සුමේරියානු මහා කාව්‍යය : ගිල්ගමේශ්

(Gilgamesh, King of Uruk)

ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අඳුරු කාමරයක මැටි පුවරුවක් මතට එබී සිටිනා තරුණයෙකි. දින ගණනක වෙහෙස දැරීමකින් පසු ඔහුගේ මුහුණේ දිස් වන්නට වූයේ විඩාවකට වඩා අතිශය විස්මපත් හැඟීම් ගොන්නකි. දින කිහිපයකට පසු හෙතෙම සිය මිතුරෙකුට ඒ පිළිබඳ ලියා යැවුවේ,

'මට අදහාගන්න බැරි වුණා මං කරපු සොයාගැනීම. මං කාමරය ඇතුලේ එහා ට මෙහා ට ඇවිද්දා. ආවේගය දරාගන්න බැරුව මං මගේ ඇඳුම් ඉරාගත්තා.' ලෙස ය.

මෙම තරුණ මිනිසා නම් මහා සුමේරියානු කාව්‍යය වන ගිල්ගමේශ් කාව්‍යය පරිවර්තනය කළ පළමු මිනිසා වන ජෝර්ජ් ස්මිත් (George Smith) ය. ඔහු එලෙස ප්‍රථමයෙන් පරිවර්තනය කරනු ලබන්නේ 'ඕඝ ඵලකය' (Flood Tablet) ලෙස හඳුන්වනු ලබන ගිල්ගමේශ් කාව්‍යයේ එකොළොස්වන ඵලකය යි. මෙම ඵලකය පුරාවිද්‍යාඥයන් පමණක් නොව බටහිර ලෝකයම කළඹන්නට වූයේ එහි සඳහන් කරුණු ක්‍රිස්තියානි බයිබලයේ පැරණි ගිවිසුමේ (ටෝරාව) සඳහන් 'නෝවා ගේ ජලගැල්ම' ඉතාමත් සමපාත වූ කතා වස්තුවක් වූ නිසයි.

(Assyriologist George Smith)
මෙම කාව්‍යය ඵලක 12 කින් සමන්විත වන අතර ප්‍රථමයෙන් මෙම ඵලක සොයාගැනීම සිදු කරනු ලබන්නේ 1853 වර්ෂයේ දී හෝමුzඩ් රසාම් (Hormuzd Rassam) විසිනි. ඒ ඔස්ටින් හෙන්රි ලයාඩ් (Austin Henry Layard) සහ රසාම් විසින් මෙහෙයවනු ලැබූ කැණීමක දී ය. වර්තමාන ඉරාකයේ මොසුල් (Mozul) නගරයට එපිටින් ඇති ඉපැරණි ඇසිරියානු අධිරාජ්‍යයේ නිනිවේ (Neneveh) නගරයෙ හි පිහිටා තිබුණු අෂුර්බුනිපාල් රජු ගේ (King Ashurbunipal, 668 B.C. - 627 B.C.) පුස්තකාලයේ  නටඹුන් අතර තිබී විශාල මැටි පුවරු ප්‍රමාණයක් සොයාගත් අතර සම්පූර්ණ ගිල්ගමේශ් කාව්‍යය ද සොයාගන්නා ලදී. මෙය ආකේඩියන් බසින් (Akkadian) හුලස්-හැඩැති හෝඩියක් (Cuneiform) භාවිතයෙන් ලියා තිබුණි. සම්පාදක ගේ නමද එහිම සඳහන් වන අතර හේ 1300 B.C. - 1000 B.C. අතර කාලයේ දී පැරණි මෙසපොතේමියාවේ ජීවත් වූ සින්-ලෙකි-උන්නින්නි (Sin-Leqi-Unninni)  නම් වූ පූජකයෙකු (Masmassu/Priest) ලෙස සැලකෙයි. 

(Assyriologist Hormuzd Rassam)
ගිල්ගමේශ් වෘතාන්තය ඇසිරියානු සහ සුමේරියානු ප්‍රදේශයන් හි ජනකතාවක් ලෙස පැවතුණ අතර මින් පෙර ගිල්ගමේශ් ගේ වික්‍රමයන් පිළිබඳ සඳහන් වූ කාව්‍යයන් පහක් කරලියට පැමිණි අතර බැබිලෝනියානු බසින් ලියා ඇති මේවා 2000 B.C. - 1500 B.C. කාලයේ ලියැවුණු බව සැලකෙයි.

- ගිල්ගමේශ් හා හුවාවා (Gilgamesh & Huwawa)
- ගිල්ගමේශ් සහ ස්වර්ගයේ වෘෂභයා (Gilgamesh & The Bull of Heaven)
- ගිල්ගමේශ් සහ කිෂ් හි අග්ගා (Gilgamesh & Agga of Kish)
- ගිල්ගමේශ්, එන්කිදු සහ යම ලොව (Gilgamesh, Enkidu & The Netherworld)
- ගිල්ගමේශ් ගේ මරණය (The Death of Gilgamesh)

මෙම මැටි පුවරු වල එකිනෙකට සම්බන්ධ නොවෙන වෘතාන්තයන් සටහන් කර තිබුණි. එමෙන් ම සොයාගැනීමට ලැබී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ගිල්ගමේශ් කාව්‍යයේ අසම්පූර්ණ බැබිලෝනියානු පිටපත් ලෙස මේවා හඳුන්වනු ලබයි.

