වෘකයා හුන් තැනින් නැඟිට එහා මෙහා යයි. මා බලා සිටිමි. ඔහු නොසන්සුන් බව පෙනෙයි, වරෙක නැවතී හිස වනා ගොරවයි, නැවත අහස දෙස බලයි, වෘකයාගේ තියුණු ඇස් මහා බරකින් ගිලී ගොසිනි. අහස දෙස බැලූ ඔහු බලාපොරොත්තු කඩව ගොරවමින් පොළොව පහුරු ගායි.
ඇය තවම නැත, වෘකයාගේ පෙම්වතිය ඈ ය. සෑම දිනකම තම පෙම්වන්තිය බලාපොරොත්තුව වෘකයා මෙසේ වනය පුරා සැරිසරයි. ඇගේ උණුහුමට ආශක්ත වූ වෘකයා තමාට හිමි නොවන ඇයටම තව තවත් පෙම් බඳියි, ඒ මන්දැයි වෘකයා පවා දන්නා බවක් නොපෙනෙයි.
වරෙක ඇය හොරෙන් මෙන් පැමිණ නික්මී යයි, යන්තම් එබිකම් කරයි, කළු වලාවන් ඇයට ඔහු වෙත පැමිණීමට ඉඩ නොදී මඟ අවුරයි. වෘකයා කෝපය හා අකමැත්ත පළ කිරීමට මෙන් ගොරවයි. උපේක්ෂාවෙන් හා ආතතියෙන් කල් ගත කරන ඔහුට මරාගත් සතෙකුගේ මස පවා තෘප්තියක් අත් කර නොදෙයි.
වරෙක ඇය හොරෙන් මෙන් පැමිණ නික්මී යයි, යන්තම් එබිකම් කරයි, කළු වලාවන් ඇයට ඔහු වෙත පැමිණීමට ඉඩ නොදී මඟ අවුරයි. වෘකයා කෝපය හා අකමැත්ත පළ කිරීමට මෙන් ගොරවයි. උපේක්ෂාවෙන් හා ආතතියෙන් කල් ගත කරන ඔහුට මරාගත් සතෙකුගේ මස පවා තෘප්තියක් අත් කර නොදෙයි.
වෘකයා මා දෙස බලයි, මා ඇඟ කිලි පොලා යන්නේ ඔහුගේ දෑස් වල දිලිසෙන බියකරු බවටය. බියකරු බවට යටින් හිමි නොවන්නා වූ යමකට ඇති ආශාවත් වේදනාවත් එහි දිස් වේ, හේ පෙම්වතෙක් වී ඇති සේ ය. වෘකයා හිස ගස්සා ගොරවමින් ඉවත බලයි, නමුදු ඒ වේදනාව පිරි බැල්ම මා හට හුරු පුරුදු සෙයකි, එය මා වෙලාගෙන ඇති සෙයකි, හුස්මක් හෙළමි.
දින ගණන් මෙසේ කල් ගත කරන වෘකයා බැලීමට අවසන ඇය පැමිණෙයි, දහවල සැඟැවී නිද්‍රාශීලීව ගත කල ඔහු නව ජවයකින් එළි බසියි. ඇගේ කාන්තිය වැටී අවට පරිසරය දිදුලයි. ගස් කොලන් අග මුතු කැට එල්ලුවාක් මෙනි, වනය අසල ඇති විල ඇගේ ආලෝකයෙන් දිදුලමින් සුලඟට රන් පැහැ රැලි නංවමින් සෙලවෙයි. නිශාචර ලෝකයට දිව්‍යමයභාවයක් ලැබී ඇත්තා සේ මට හැඟෙයි. නිශ්චල අලංකාරත්වයක් වනය වෙලා ගෙන පැතිරී ඇත.
එය එසේ වුවද වෘකයාට නම් නිශ්චලව සිටින්නට නොහැකිය. ඔහු නොසන්සුන්ය, ඇය පැමිණ සිටියි. සිරුර පුරාම වූ ඇට මස් නහර වල පටන්ම නොසන්සුන් නමුත් ප්‍රබල ජවයක් නැගෙයි, සිරුර පුරා ලේ අධික වේගයකින් ගමන් කරනු දැනෙයි, මස් පිඩු තද වී ඇත. තම ලොම් පුම්බා ගනිමින් ඔහු ඇය දැකීමට මහා පර්වතය දිගේ ඉහළට නැඟෙයි.
ඇය පැමිණ තිබේ. ඔහුගේ ඇස් දිදුලයි. ඉහල බලන වෘකයා තම අහිමි ආදරයට ආදරය ප්‍රකාශ කරන්නේ වනය හා එහි සියළු ප්‍රාණීන් සලිත වී යන සේ ය.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
වෘකයා දැන් දඩයමේ නොයයි. මහා ගල් පර්වතයේ කොනක සෑදුණු කුඩා ගුහාවක හිඳිනා හෙතෙම මාරයා බලාපොරොත්තුවෙන් පසුවන සෙයක් පෙනේ. සඳ නික්ම ගොසින් බොහෝ කල් ය. ඇය නැවත පැමිණියේ නැත. වරෙක හෙතෙම සිය වාසස්ථානයෙන් එළියට ඇදෙන්නේ ඇය දැකීමේ ඇට මිදුළු පෙලමින් දැනෙන්නා වූ ආශාවෙනි.
