ලිලිත් - ලොව පළමු ගැහැණිය

(Forbidden fruit by Micheal angelo,
Sistein chapel)

ගැහැණිය; ගැහැණිය කියන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම කතා බහට ලක් වුණ මාතෘකාව වෙන්න පුළුවන්. ලෝකයේ විවිධාකාර ගැහැණු ඉන්නවා. ගැහැණිය නිසා කලාකාරයන් බිහිවෙලා කලාව හැඩ කරලා තියනවා වගේ ම ලෝක ඉතිහාසය වෙනහ් කරපු ගැහැණුත් හිටියා. ගැහැණිය ගැන කතා කරන්න දේවල් ඕන තරම්. ඉතින් ඒ අතරෙ හිතට එනවා ප්‍රශ්නයක්; ලෝකයෙ එදා මෙදාතුර බිහි වුණ මුල් ම ගැහැණිය කවුරු වෙන්න ඇති ද? මේ ඒ ගැන තියන එක කතාවක්.

මේ කියන්න යන්නෙ ලංකාවේ වැඩිය ප්‍රසිද්ධ නැති කෙනෙක් ගැන. ආබ්‍රහමික ආගම් වල විදියට දෙවියන් ලෝකය හා අනෙක් සතුන් සියල්ල මවලා අන්තිමට තමයි තමන්ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය කරන්නේ. ඒ තමයි මිනිසා. එහෙම මවන පළමු මිනිසා තමයි ආදම් (Adam) විදියට හඳුන්වන්නේ. එතකොට පළමු ගැහැණිය? ටෝරාවේ/පරණ ගිවිසුමේ දැක්වෙන විදියට පිරිමියා තනිවම නිසා පිරිමියා නින්දකට පත් කර ඔහුගේ ඉල ඇටයකින් ගැහැණිය මවනවා; මේ ගැහැණිය තමයි 'ඒවා' (Eve) කියන්නේ. මිනිසා පැවත එන්නෙ මේ දෙන්නාගෙන්.

නමුත්, තව මතයක් පවතිනවා මෙහෙම. ඒ තමයි ආදම් ගේ පළවන බිරිඳ හෙවත් ලෝකෙ පළවෙනි ගැහැණිය ඒවා නෙවෙයි ඇයට කලින් තවත් බිරිඳක් ආදම් ට හිටියා කියලා. මේ කතාව මූලිකවම ඇතිවෙන්නෙ ටෝරාවේ උත්පත්ති කතාවේ (Genesis) මේ මිනිසා මැවීම කියන කොටස දෙවතාවක් සඳහන් වෙන නිසා. (උත්පත්ති 1:27 සහ උත්පත්ති 2:21-23) මැවීම පිළිබඳව කතා දෙකක් මේ ආකාරයට වෙන වෙනම සටහන් වෙනවා. මේ නිසා ටෝරාව අධ්‍යයනය කරපු සමහර ගුරුවරුන් (Rabbi) හිතනවා දෙවියන්ගේ වචනය සඳහන් ටෝරාවෙ වරදක් පවතින්නත් නොහැකි නිසා බොහෝ විට තව මැවීමක් සිදු වෙලා තියනවා කියලා. ඒ වගේ ම මේ පළමු මැවීමේ දී පිරිමියා පළමුව මවා දෙවනුව ඔහුගේ ඉල ඇටයකින් ස්ත්‍රිය මැවීමක් සඳහන් වෙන්නෙ නෑ. දෙවියන් තමන්ගේ ස්වරූපයට පුරුෂයා සහ ස්ත්‍රිය මැවූ බව තමයි සඳහන් වෙන්නෙ. නමුත් දෙවන මැවීමේ කතාවෙදි ස්ත්‍රිය මවන්නෙ දෙවනුව. මේ විදියට පළමු මැවීමේ දී මවන ස්ත්‍රිය තමයි එතකොට ලෝකේ පළමුවන ගැහැණිය වෙන්නෙ. ඒව ට කලින් මවන මෙයාව හඳුන්වනවා 'පළමුවන ඒවා' (First Eve) කියලත් 'උතුරු වැසියා' (Notherner) විදියටත්. මේ Notherner කියන වචනය යොදන්නේ පැරණි ජනකතා අනුව 'නපුර' පැමිණෙන්නෙ උතුරෙන් බවට වන විශ්වාසය නිසා. නමුත් වඩාත් ජනප්‍රිය නාමය වෙන එකක්; ඒ තමයි (Lilith) ලිලිත්. ලිලිත් කියන වචනයේ තේරුම වෙන්නෙ 'අඳුර/රාත්‍රිය'. ලිලිත් ගැන ටෝරාවේ තව එක තැනක සඳහන් වෙනවා. ඒ යෙසායා ගේ (Isiah) පොතෙ හි 34:14 පාඨයේ යි. මෙහි දැක්වෙන්නේ නපුර ගැන සඳහනක්. මේ අනුව 'ලිලිත්' නපුරෙ හි අඳුරෙ හි බලවේගයක් බව හැඟවීමක් කරනවා.  (ටෝරාව පර්වර්තනය කිරීමේදී බයිබලයේ සමහර ඉංග්‍රීසි පරිවර්තනයන් හි ලිලිත් ලෙසත්, තවත් සමහරක ' The Night Monster/Screetch Owl' ලෙසත් හඳුන්වා තිබෙනවා. සිංහල පරිවර්තනයන් හි 'උලමා' ලෙස දක්වයි.) මේ හැර බයිබලයේ ලිලිත් ගැන සඳහනක් නෑ.

