උන් ව මරන්න ජීවත් වෙන අපි

අපි සමහර වෙලාවට ගැටළු වලට විසඳුම් හොයන්නේ අන් මත එක්ක ගැටෙන්න උත්සාහ කරන්නේ ආවේගයෙන්. 'ඕකව මරලා දාන්න ඕන' කියන මානසිකත්වයෙන්. නමුත් කාවවත් මරණ එක මොකකටවත් විසඳුම නෙවෙයි, අපිට තව දුර යන්න තියනවා.


මෙහෙම කිව්වත් මේ කියන දේ හැමෝටම තේරුම් ගන්න බෑ හෝ පිළිගන්න අකමැතියි.

මේ අතුරු කතාවක්,

- විකාර!

- ඇයි?

- අනේ පලයන් බං වැදි බණ නොකියා. මිනී මරුවන් ව පොඩි එවුන් මරණ දූෂකයන් ව නලවන්න ද කියන්නෙ? උන් ව මරලා දාන්න තමයි ඕන.

- ඇයි ගෞතම බුදුන් අච්චර මීනී මරපු අංගුලිමාල ව මරලා දැම්මෙ නැත්තෙ ?

- ඒ බුදු හාමුදුරුවොනෙ බං, උන් වහන්සේ බුදු වෙලා හිටියේ. අපි මාර්ග ඵල ලබපු මිනිස්සු නෙවෙයි. උඹේ එකෙක් ව දූෂණය කරලා මරලා දැම්ම නම් උඹට තේරෙයි.

- එතකොට අපි බුදුන් පෙන්නපු මාර්ගයේ නෙවෙයි ද යන්න ඕන? අපි බුදු වෙනකම් ඉන්න ඕන ද අවිහිංසාව ප්‍රගුණ කරන්න?
උඹ දන්නවද ජේසු තමන් එක්ක කුරුසෙ ඇණුම් කාපු හොරා ට මොකක්ද කිව්වෙ කියලා? උන් වහන්සේ කිව්වද 'තෝ පල් හොරෙක්, අපායට ම පලයන්' කියලා. නෑ, සමාව දුන්නා.

මචං අපි කවුරු හරි කෙනෙක් ගෙ යහපත් ඉගැන්වීමක් අනුගමනය කරන්න ඒ මට්ටමට ම යනකම් ඉන්න ඕන නෑ, ඒ යුනිෆෝම් එක අඳින්න ඕනත් නෑ. තමන්ට පුළුවන් උපරිමයෙන් ඒ දේ කරන්න ඕන.

- වැදි බණ. මොකටද වැරදි කාරයන් ට දඬුවම් නොදී ඉන්නෙ? තවත් ඒ දේවල් කරන්න ඉඩ දෙන්න ද? උඹලගේ කොන්ද පණ නෑ. බණ කියන්න එනවා.

- දඬුවම් දුන්නම සමාජය යහපත් වෙනවද? එහෙනම් හිරේ ඉන්න මිනිස්සු ගානේ හැටියට, මරණ දන්ඩණය ක්‍රියාත්මක රට වල අපරාධ නැති වෙන්න ඕන.

උඹ දන්නවද ගෞතම බුදුන් අංගුලිමාල ව නොමැරුවේ ඇයි කියලා? ඒ මනුස්සයා ට බණ කිය කියා ඉන්න ඕන කමක් නෑ, මතක තියාගනින්, සිද්ධාර්ථ ගෞතම සටන් කලාවේ කෙළ පැමිණි මනුස්සයෙක්. එහෙම වෙලත් මැරුවෙ නැත්තෙ උන්නාන්සෙ ගෙ කොන්ද පණ නැති නිසා ද?

- ඒ බුදු හාමුදුරුවොනෙ බං. බුදු වරු මිනී මරන් නෑ.

- ඒ නොමරපු හේතුව නෙවෙයි. 'බුදුන්' කියලා ලේබල් එකක් තියන නිසාත් නෙවෙයි.

මචං ඒ අංගුලිමාල ව මරන එක විසඳුම නෙවෙයි කියලා තිබුණ අවබෝධය නිසා. මරන්න ඕන මනුස්සයා ව නෙවෙයි, මරලා දාන්න ඕන නපුර, අයහපත කියලා දන්න නිසා.

උඹ අහලා තියනවද මෙහෙම කතාවක්.

" පව්කාරයා ට ගල් ගහන්න එපා, පව් කාරකමට ගල් ගහපන්."

මචං අපි නැති කරලා දාන්න ඕන වැරදි කාරයව පව් කාරයව නෙවෙයි; අපි මරලා දාන්න ඕන පව්කාරකම, නැති කරලා දාන්න ඕන වැරැද්ද.