මෙයට අමතරව තවත් විවිධ භාෂාවන් වලින් සටහන් කර ඇති අසම්පූර්ණ මැටි ඵලක සොයාගෙන ඇත. නමුත් මෙතෙක් අසම්පූර්ණ වූ ගිල්ගමේශ් ගේ ජීවන වෘතාන්තය සම්පූර්ණ වන්නේ 'ගිල්ගමේශ් වීර කාව්‍යය' (Epic of Gilgamesh) සොයා ගැනීමත් සමඟ ය. මෙය ගිල්ගමේශ් කාව්‍යයේ ආකේඩියානු/ සම්මත පිටපත (Standard Version) ලෙස හඳුන්වයි.

ගිල්ගමේශ් වීර කාව්‍යය

(I - XI) ඵලක අංක 01 සිට අංක 11 දක්වා සාරාංශය
(හැකි තරම් විස්තර ඇතුලත් කරමින් කාව්‍යය ඉදිරිපත් කරමි.)

කාව්‍යය ආරම්භයේ දී සඳහන් වන ආකාරයට ගිල්ගමේශ් තුනෙන් දෙකක් දිව්‍යමය සහ තුනෙන් එකක් මිනිස් වන පුද්ගලයෙකි. ඔහු උරුක් නගරයේ (City of Uruk) රජු වන අතර විශාල සහ ශෝභමාන සිරුරක් ඇති රාජධානියේ ශක්තිමත් ම පුද්ගලයා ඔහු වෙයි. ඔහු 'යුද්ධය, ආදරය සහ සශ්‍රීකත්වය ට අධිපති ඉශ්ටාර් දෙවඟන' ගේ (Goddess Ishtar) දේවාලයේ උත්තම පූජකයා ද (High Priest) වෙයි. මව නින්සුන් දෙවඟන (Goddess Ninsun) වන අතර පියා උරුක් හි ලුගුල්බණ්ඩා රජු (King Lugulbamda of Uruk) වේ. ගිල්ගමේශ් හැඳින්වෙන්නේ දුර්දාන්ත සහ රටවැසියන් තලා පෙළමින් කටයුතු කරන දුර්දාන්ත පාලකයෙකු ලෙස ය. ඔහු ගේ අකටයුතුකම් තවත් ඉවසිය නොහැකි තැන රාජධානියේ උපදේශකයන් (The Elders) දෙවිවරුන් හට මේ පිළිබඳ ව පැමිණිලි කරයි. ඒ අනුව ගිල්ගමේශ් ට පාඩමක් ඉගැන්වීම සඳහා මිනිසෙකු මවන ලෙස දෙවිවරුන් විසින් අරූරු දෙවඟන ට (Aruru - The Goddess of Creation) දැනුම් දෙයි. ඇය ගිල්ගමේශ් තරමට ම ශක්තිමත් 'එන්කිදු' (Enkidu) නම් මිනිසා නිර්මාණය කරයි.

(The Flood Tablet)

එන්කිදු මුලින් ම වන සතුන් සමඟ වනයෙහි දිවි ගෙවන අතර පසුව දඩයම්කරුවෙකු ඔහු දැක ඔහු ව මෙල්ල කිරීමට ගිල්ගමේශ් ගේ ඉශ්ටාර් දෙවොලෙ හි සේවය කරන ශම්හට් (Shamhat) නම් දෙවොල් වෛශ්‍යාවක් (Temple Prostitute) ඔහු වෙත එවනු ලබයි. ඔවුන් දෙදෙනා දින හයක් පුරාවට මෛථුන්‍යයේ යෙදෙන අතර ඉන් පසු ශම්හට් ඔහු ට වනයෙන් පිටව ඇයත් සමඟ ශිෂ්ඨ සම්පන්න සමාජයට පැමිණීමටත් ශිෂ්ඨ සම්පන්නව ජීවත් වෙන අයුරු උගෙනීමටත් ආරාධනා කරයි. එන්කිදු ඇය සමඟ නගරයෙන් මෙපිට එඬේර වාඩියකට පැමිණෙයි. හම්ෂට් ඔහුට නව දිවියට උපකාර කරන අතර ඔහු එඬේරුන් සමඟ මුරකරුවකු සහ ආරක්ෂයෙකු ලෙස ජීවත් වෙයි. දිනක් පණිවුඩකරුවෙකු පැමිණ උරුක් නගරයේ පවත්වන විවාහ මංගල්‍යයක් පිළිබඳ ව ඔවුන් ට දැනුම් දෙයි. පවතින සම්ප්‍රදාය අනුව මනාලිය මනාලයා සමඟ යහන්ගත වීමට පෙර ගිල්ගමේශ් මනාලිය සමඟ යහන්ගත වී කන්‍යාභාවය විනාශකර (deflower) දමයි. මෙය අසා දැඩි සේ උරණ වන එන්කිදු උරුක් නගරයට ගොස් මනාලිය කරා පැමිණෙන ගිල්ගමේශ් ට බාධා කරයි. එන්කිදු නගරයට පැමිණෙන විට එහි වැසියන් ප්‍රීතිඝෝෂා කළ බව පැවසෙයි. ඔවුන් දෙදෙනා සටනකට එළඹෙන අතර නගරයේ ද්වාර වෙවුලවමින් කරට කර දරුණු සටනක නිරත වේ. නමුත් මේ සටන අතර තම ප්‍රතිවාදියා ගේ ශක්තිය පිළිබඳව පැහැදීමට පත් වන ගිල්ගමේශ් සටන නවත්වා මිත්‍රත්වය පුදන අතර කේන්තිය නිවී ගොස් ගිල්ගමේශ් ගේ සටන් හැකියාව පිළිබඳ පැහැදී සිටි එන්කිදු මෙම ආරාධනය පිළිගනියි.

