එක එතනින් සෑහෙන ඉස්සරහට යන දෙයක්. තමන්ට මොනවත් නොලැබුණත් ආදරය කරන කෙනා වෙනුවෙන් මැරෙන එක, මරන එක. ඒ කෙනා දිව්‍යලෝකෙක ඉන්නවා දකින්න තමන් අපායකට වැටෙන එක. ආදරය කරන කෙනා තමන්ගේ මූණටම වෙඩි තියද්දි ආදරෙයි කියලා ඒ කෙනාගෙ කැමැත්තට ඉඩ දීලා මැරෙන එක. මේක අර පළවෙනි එක තරම් සරල නෑ. මේ තත්වය වැඩියෙන් ම දකින්න ලැබෙන්නෙ කතන්දර වල විතරක් වෙන්නෙ ඒ නිසා.
මගේ අදහස අපේ 'කොන්දේසි විරහිත ආදර කතා' දෝලනය වෙන්නෙ මේ අවස්ථා දෙක අතර. 'මම එයාට කොයිතරම් ආදරය කරනවද?' නෙවෙයි 'මම මට වඩා එයාට ආදරෙයි ද? ඒ කොයිතරම් දුරකටද?' කියන එක මත.
ආදරය තරම් සංකීර්ණ වගේම ඒ තරම් සරල දෙයක් මේ ලෝකෙ වෙන නැතුව ඇති. අපි කෙනෙකුට ආදරය කරන්නෙම නැවත යමක් බලාපොරොත්තුවෙන්. ඒත් ඒ දේ නොලැබී යද්දි අපි පුරුදු වෙනවා වෙන දේවලට ආදරය කරන්න. වෙන කෙනෙකුට නෙවෙයි. මම එයා ට ආදරය කරන්නේ එයාව මගේ කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම නොවෙද්දි මම කරන්නේ එයා නොලැබෙන වේදනාවට ආදරය කරන එක. හිතේ කොනක මතුවෙන යන්තමට පණ ගැහෙන බලාපොරොත්තුවකට ආදරය කරන එක.
මිනිස්සු හිතනවා ආදරය සරලයි කියලා. ඔව් සරලයි, ඒත් ඒකෙ සංකීර්ණත්වය දකින්න මිනිස් මනස හැඩ ගැහිලා නෑ බොහොමයක් වෙලාවට.
'මං තනියම කොට්ටයක් තුරුල් කරගෙන ඉද්දි මට ඔයා ලඟ ඉන්නවා කියලා හිතන්න ඕන'  කියද්දි වගේ ම සමහර වෙලාවට, 'මං තමුසෙව මරනවා' කියද්දි තියෙන්නෙත් ආදරය.
ඉතින් සමහර විට, එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැකලා සතුටු වෙන එක ඒ එක්කම දැනෙන විදනාව පරිස්සම් කරගෙන ඉන්න එක වෙන්න ඇති 'කොන්දේසි විරහිත ආදරය' කියන්නේ. ඒත් ඇයි අහිමිවීමේ වේදනාව පරිස්සම් කරන්නේ? ඇයි සුව නොවෙන්නෙ? ඒ වේදනාව තමයි ඇයත් මමත් ආදරයත් වෙන් නොකර තියාගන්න දම්වැල් පුරුක. ඉතින් ඇයි මං සුව වෙන්නේ? ඉතින් මං වේදනාවක් බලාපොරොත්තු වෙනවා. සමහර විට ඒ ආදරේ කොන්දේසිය ඒක වෙන්නත් පුළුවන්.

Comments