නැත, අහස් කුස අඳුරු ය, කළු වලාවන්ගෙන් පිරී පවතියි. වනාන්තරය ද මහා මූසල නිහඬතාවයකින් පිරී පවතියි, ගස් කොලන් පවා පණ අදින්නාක් වැනි හැඟීමක් ජනිත කරතැයි විටෙක හැඟේ. මා වට පිට බලමි, ගත සිත දවන හැඟීමක් දැනෙන්නට වෙයි.
මා වෘකයා දෙස බලමි, ඔහු ගේ දෑස් දෙස එක එල්ලේ බලන්නට මා හට නොහැකි බවක් හැඟෙයි. වරෙක තේජාන්විත ව, බලාපොරොත්තු දැල්වුණු දෑස් මලානික ව ඇත. මා හට වරදකාරී හැඟීමක් දැනේ.
ඇවිදින්නට වෙර දරන වෘකයා ගේ අධි බලැති වූ පාද පොළොවට දිරාපත්ව යන්නට පටන් ගෙන ය, ආත්මය මරණයට පත් වූ පසු ශරීරය පවතින්නේ නැතුවා විය යුතු ය.
මා ද අහස දෙස බලමි. එය අමාවක අහසකි, ඇය වෙනතක ගොසිනි. මා ඉවත බලා හිඳිමි.
වෘකයා සිය අවසන් ප්‍රේමාලාපය අමාවක අහසට මුසු කරයි!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
පරඬැලින් වැසී ගිය ගල්තලාව ට එපිටින් වූ විල කාල වර්ණ ව අන්ධකාරයකින් වෙලී පවතියි. කලකට පෙර විල් තලය මත වූ ජීවය තවදුරටත් එහි නොමැති සෙයකි. ඉඳහිටෙක පැමිණෙන මීමින්නෙකු සිඳී යමින් ඇති විල් තලය ට එබෙයි. නුහුරු බවක් දැනී දෝ ආපසු හැරෙයි. විල අසබඩ ඇති මහා වෘක්ෂය පසු කරගෙන වනාන්තරය විසින් ගිලා ගනිමින් සිටින ගල් තලාව දෙසට පැමිණෙයි. ඒ යටින් වනාන්තරයේ හිතුවක්කාරයා ගේ වාසභවනය පිහිටයි. නමුත් පෙර වූ ජීවය එහි නොමැති බව හැඟෙයි. අසල වූ මහා වෘක්ෂය ද දිරාපත් ව ඇඹරී මිය යමින් සිටින්නේ ද වනාන්තරයේ සැබෑ උරුමක්කාරයා ගේ වියෝවෙන් විය යුතු ය.
වෘකයා උස් වූ ගල් තලාව මතට නැඟ අපේක්ෂා සහගත ව ඈ වෙනුවෙන් බලා සිටියා මා හට වරෙක සිහි වේ. ගත කීරි ගැසෙන සීත සුලඟ ට ලොම් සැලෙයි. තේජාන්විත වූ ත් මහා හැඟීම් ගොන්නක් සැඟවී ඇති වූ ත් දෙඇස් එක එල්ලේ බලා සිටියි. ඇය පැමිණේවි ද? මා දෑස් අයා බලා සිටියෙමි. වෘකයා රෞද්‍ර ගෙරවිලි හඬක් නඟයි. නැවත හැරෙයි.
අවසන් වර වෘකයා එහි නැඟුණේ අවසඟ ව ගිය දිරා යමින් තිබූ ශරීරය ත් බලාපොරොත්තුවේ ගිනිදැල් බුර බුරා නැඟෙන දෑසෙන් ද යුතුව ය. ඔව්; අවසන් ප්‍රේමාලාපය. ගතෙ හි වූ සියල් ශක්තියෙන් ඈ වෙනුවෙන් කල ආරාධනය. අවට වූ නිශාචර පක්ෂීන් තවමත් නොනිදන සතුන් සැඟවී ගත් අතර මා එම හඬෙන් සලිත වූයෙමි. මා වෘකයා දෙස බලමි. දෑස් ගිනිගෙන දැවෙයි. බලාපොරොත්තු දැවී යනු පෙනෙයි. අමාවක අහස ට යොමු වූ දෑස් ඇතිව වෘකයා ගල් තලාව මත වැතිරෙයි. අවසන් වරට.
ඉඳින්, ප්‍රේමවන්තයා මිය ගියේ ය. සඳ ඔහු වෙනුවෙන් පැමිණේවි ද? මා නිසල වූ සිරුර දෙසත් අන්ධකාරයෙන් වැසී ගිය අහස දෙසත් නිමක් නොපෙන්නා වූ ක්ෂිතිජ ඉම දෙසත් බලමි. මහා බරකින් ආත්මය පිරී යයි. සුසුමක් හෙලමි.
ඇය පැමිණේවි ද? බලා හිඳිමි.
❤️❤️
ReplyDelete