(Gilgamesh & Enkidu attacks Humbaba)

ගිල්ගමේශ් හා මිතුරු වූ එන්කිදු දුර ඈත පෙදෙසක පිහිටා ඇති මෘත්‍යයන් ට (Mortals) තහනම් වන දේවදාර වනයත් (Cedar Forest) එය ආරක්ෂා කරන එන්ලිල් දෙවියන් ගේ (Enlil - God of Earth, Wind) සේවකයෙකු වන හුම්බාබා (Humbaba/Huwawa) නම් රාක්ෂසයා පිළිබඳවත් ඔහු ට පවසයි. තම නාමය ඉතිහාසයේ සදාකාලිකව තබන්නට උවමනා වන ගිල්ගමේශ් හුම්බාබා මරා දැමීමට යාමට එන්කිදු හට ආරාධනා කරයි. මුලින් එයට විරුද්ධ වන නමුත් පසුව එන්කිදු එයට එකඟ වන අතර උපදේශකයන් ගේ බස් නොඅසා ඔවුන් ඒ සඳහා පිටත් වීමට සූදානම් වේ. තම මව වන නින්සුන් දෙවඟන මුණගැසෙන ගිල්ගමේශ් ඇයගේ ආශිර්වාද ලබා ගනියි. නින්සුන් මෙහිදී එන්කිදු ව තමා ගේ පුත්‍ර තනතුරට භාරගන්නා අතර ඔවුන් දෙදෙනා ව ආරක්ෂා කරන ලෙස ඇය ශාමාෂ් නම් වන හිරු දෙවියන් ට (Shamash - The Sun God) පවසයි.
දින සති ගණන් ගෙවමින් දේවදාර වනයට ලඟාවන ඔවුන් දෙදෙනා අතරමඟ දී එකිනෙකා ගේ ධෛර්ය වඩවාගන්නට කටයුතු කරමින් ගමන් කරයි. වනයට ලඟා වූ පසු ගිල්ගමේශ් අවස්ථාවන් තුනක දී සිහින තුනක් දකින අතර එන්කිදු ඒවා සුභ සිහින ලෙස ඔහුට තේරුම් කර දී ඔහු ධෛර්යමත් කරයි. ශාමාෂ් හට පුද පූජා පවත්වමින් ඉදිරියට ඇදෙන ඔවුන් හුම්බාබා සිටින පෙදෙසට ලඟා වී ඔහු කුපිත කිරීමට දේවදාර ගස් කැපීමට ආරම්භ කරයි. මින් කුපිත වී පැමිණෙන හුම්බාබා ඔවුන් හට දරුණු ලෙස පහර දෙයි. ශාමාෂ් මෙහි දී වීරයන් දෙදෙනාගේ උදව්වට හුම්බාබා දෙසට දරුණු කුණාටු දහ තුනක් යවමින් පහර දෙයි. ඉන් ප්‍රයෝජන ගෙන සටන් කර අවසානයේ හුම්බාබා පරදවන ඔවුන් දෙදෙනා හට හුම්බාබා තමා ව මරා නොදමන ලෙසත් ගිල්ගමේශ් හට අතවැසිකම් කිරීමටත් පොරොන්දු වෙයි. නමුත් එන්කිදු වහා එන්ලිල් පැමිණීමට පෙර රාක්ෂසයා ව මරා දමන ලෙසත් හුම්බාබා ගේ දරුවන් සත් දෙනා විනාශ කර දමන ලෙසත් පවසයි. ඔවුන් සියල්ලන් මරා දමන ඔවුන් දෙදෙනා වනයේ ගස් කපා විශාල පහුරක් තනා වනයේ විශාලතම ගසෙන් නගර ද්වාරයක් තනා එයත් හුම්බාබා ගේ හිසත් රැගෙන යුපට්‍රීස් නදිය ඔස්සේ නැවත උරුක් නගරය බලා නික්මෙයි. ගිල්ගමේශ් හා එන්කිදු ගේ වික්‍රමයන් හි ප්‍රථම කොටස මින් නිම වෙයි.