(Adam, Eve and Lilith - Wikimedia Commons)

දැන් එතකොට ලිලිත් ට මොකද වුණේ?

ආදම් ගේ පළවෙනි බිරිඳ වන ලිලිත් ගැන පළමුවෙන් ම කතා කරන බවට සඳහන් වෙන්නෙ අටවන සහ එකොළොස්වන සියවස (8-11 century) අතර කාලයේ ලියවුණ බව කියන Alphabet of Ben Sira නම් ලියවිල්ල මඟින්. ඒ අනුව දෙවියන් විසින් ආදම් සහ පළමු ඒවා (Lilith) යන දෙදෙනාව ම මවන්නේ පොළොවේ පස් වලින්. මේ මැවීම ශරීරයන් දෙකක් විදියට මැවූ බවට මතයකුත් පළමුව මැවුවේ එක් ශරීරයක් පමණක් වන බවට මතයකුත් තියනවා; ඒ අනුව ආදම් ව (එකිනෙකාට පිටුපා සවි වූ) මුහුණු දෙකක් ඇති මිනිසෙකු ලෙස මවනවා. නමුත් පසුව දෙවියන් මේ මුහුණු දෙක වෙනම ශරීරයන් ඇති වන ආකාරයට වෙන් කරනවා. මේ නිසා ලිලිත් ව 'ආදමා' (Adamah) ලෙසත් හඳුන්වනවා. Adamah යනු පොළව සහ පස හැඳින්වෙන ස්ත්‍රීවාචී හෙබ්‍රෙව් වදනක්. මේ මැවීමේ කාර්යයෙන් පසු දෙදෙනා අතර ගැටුම් ඇති වෙනවා. හේතුව ලිලිත් ආදම් ට යටත් ව සිටීමට අකමැත්ත පළ කිරීම. ආදම් සහ ලිලිත් සංසර්ගයෙ හි (Copulate) යෙදීමේ දී ලිලිත් ඇය පමණක් ඔහුට යටව සිටීම ප්‍රතික්ෂේප කරන අතර ඔහුටත් එසේ සිටින ලෙස පවසනවා. ඒ ඇයත් ඔහු මෙන්ම දුහුවිල්ලෙන් සෑදුණ ඔහු හා සම තත්වයේ කෙනෙකු වන නිසයි. නමුත් ආදම් එය ප්‍රතික්ෂේප කර ඇයට යටත් ව සිටීමට බල කරනවා. මේ අවස්ථාවේ දී ලිලිත් දෙවියන් ගේ සැබෑ නමින් අමතා, වෙනත් වේශයක් ගෙන තටු ලබා රතු මුහුද ආශ්‍රිත පෙදෙසකට (මේ ස්ථානයෙන් තමා පසු කලෙක මෝසෙස් ඇතුළු පිරිස රතු මුහුද තරණය කරන්නේ) පියාඹා පලා යනවා. ඉන් පසු ආදම් ට සිදුවෙනවා නැවතත් දෙවියන්ගෙන් සහකාරියක් ඉල්ලන්න. ඒ අනුව තමයි දෙවෙනි ඒවා පිරිමියා ගේ ඉල ඇටයකින් නිර්මාණය කරන්නේ. කොහොම නමුත් දෙවියන් ලිලිත් පසුපස සෙනෝයි, සන්සෙනෝයි, සෙමාන්ගෙලොෆ් (Senoy, Sansenoy, Semangelof) නම් දේවදූතයන් (Angles) තිදෙනෙකු පිටත් කර හරිනවා ඇයව නැවත රැගෙන ඒමට. මේ තුන්දෙනා ඇය ව හමුවෙලා නැවත ආදම් වෙත යන ලෙස දැනුම් දුන්නත් ඇය කැමති වෙන්නෙ නෑ. එවිට ඇයව රතු මුහුදේ ගිල්වා මරා දමන බවට තර්ජනය කලත් ඇය පවසා සිටිනවා 'තමාව දෙවියන් නිර්මාණය කර ඇත්තේම කුඩා බිළිඳුන් ට හානි පැමිණවීමට සහ මරා දැමීමට බව. එමෙන් ම අළුත උපන් පිරිමි දරුවන් දින 8ක් ගතවනතුරු ත් ගැහැණු දරුවන් දින 20ක් (ඇතැම් මූලාශ්‍ර වලට අනුව 12ක්) ගතවනතුරු ත් තමන් හට අයිති බවත්.' නමුත් ඇය පොරොන්දු වෙනවා මේ දේවදූතයන් තිදෙනා පෙනී සිටින හෝ ඔවුන්ගේ නම් සඳහන් වන ස්ථාන කිසිවක දී බිළිඳුන් (හෝ බිළිඳාව දරා සිටින තැනැත්තිය) ට හානි නොකරන බවට. දේව දූතයන් සෑහීමකට පත්ව ඇයව අත් හැර දමනවා. නමුත් දෙවියන් ඇයට දඬුවමක් ලෙස දිනකට ඇයගේ දරුවන් සියයක් අනිවාර්ය මරණයකට කැප වන ලෙස ශාපයක් කරනවා.