යහපත් සමාජයක් බිහි වෙන්නෙ මිනිස්සුන් ව මරලා නෙවෙයි. මිනිස්සුන් ගෙ තියන වැරදි මරලා ඒ මිනිස්සුන් ව යහපත් කරන එකෙන්. යම් සමාජයක හිර ගෙවල් වැඩිවෙද්දි ඒ සමාජය යහපත් සමාජයක් වෙන්නෙ නෑ. වෙන්නෙ අපරාධකාරයො බිහි වෙන එක, අපරාධ වැඩි වෙන එක.

අපි කාවහරි මරන්න හිතන, ඒකට නිදහසට කරුණු හොයන සමාජයක්. උදේ හවා අවිහිංසකවාදී සාමාකාමී ආගම් අදහන අපි දවස ගත කරන්නේ ආවේගයෙන්, ඒ ඇයි? අපිට අර මිනිස්සු කියපු දේවල හරය තාමත් අහුවෙලා නැති නිසා.

කිසිදු පවක් නොකළ තැනැත්තේ පළමු ගල ගසන්න කියපු මනුස්සයගේ මේ රටේ ප්‍රධාන ශ්‍රාවකයා වෙන කාඩිනල් මරණ දඬුවම සාධාරණයි කියන්නෙත් මානව හිමිකම් අපිට අදාල නෑ කියන්නෙත් අවිංසාවාදී දර්ශනයක මහ තැනක් හිට්ලර් ලා ඉල්ලන්නෙත් ගෝල බාල උන්නාන්සෙලා තරුණ පරම්පරාව ආවේගශීලි බවින් මත් කරලා සමාජය විනාශ කරන්නෙත් සාමයේ ආගම අදහන උන්දලා වෛරය වපුරමින් මිනී මරන්න උල්පන්දම් දෙන්නෙත් අනිත් එවුන් වැනසෙන්න දේවාල කෝවිල් ගානෙ ගිහින් පොල් ගහන්නෙත් ඒ නිසයි.

මචං අපිට වැරදුණා. ඒත් දැන්වත් අපි ඒ දේවල් හදාගන්න ඕන. අපි අපේ ආකල්ප හදාගන්න ඕන. සමාජයක් රටක් හැදෙන්නෙ එතකොට.

- උඹ අපිට විතරනෙ ඕවා කියන්න එන්නෙ. හම්බයන්ට යි දෙමළුන්ට යි ඕවා කියන්න යන්නෙ නෑනෙ බයට. සහජීවනේ නැතිවෙන නිසා වෙන්න ඇති.

- මේවා කියන්නෙ හැමෝටම. එක්කෙනෙක් විතරක් තේරුම් ගන්න ඕන දෙවල් නෙවෙයි මේ. ඒ වගේ ම අනිත් කෙනා හදන්න විතරක් නොයා තමන් හැදෙන්නත් ඕන. හැමෝම අනිත් එක එකාට ඇඟිල්ල දික් කර කර ඉද්දි කවුරුවත් හැදෙනවද? එක එකාට ඇඟිලි දික් කර කර එක එකාට බෝලේ පාස් කර කර නොඉද අපි එකතු වෙලා හැදෙන්න ඕන.

මචං ජේසු කියන මනුස්සයා තමන් වටා එකතු කරගත්තේ ශුද්ධවන්තයෝ නෙවෙයි. අමු කාලකණ්නි, හොරු, මිනීමරුවෝ, පගාකාරයෝ. අන්ත ජාතිවාදී සීමොන් කියන්නෙ මිනීමරුවෙක්. ඇයි උන් ව එකතු කරගත්තේ වෙන මිනිස්සු නැතුවටද? නෑ, සමාජයක් යහපත් වෙන්නේ වැරදිකාරයන් ව පව් කාරයන් ව හලලා පැත්තක ට දාලා සමාජයෙන් කොන් කරලා නෙවෙයි; උන් ව ලඟ තියාගන උන් ගෙ නරක, අහයපත, නපුර නැති කරලා දාලා යහපත් මනුස්සයෙක් ව ගොඩ නැඟීමෙන් වෙන නිසා.

ඔව් අපි වැරදියි, සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු අපි හැමෝම වැරදියි. හැමදෙනාගෙ ම නරක තියනවා. ඒවා අපි හදාගන්න ඕන; හැබැයි ඒ අපි උන්ව වත් උන් අපිව වත් මරලා නෙවෙයි.
මරණය විසඳුම නෙවෙයි; අඩු ගානේ අපි ඒ 'මරණ' ආකල්පයෙන් වත් ගැලවෙන්න ඕන. '

මේ පහලින් තියෙන්නෙ මරණය ගැන, අපේ ආකල්ප ගැන ලංකාවේ නිළියක් සහ නිවේදිකාවක් වන දිනක්ෂී ප්‍රියසාද් කරන පොඩි කතාවක්. මේක සරල නමුත් හිතන්න දේවල් ගොඩක් තියන කතාවක්.
මේකත් බලන්න, පාඩුවක් වෙන එකක් නෑ.

Comments