(01 සිට 05 දක්වා වන මැටි ඵලකයන් හි මෙම කොටස් අන්තර්ගත වෙයි.)

නැවත නගරයට පැමිණෙන ගිල්ගමේශ් පිරිසිදු වී රාජ වස්ත්‍රාභරණයෙන් සිටිනු දකින ඉශ්ටාර් දෙවඟන ඔහු පිළිබඳව රාග උපදවා ඔහු ට තම ස්වාමි පුරුෂයා වීමට ආරාධනා කරයි.
නමුත් ඉශ්ටාර් දෙවඟනක බව පෙන්වාදෙන ඔහු කිසිදු අඩුවක් නොමැති ඇයට තමා ව කෙටි කලකින් එපා වනු ඇති බවත්, ඇය ගේ සැමියා සහ පෙම්වතුන් පිළිබඳවත් ඇය ඔවුන්ට සැලකූ ආකාරයත් දක්වමින් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කරයි. මින් දැඩි ලෙස කෝපයට පත් වෙන ඉශ්ටාර් දෙවඟන 'අනු නම් අන්තරීක්ෂය ට සහ ස්වර්ගය ට අධිපති දෙවියන්' වන  (Anu - God of Heaven & Firmament) තම පියා මුණ ගැසී තමන් ට සිදු වූ අවමානය දන්වා ගිල්ගමේෂ් විනාශ කිරීමට ස්වර්ගයේ වෘෂභයා (Bull of heaven) තමන් හට භාර දෙන ලෙස පැවසුවා ය. මුලින් එය ප්‍රතික්ෂේප කළ අනු දෙවිඳුන් පසු ව උරුක් නගර වාසීන් හට සෙත සලසන බව පැවසීමෙන් පසු වෘෂභයා නිදහස් කරයි.

(Gilgamesh & Enkidu kills the Bull of Heaven)
ඉශ්ටාර් ගේ මෙහෙයවීමෙන් යුපට්‍රීස් නදිය අසලින් පහලට ආ වෘෂභයා මහ හඩින් ගර්ජනා කරන්නට වූ අතර ඉන් පොළොව දෙබෑ වී මිනිසුන් විශාල ගණනක් විනාශ විය. වහා එහි පැමිණි එන්කිදු මෘගයා හා සටන් කරන්නට විය. වෘෂභයා ගේ අං වලින් අල්ලා හිර කර ඌ නැවැත්වූ එන්කිදු ගිල්ගමේශ් හට ඌ ට පහර දීමට හැකිවන ලෙස ඌ අල්ලාගෙන සිටි අතර ගිල්ගමේශ් කඩු පහර එල්ල කරමින් මෘගයා මරා දැමීය. මින් වියරු වැටුණු අශ්ටාර් උරුක් හි ප්‍රාකාරය මත නැඟ ඔවුන් ට ශාප කරන්නට විය. ඉන් කිපුණු එන්කිදු මෘගයා ගේ ගාතයක් කපා ඇයට දමා ගැසී ය.

මේ සියළු දෙයින් පසුව එක්රැස් වන දෙවිවරුන් තීරණය කරන්නේ හුම්බාබා සහ ස්වර්ගයේ වෘෂභයා ඝාතනය වෙනුවෙන් වීරයන් දෙදෙනාගෙන් අයෙකු මිය යා යුතු බව ය. මෙහි දී ඉදිරිපත් වන ශාමාෂ් දෙවිඳුන් ගිල්ගමේශ් වෙනුවෙන් කතා කරයි.