මෙයින් පසු ලිලිත් සමායෙල් (Samael) නම් ප්‍රධාන-දේවදූතයෙකු (Archangel) තම සහකරුවා ලෙස තබාගෙන කටයුතු කරනවා. ඒ බව සඳහන් වන්නේ13 වන සියවසෙහි ලියන්නට යෙදුණු A treatise on the left amanation නම් ග්‍රන්ථය සහ Qabalistic සටහන් වලයි. මේ සමායෙල් දෙව් ලොවින් නෙරපා හැරි දේවදූතයෙකු (Fallen Angel) ලෙස හැඳන්වෙන අතර මරණයට අධිපති දේවදූතයා ද වෙනවා . සමායෙල් හා ලිලිත් ව ආදම් සහ ඒව ගේ ප්‍රතිරූපයක් (Counterpart) ලෙස හඳුන්වන අතර ම සමායෙල් ආදම් ගේ ද්විත්ව-කාය (Doppelganger) ක් ලෙසත් හැඳින්වෙනවා; එනම් සමායෙල් ආදම් වැනිම වූ නිවුන්නකු වන අතර බිහිව ඇත්තේ ආදම් බිහිවන මොහොතේම යි. කෙසේ නමුත් සමායෙල් සහ ලිලිත් එක්ව දරු පරපුරක් බිහිකරන්නට පටන් ගත්තා, මොවුන් අඳුරු බලවේග, යක්ෂ පරපුරක් වුණා. එම නිසා දෙවියන් මෙම යකුන් වර්ධනය වීම නවතා දැමීම සඳහා සමායෙල් ව බෙලහීන (Castrate) කරනවා. මෙම සිදුවීමෙන් පසු ලිලිත් ඔහුව හැරගිය බවත් සමහර මූලාශ්‍ර වල සඳහන්; දෙවියන් ලිලිත්ව ද නිසරු (Infertile) කල බවත් කියවෙනවා. නමුත් ලිලිත් ඉන්පසු ගැබිණියන් ට අනතුරු සිදු කරමිනුත් බිළින්දන් පැහැර ගනිමින් හා මරා දමමිනුත් එමෙන් ම තනිව වෙසෙන පිරිමින් සොයා ගොස් නින්දේ දී ඔවුන්ගේ ශුක්‍ර ධාතු ලබාගෙන ඒ මඟින් ගැබ්ගෙන (යක්ෂ) දරුවන් සිය ගණනින් බිහි කරන බවත් සඳහන් වෙනවා. එමෙන්ම ඇය කිසිදිනෙක තහනම් ගසෙන් (Tree of knowledge and wisdom) අනුභව නොකළ නිසා ඇය අමරණීය (Immortal) ස්ත්‍රියක් ද වෙනවා.

