පරෙයියා ගේ දින සටහන්


පාන්දරම අවදි වූ පරෙවියා බුකිගත වූයේ දවසේ හොට් ටොපික්ස් පිරික්සා බලන්නට ය. වෝල් එකේ ඉහළ පහළ සැරි සැරූ හෙතෙම තීරණය කලේ මහනුවරට සිග්නල් දමා ගාල්ල බලා පියාසර කිරීම යහපත් බව ය.
බුකිවාසීන් පවසා ඇති ආකාරයට මිය ගොස් සිටින්නේ රටක් බියෙන් සලිත කල මිනිසෙකි. නොකිලිටිව උපන් බිළිදෙකු රෞද්‍ර හා තිරිසන් ගති ඇති මිනිසෙකු බවට පත් වන්නේ කෙසේදැ යි පරෙවියා කල්පනා කරේ බොරැල්ල කනත්තට ඉහළින් පියාසර කරන අතරවාරයේ ය.
උපන් දා සිට මියෙන තෙක් මිනිසුන් විවිධාකාර වූ අත්දැකීම් වලට මුහුණ දෙති. තමන් ජීවත්වන පරිසරය සහ මුහුණ දෙන අත්දැකීම් කෙනෙකු ඔප මට්ටම් වීමට බලපාන අතර සමනල් තටු ගැසීමක් මහා සුළි කුණාටුවක් බවට පත්වන්නේ යම් සේ ද එලෙසම එම අත්දැකීම් එකිනෙකට එකක් සම්බන්ධ මහා සිද්ධි දාමයක් නිර්මාණය කරන්නට හේතු වෙයි. සමහර විට එම මිනිසාත් තටු ගැසීමකින් අවදි වූ කුණාටුවක් වන්නට ඇත.

දහසය හැවිරිදි කොලු ගැටයකුගේ කණ ට පෑනක් ඔබා එය ඔළුව පසා කරගෙන යන්නට කණ ට ගසන නිලධාරියා එසේ කරන්නේ පසුම්බියේ ඇති මරා දැමූ තම මවගේ ඡායාරූපය සිහිපත් කරමිනි. එක් සාපරාධී ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමට තවත් සාපරාධී මගක් තෝරාගැනීමෙන් එය සාධාරණීකරණය වන්නේ නැති නමුත් එය එසේ වන්නේ යැයි ඔහු තර්ක කරනු ඇත.

පියාසරන අතරතුර බුකි වැසියන්ගේ සංවාද සංඛ්‍යාතයන් සුසර කරගත් පරෙවියා ඊට සවන් යොමු කරන්නට විය.

"ඕකා කොල්ලො කෙල්ලො පණපිටින් පුච්චලා මරපු තිරිසනා."

"ඌ එහෙම කලේ දේශප්‍රේමී ව්‍යාපාරයෙන් අම්මවයි පවුලේ එවුන්වයි මරපු පලිය ගන්න."

"ඕකගෙ වලටත් හෙන ගහනවා."

"පවුලේ එවුන් ව මැරෙව්වෙ පැවති රජයෙන්."

"ජේ ආර් ගේ දඩ බල්ලා."

ආදී වශයෙන් ප්‍රකාශ නිකුත් වෙමින් තිබුණි. ඒවා අසා ඔක්කාරයට ආ පරෙවියා සුදු කොඩි පෙනෙන මානයේ සිට වමනය කරන්නට විය.

ලේ වැගිරීමෙන්, ප්‍රතිවාදී මත දරන්නන් මරා දැමීමෙන්, මර්ධනයෙන් සමාජයක්/රටක් ආපස්සට මිස ඉදිරියට යන්නේ නැත. තරුණ ජීවිත දසදහස් ගණනක ගේ මරණයන් අපට වර්තමානයේදී මෙන්ම ඉදිරි දශකයන්ට ද ශාපයක් වනු ඇත. කලාකරුවන්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයන්, නිදහස් චින්තකයන් වෙනුවට බොල් පිළිම සහ ගල් පිළිම අපට ඉතිරිව ඇත.

පැවති නායකත්වයන් තම තමන් ගේ දේශපාලනික වාසි වෙනුවෙන් මුළු රට ම අගාධයකට ඇද දමා කටයුතු කල අතර අද වන විට ද එය එසේ ම වෙමින් පවතියි. ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය සහ ලේ පිපාසාව ට පොහොර දමමින් ඔවුන් කරන්නේ අපටම වල කැපීම බව අප තේරුම්ගත යුතු ය. එසේ ම එය වැලැක්වීමට කටයුතු කළ යුතු ව ඇත.

නැතහොත් හරි හෝ වැරදි හෝ උඩුගම්පොළ ලා නැවත නැවතත් බිහිවනු ඇත. වරදකරුවන් මෙන් ම දහස් ගණනින් අහිංසකයන් ද ටයර් සෑ මත දැවෙනු ඇත.

බල්ටියක් ගැසූ පරෙවියා ආපසු හැරුණේ සීනිගම ගොස් 'රටවැස්සන් ගේ මොලේ පෑදේවා' යි පොල් ගසන්නට සිතාගෙන ය.

Comments

Post a Comment