පසු දිනෙක නින්දෙ හි සිටින එන්කිදු සිහිනයකින් දුටුවේ දෙවිවරුන් ඔහුව මරණයට කැප කරන බව ය. ගිල්ගමේශ් දෙවිවරුන් හමුවුව ද ඵලක් නොවන අතර ඉන් පසු දැඩිව අසනීප වන එන්කිදු ට නැවත වරක් සිහිනයෙන් යම ලොව දර්ශනය වේ. ඉන් දින දොළොසකට පසු ව එන්කිදු මිය යයි.
ශෝකයෙන් වියරු වැටෙන ගිල්ගමේශ් නගරයෙන් පිටව වනයෙ හි ඇවිදිමින් ශෝක වෙමින් කාලය ගත කරයි. එමෙන් ම තමා කල දේවල් නිසා, විශේෂයෙන් එන්ලිල් ගේ සේවකයෙකු වූ හුම්බාබා ඝාතනය කිරීම නිසා තමාවත් මරණයට පත් කරාවි යැයි බියෙන් ද වෙසෙයි. කලක් ගත වූ පසු ගිල්ගමේශ් තීරණය කරනු ලබන්නේ තම මුතුන් මිත්තෙකු වන අමරණීය උට්නාපිශ්ටිම් (Utnapishtim) මුණ ගැසී අමරණීයත්වයේ රහස උගෙනීමට ය. මෘත්‍ය වන මිනිසුන් අතරින් අමරණීය බව ලැබූ එකම මිනිසුන් දෙදෙනා වන්නේ උට්නාපිශ්ටිම් සහ ඔහුගේ බිරිඳයි. ඔහු හිරු පායා එන පෙදෙසේ ජීවත් වන අතර මින් පෙර කිසිදු මිනිසෙකු එහි ගොස් නැත.
වනයෙ හි කඳු අතර සිටි ගිල්ගමේෂ් සඳු දෙවියන් වන 'සින්' (Sin - The Moon God) ගෙන් තමන් ට එයට ආශිර්වාද සහ පෙරදැක්මක් (Vision) ලබා දෙන ලෙස ඉල්ලයි. එම රැයෙහි හදිසියෙන් අවදි වන ඔහු සිංහයන් රැලක් තමන් වටා සිටිනු දකින අතර වහා ක්‍රියාත්මක වන ඔහු සටන් කර සිංහයන් සියල්ල මරා දමයි. පසුව දුර කතර ගෙවමින් මිනිසුන් ගෙන් මඟ අසා ගෙන ගමන් කළ ගිල්ගමේශ් මාෂු නම් ද්විත්ව හිස් කන්ද (Mashu, The Twin-headed Mountain) වෙත පැමිණෙයි. එහි කන්දෙන් අනෙක් පසට දිවෙන උමං මාර්ගයක් වෙයි. එම මාර්ගය අවහිර කරමින් සිටින්නේ එහි ආරක්ෂකයන් වන ගෝනුසු-මිනිසෙක් (A Scorpian-Man) සහ ඔහු ගේ බිරිඳයි. ඔහු කවුදැයි දැන හඳුනා ගැනීමෙන් පසු ගිල්ගමේෂ් හට එහි ඇතුළුවීමට ඉඩ දීමට බිරිඳ ගෝනුසු-මිනිසා ව කැමති කරවා ගනියි. දින ගණනක් ඝන අන්ධකාර උමඟෙ හි ඇවිදීමෙන් පසු අවසානයේ ඔහු පාරාදීසයක ට පැමිණෙයි.

පාරාදීසය කෙලවරක සාගරය අහල සුරාසලක වෙසෙන සිදුරි නම් වයින් හා බීර වලට අධිපති දෙවඟන (Siduri - The Goddess of Wine-making & Beer-brewing) ඔහු දැක සොරෙකු යැයි සිතා පහර දෙන්නට සැරසුනත් ගිල්ගමේශ් ඔහුව හඳුන්වා දුන් පසු ඔහුට සත්කාර කරයි. තමා ගේ ගමනේ අරමුණ පවසන ගිල්ගමේශ් හට එම ගමනෙ හි නිරර්ථක බව වටහා දෙන්නට උත්සාහ කළ ද එය අසාර්ථක වූ තැන සිදුරි ඔහු ට උට්නාපිශ්ටිම් ගේ ඔරුකාරයා වන උර්ශනාබි (Urshanabi) හමුවෙන ලෙසත් විසකුරු ජලයෙන් එතෙර විය හැක්කේ ඔහුට පමණක් බවත් දන්වයි.

සිදුරි පැවසූ ලෙස උර්ශනාබි සොයා යන ඔහු උර්ශනාබි ආරක්ෂා කරන උර්නු නම් සර්පයන් (Urnu-Snakes) ද පාෂාණමය ජීවීන් පිරිසක් (The stone things) ද ඝාතනය කර දමා උර්ශනාබි හමු වේ. තමා ආ කාරණය සැල කර සිටින ගිල්ගමේශ් තමන් ව උට්නාපිශ්ටිම් හමුවට ගෙන යන ලෙස ඉල්ලා සිටියි. උර්නු සර්පයන් හා පාෂාණ ජීවීන් නොමැතිව එතෙර යාමට නොහැකි බව පවසන උර්ශනාබි වනයෙ හි ගස් කපා රිටි 120ක් ( සමහර මූලාශ්‍රයන් හි රිටි 300ක් ලෙස දැක්වේ.) සකස් කරන ලෙස යි. මෙසේ රිටි සකස් කරගෙන ගමන් අරඹන ඔවුන් රිටි සියල්ලම කැඩී විනාශ වන්නට පෙර (අවසාන රිටෙන් රිටිගාමින්) වෙරළකට සේන්දු වේ.
උශ්නාපිශ්ටිම් හමුව තමා ආ කාරණය දන්වන ගිල්ගමේශ් අමරණීයත්වයේ රහස විමසා සිටියි. අමරණීයත්වය තමන් ට ලබා දුන්නේ දෙවියන් බව පවසන උශ්නාපිශ්ටිම් එය ලබාගත් ආකාරය පවසයි.
වරක් එන්ලිල් ගේ පෙළඹවීම මත දෙවිවරුන් තීරණය කරනු ලබන්නේ සියළු මනුෂ්‍ය වර්ගයා විනාශ කර දැමීමට යි. ඒ සඳහා විශාල ජලගැල්මක් එවීමට ඔවුන් තීරණය කරනවා. ශුරුප්පාක් නගරයෙ හි රජ වූ (King of City Shuruppak) උට්නාපිශ්ටිම් හට ප්‍රඥාවට හා කර්මාන්තයන්ට අධිපති එආ දෙවිඳුන් (Ea - God of Wisdom & Crafts) උපායක් මඟින් දන්වා සිටින්නේ සුවිසල් නැවක් නිර්මාණය කර සියළුම සතුන් එයට නංවා ගන්නා ලෙසයි. මේ ආකාරයෙන් කටයුතු කර යුපට්‍රීස් නදිය මත නැව දියත් කර එයට ඇතුළු වී දොරවල් වසා ගන්නා උට්නාපිශ්ටිම් සහ පිරිස ඇතුළු නැව මහා ජලගැල්මෙන් පසු කඳු මුදුනක් මත නතර වනවා. ඉන්පසු දින ගණනාවක් ඇතුලත පරෙවියෙක්, වැහි ලිහිණියෙක් සහ කපුටෙක් මුදා හරින උට්නාපිශ්ටිම් ඉන් පසු නැවෙ හි දොරවල් විවෘත කර පිටතට පැමිණ දෙවිවරුන් ට යාගයක් කරයි.