(Lilith and Eve had an affair - Hermetic Tablet)


තවත් මූලාශ්‍ර අනුව (කබාලා ශාස්ත්‍ර ලියැවිලි - Cabbalistic Texts, 13 වැනි සියවසේ ලියැවුණු Zohar the book of enlightment) ඊඩ්න් උද්‍යානයේ සර්පයා ලෙසත් ලිලිත් ව හඳුන්වනවා. ඒ අනුව ලිලිත් සර්ප වෙස් ගෙන (අර්ධ නාරි-අර්ධ සර්ප) ඒවා පොළඹවාගෙන ඇයට තහනම් ගසෙ හි ගෙඩි කෑමට දෙනවා. (සිස්ටයින් දෙව් මැඳුරේ මයිකල් ආන්ජලෝ විසින් ලිලිත්, ආදම් සහ ඒව සිතුවම් කර තිබෙනවා) මෙසේ කරන්නේ ආදම් සහ ඒවා ට දැනුම හා ප්‍රඥාව ලබා දී නිදහස් කරවා ගැනීමට හෝ නැතිනම් ආදම් සහ ඒවා තහනම් ගසෙ හි ගෙඩි කෑ පසු මරණයට පත් වන සුළු (Mortal) වන නිසා බවටත් මතයන් පවතිනවා. එමෙන් ම ලිලිත්, ඒවා ආදම් සමඟ සහවාසයෙහි යෙදීමට පෙර ඒවා සමඟ සබඳතාවයක් (an Affair) පැවැත්වූ බවටත් ඒවා ව උද්‍යානයෙන් ගලවා ගැනීම සඳහා තහනම් ගෙඩි ලබාදුන් බවටත් සඳහන් වෙනවා.

බයිබලය නැත්නම් ටෝරාව සම්බන්ධ කරුණු මේ විදියට වෙද්දි ලිලිත් ගැන තවත් කතා තියනවා. ලිලිත් ආදම් ගේ පළවෙනි බිරිඳ විදියට මුලින් ම සඳහන් කරන්නේ The Alphabet of Ben Sira ග්‍රන්ථයේ වුණත් ඊට කලින් ඉඳන්ම යුදෙව්වන් 'ලිලිත්' ව දන්නවා. හැබැයි ඒ බිළිඳුන් පැහැරගන්නා යක්ෂණියක් විදියට.

(Lilith carrying a child - skydive.com)


මුලින් ම ලිලිත් ගැන විස්තර හම්බවෙන්නේ ක්‍රි.පූ. 3000 කාලයෙන්; ඒ  සුමේරියානු ජන ප්‍රවාද වල Lilitu යන බිළිදුන් මරා දමනා යකින්නක් විදියට. ඒ වගේ ම Lilu යන පිරිමින් රවටාගෙන සහවාසයෙ හි යෙදෙනා යකින්නක් (Succubus) ලෙසත් Ardat-Lili (ලිලිත් ගේ සේවිකාව යන අරුත් දේ.) ලෙසත්  හමුවෙනවා. බැබිලෝනියානු ජන ප්‍රවාද වලට අනුව ලිලිත් කියන්නේ ඉෂ්තාර් දේවතාවිය ට (Goddess Ishtar) අයත් වෙසඟනක් (prostitute) ලෙසයි. මේ හා සමාන අදහසක් දක්වන සුමේරියානු ප්‍රවාදයක Lilitu ඉනානා නම් දෙවඟන ගේ (Goddess Inanna) වෙසඟනක් විදියටත්, ඉනානා ගේ අතවැසි කතක් විදියටත් හඳුන්වනවා. එමෙන් ම ආකේඩියානු ප්‍රවාද අනුව Ardat-lili හා ඇසිරියානු La-bar-tu යනුවෙනුත් හැඳින්වෙන පූජාශ්‍රම වෙසඟනන් (Temple prostitutes) ලෙසත් ලිලිත් ව හමුවෙනවා. එමෙන් ම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ දී Lilitu සහ Lamashtu විදියටත් ලිලිත් යක්ෂණිය මිනිසුන් අතර කූප්‍රටක ව හිටියා.