මේ අවස්ථාව සඳහා සහභාගී වන එන්ලිල් මිනිසුන් බේරී සිටිනු දැක කුපිත වන නමුත් එආ දෙවිදුන් විසින් කිහිප දෙනෙකුගේ වැරදි වලට සමස්ත මනුෂ්‍ය වර්ගයා ම දඬුවම් විදිය යුතු නැති බව පවසා එන්ලිල් ව සන්සුන් කලේය. එය පිළිගත් එන්ලිල් සියල්ලන් රැකගැනීම පිළිබඳව සතුටුව උට්නාපිශ්ටිම් සහ ඔහුගේ බිරිඳ ව කැඳවා අමරණීය බව දානය කරන ලදී.

මෙසේ අමරණීය බව ලබා ගත් ආකාරය විස්තර කල උට්නාපිශ්ටිම් 'ඔබ අමරණීය වීමට තරම් වැදගත්දැ' යි විමසා ගිල්ගමේශ් හට අභියෝගයක් කලේය. එනම් දින හතක් නොකඩවා නොනිදා සිටිමය. මෙම අභියෝගය බාරගත් ගිල්ගමේශ් පළමු දිනයේම නින්දට වැටී පරාජය වූ අතර දින හතක් නොකඩවා නින්දට වැටී සිටියේ ය. ඉන් පසු ඔහු අවදි උට්නාපිශ්ටිම් ඔහුට නව වස්ත්‍ර සපයා උර්ශනාබි සමඟ නැවත උරුක් නගරය කරා පිටත් කර යැවී ය. පිටත් වීමට උට්නාපිශ්ටිම් ගේ බිරිඳ ගේ ඉල්ලීමකට අනුව ගිල්ගමේශ් ට සමුගැනීමේ ත්‍යාගයක් ලෙස යෞවනභාවය නැවත ලබා ගත හැකි පැළෑටියක් පිළිබඳව දැනුම් දීමට ඔහු කටයුතු කලේ ය. ඒ අනුව සාගරයේ පතුලේ ඇති මෙම පැළෑටිය ලබා ගැනීම සඳහා ගිල්ගමේශ් මුහුද පතුලෙහි ඇවිද යා හැකි ලෙස දෙපා වලට ගල් බැඳගෙන ගොස් යෞවනත්වයේ පැළෑටිය ලබා ගත්තේය.

(Serpent Steals the youth-plant)
පැළෑටිය ලබා ගෙන නැවත එන ගමනේ දී එක් දිනෙක ගිල්ගමේශ් මඟ නැවතී විලක ස්නානය කරන්නට ගියේය. මේ අතර එහි පැමිණි සර්පයෙකු පැළෑටිය සොරා ගෙන හැව ඇර නැවත යෞවනත්වයට පත් වී පලා ගියේය. (සර්පයන් ට හැව ඇරීමේ හැකියාව ලැබුණේ එබැවිනැයි පැවසේ.) මේ සිදුවීමෙන් දුකට පත් වූ ගිල්ගමේශ් හිස් අතින් ම උර්ශනාබි සමඟ නැවත උරුක් නගරයට පැමිණියේ ය. නමුත් මෙසේ නැවත පැමිණි ගිල්ගමේශ් වඩා ඥානවන්ත සහ තම රට වැසියන් පිළිබඳ සිතන රජෙකු බවට පත් ව තම මරණය තෙක් ඉවසීමෙන් බලා සිටින්නට විය.

(මැටි ඵලක අංක 06 සිට අංක 11 දක්වා මෙම කොටස සඳහන් වේ.)

මැටි ඵලක අංක 12 (සාරාංශය)

(Gilgamesh, Enkidu & the Netherworld)
මෙම දොළොස්වන ඵලකය සෙසු වෘතාන්තයෙන් පරිබාහිර වන අතර සම්පාදක විසින් පසුව එක් කළ කොටසක් යයි සැලකෙයි. මෙහි දී එන්කිදු තවමත් ජීවතුන් අතර සිටියි. එමෙන් ම ඉෂ්ටාර් ගිල්ගමේශ් සමඟ මිතුරුව සිටියි. ඉනානා (ඉෂ්ටාර් දෙවඟන) හුලුප්පු (Huluppu Tree) නම් ගසක් සිටුවා රැක බලාගන්නා අතර අවුරුදු ගණනාවකට පහු එය වැඩුණ විට සර්පයෙකු ද අන්zසු නම් කුරුල්ලෙකු ද (Anzu bird) අන්ධකාරයේ සේවිකාව වන ලිලිත් ද මෙම ගසෙහි නිවාස තනාගෙන වාසය කරයි. මෙහි දී ඉනානා ට පිහිට වන්නේ ගිල්ගමේශ් වන අතර ඔහු තම කෙටේරියෙන් පහර දී සර්පයා මරා දමා අනෙකුන් පලවා හරියි. ඉනානා ඔහුට එම ගසෙන් ගත් ලී වලින් බෙරයක් සහ බෙර අතකොළුවක් සාදා පරිත්‍යාග කරයි. වරක් මෙම වස්තූන් පොළොව හරහා ගොස් යම ලොවට වැටෙයි. එය නැවත රැගෙන එන්නට ඉදිරිපත් වන්නේ එන්කිදු ය. ගිල්ගමේශ් ඔහු හට යම ලොවේ දී කළ යුතු හා නොයුතු දෑ පහදා දී ඔහු පිටත් කර හරින නමුත් එන්කිදු මුරණ්ඩු ව නොකළ යුතු දෑ කරයි. යම ලොවට අධිපති එරෙශ්කිගාල් රැජිණ (Queen Ereshkigal) එන්කිදු ව යම ලොවෙහි සිරකර තබන අතර ගිල්ගමේශ් දෙවිවරුන් හට එන්කිදුව නිදහස් කරන ලෙස ආයාචනා කලත් කිසිවෙකු සවන් දෙන්නේ නැත. අවසානයේ දී ප්‍රඥාවට අධිපති එආ ඔහුට සවන් දී පොළොවේ පැල්මක් ඇති කර එන්කිදු ගේ ආත්මයට නැවත පැමිණ ගිල්ගමේශ් හමුවීමට ඉඩ සලසා දෙයි. මෙහි දී ගිල්ගමේශ් එන්කිදු ගෙන් යම ලෝකය ගැන විමසයි. මරණයට පත් වූවන් ගැන විමසන ගිල්ගමේශ් ට ඔහු පිළිතුරු දෙන්නේ මෙලොව ඥාතීන් අඩුවෙන් ම සිටින පිරිස වැඩියෙන් ම දුක් විඳින බවත් වැඩියෙන් ඥාතීන් සිටින පිරිස අඩුවෙන් දුක් විඳින බවත් ය.

සින්-ලෙකි-උන්නින්නි විසින් සම්පාදිත ගිල්ගමේශ් මහා වීර කාව්‍යය මෙසේ අවසන් වෙයි.

ගිල්ගමේශ් හා ඓතිහාසික පසුබිම

මෙම කාව්‍යය සම්පාදනය වන්නේ හෝමර් විසින් ඉලියඩ් රචනා කරන්නටත් සියවස් ගණනාවකට පෙරය. සුමේරියානු රාජ වංශ සඳහන් මැටි ඵලකයන් විමසීමේ දී ක්‍රි.පූ. 2600 පමණ කාලයේ දී ගිල්ගමේශ් නම් රජ කෙනෙකු අපට හමුවේ. මොහු ගේ රාජ්‍ය කාලය වසර 126 ක් පමණ වූවා යැයි ද සමහර තන්හි කියවේ. ගිල්ගමේශ් අයත් වන්නේ කිෂ් රාජවංශය බිඳ වැටීමෙන් පසු උරුක් නගරය කේන්ද්‍ර කොට බිහිවන උටු (Utu - හිරු දෙවියන් හඳුන්වන නමකි) රාජවංශයට ය. ඔහු ගේ පියා කුලාබා හි උත්තම පූජකයකු වූවා යැයි සැලකේ.
එමෙන් ම ගිල්ගමේශ් හට හමුවන උට්නාපිශ්ටිම් ශුරුප්පාක් හි රජ කෙනෙකු ලෙස ත් උබාරා-ටුටූ (Ubara-Tutu) නම් රජු ගේ පුත්‍රයා ලෙසත් හැඳින්වේ. කෙසේ නමුත් රාජවංශයන් හි උට්නාපිශ්ටිම් පිළිබඳ සඳහන් නොවන අතර උබාරා-ටුටූ ගේ පාලන කාලය තුල හෝ ඉන් පසුව මහා ජලගැල්මක් පැමිණ ඇත. ජලගැල්මෙන් පසුව ශුරුප්පාක් රාජධානිය බිඳවැටෙන අතර කිෂ් රාජවංශය බලය ලබාගනියි.
මේ අතර උට්නාපිශ්ටිම් (අට්රා-හසීස් ලෙස ද හැඳින්වේ.) ගේ වෘතාන්තය ඉතාම ආසන්නව ටෝරා වේ සඳහන් නෝවා (Noah) ගේ වෘතාන්තයට සමපාත වේ. මෙය ගිල්ගමේශ් ගේ වෘතාන්තයේ මෙන්ම වෙනම වීර කාව්‍යයක් ලෙස ද හමුවේ. මෙම අට්රා-හසීස් ගේ වීර  කාව්‍යය (Epic of Atra-Hasis) හමුවන්නේ ද අෂුර්බුනිපාල් ගේ පුස්තකාල නටඹුන් අතර තිබියදී ය.

(Tablet of the epic of Atra-Hasis)

ගිල්ගමේශ් සහ තාරකා යුද්ධය

ගිල්ගමේශ්, එන්කිදු දෙදෙනා හුම්බාබා සහ ස්වර්ගයේ වෘෂභයා අතර ඇතිවන සටන හුදෙක් වීර කාව්‍යයක් විය හැක. නමුත් ඉපැරණි සුමේරියානු සහ බැබිලෝනියානු ආගම් පැවති තාරකා වලට විශේෂ ස්ථානයක් හිමි වූ සමයක එය එසේ නොවුනා වන්නටත් පුළුවන.

හිරු කේන්ද්‍ර කරගෙන තාරකා මණ්ඩල වල සිදුවන වෙනස්වීම් නක්ෂත්‍රකරුවන් ගේ අවධානයට යොමුවන අතර අවුරුදු දෙදහසකට පමණ වරක් ලෝකයට බලපාන රාශී චක්‍රයන් වෙනස් වන බව කියැවේ. උදාහරණ ලෙස නාසරෙත් හි ජේසුස් උපත ලද වර්ෂයන් මේෂ රාශියෙහි (Aries) අවසන් දශකය තුල වූ අතර ජේසුස් 'බැටළුවන් අතර උපත ලබා මාළු (ව්‍යංගයෙන් මිනිසුන්) අල්ලන්නෙකු ' වූ බව කියනු ලැබේ. ඒ අනුව වර්තමානයෙහි අප ජීවත් වන්නේ මීන රාශිය ට (Pisces) අයත් අවසන් දශකයන් හෝ කුම්භ රාශියෙහි මුල් දශකයන් විය යුතුය.

(Orion & Taurus)
මේ ආකාරයටම එයට වසර දෙදහසකට පමණ පෙර සූර්යයා සිය දිශානතිය වෘෂභ රාශියෙහි (Taures) සිට මේෂ රාශියට යොමු කරන්න ට විය. (ගිල්ගමේශ් ජීවත් වූ කාලය ක්‍රි.පූ. 2600 ගණන් ලෙසත් සමහර තන් හි ක්‍රි.පූ 2000 ලෙසත් දැක්වේ.) මෙම තාරකා මණ්ඩල හුවමාරුව මෙම කාව්‍යය මඟින් අර්ථ ගැන්වෙන්නේ යැයි සමහරුන් තර්ක කරයි.

ගිල්ගමේශ් හුම්බාබා හා සටනට එළඹෙන්නේ බඳෙහි අසිපතක් රඳවා දුන්නක් අතින් ගෙන ය. වෘෂභ තාරකා මණ්ඩලයට මෙපිටින් සිටින ඔරායන් (Orian) ද මෙම ලක්ෂණ දක්වයි. එසේ ම ඔරායන් අසල සිටින සිරියස් (Sirius, the dog star) නම් තාරකාව පෙරගමන් කරයි.  ඔවුන් ට අනුව හුම්බාබා සහ දරුවන් සත් දෙනා යනු වෘෂභ රාශියට ඉහළින් හිටින හත්දින්නත් තරු (The seven sisters) රාශියයි. වෘෂභයා වෙත එළඹීමට ප්‍රථම ඔවුන් හා සටන් කිරීමට ඔරායන් හෙවත් ගිල්ගමේශ් ට සිදු වේ. ඉන්පසු වෘෂභයා (Taures) මරා දමන ඔරායන් බැටළුවා (Aries) ආරක්ෂා කරයි.

මෙසේ විවිධ ආකාරයෙන් විවිධ පුද්ගලයන් අදහස් දක්වන අතර ලොව ප්‍රථම සුපිරි වීරයන් ලෙස ද ගිල්ගමේශ් සහ එන්කිදු අප හට හැඳින්විය හැක.

මූලාශ්‍ර:

-Ancient Origins
-Myth encyclopedia
-BBC
-Wikipedia
-Spark Notes
-Jewish christian lit
-National Geographic

Comments

Post a Comment