මේ විදියට විවිධ නම් වලින් විවිධ ප්‍රදේශවල ලිලිත් යකින්නක් විදියට ඉන්නවා. මේ වගේ ම තව Epic of Gilgamesh නම් ඵෙතිහාසික සුමේරියානු වෘතාන්තය ක අපිට ලිලිත් ව මුණ ගැහෙනවා. එයට අනුව යුප්‍රටීස් (Euphretes) නම් නදිය අසල Huluppu නම් ගසක් වැඩෙනවා, මේ ගහ දකින ඉනානා දෙවඟන එම ගස රැගෙන විත් උරුක් හි ඇයගේ උද්‍යානයේ (Inanna's garden of Uruk) සිටුවනවා. මේ ගස ට ආදරයෙන් සත්කාර කරන ඇය ගස වැඩුණ පසුව එහි ලී භාවිතා කරමින් තමන්ට ඇඳක් සහ ඔටුන්නක් සාදා ගැනීම ට බලාපොරොත්තු වෙනවා. නමුත් අවුරුදු දහයකට පමණ පසුව ඇය පැමිණ බලන විට මේ ගස වෙනත් අයගේ වාසස්ථාන බවට පත් වෙලා. මකරෙක් (Dragon) ගස පාමුල තමාට වාසස්ථානයකුත් ඉහළ අතු අතර සූz නම් කුරුල්ලෙකු (Zu bird) කූඩූවක් තනාගෙනත් ගස මැද අතු පතරෙ හි ලිලිත් නම් යක්ෂණිය නිවාසයකුත් හදාගෙන හිටියා. ඉනානා දෙවඟනට කර කියාගන්න දෙයක් නැතුව යනවා ගිල්ගමේෂ් හමුවට (ගිල්ගමේෂ් සුමේරියානු රජ කෙනෙක්, ගිල්ගමේෂ් ව ඔරායන්-Orion විදියටත් හඳුන්වනවා) ගිහින් තමන් ට වෙලා තියන අසාධාරණය ගැන පැමිණිලි කරනවා. ගිල්ගමේෂ් ඇවිත් සටන් කොට මකරා ව පරාජය කර මරා දමනවා. මෙහි දී Zu කුරුල්ලා තමා ගේ පැටවුනුත් සමඟ කඳුකරයට ත් ලිලිත් තමන්ගේ වාසස්ථානය විනාශ කරලා දාලා වනාන්තරය තුලට ත් පලා යනවා. මේ විදියට ලිලිත් ව මුණ ගැහෙනවා Prologue for Epic of Gilgamesh සටහන් වෙන ක්‍රි.පූ. 1000-1100 දි පමණ නිර්මාණය කල මැටි පුවරු කිහිපයක් මත.

(Lamia the demoness -Wikimedia commons)


සුමේරියාවෙ දි වගේ ම ඉපැරණි ග්‍රීක ශිෂ්ටාචාරයේ දී ත් ලිලිත් ව හොයාගන්න ලැබෙනවා. ඒ ලමීආ (Demoness Lamia) නම් යක්ෂණියක් ලෙස. Lamia කියන්නේ සියුස් (Zeus) දෙවියන් ගේ පෙම්වතියක්, නැත්නම් දෙවැනි අඹුවක්, මේ දෙදෙනා සෑහෙන ආදරයකින් ලංව හිටපු නිසා එය නො ඉවසූ හේරා (Hera) දෙවඟන ඇය ගේ දරුවන් මරා දමනවා. ඒ වගේ ම ඇයට ශාපයක් කරනවා නිදා ගැනීමට නොහැකිව පීඩා විඳින ලෙසට.නමුත් සියුස් ලමීආ ට ඉවත් කල හැකි ඇස් ලබා දෙනවා ඒක ගැටළුවක් නොවෙන විදියට. ඒ වගේ ම ස්වරූප වෙනස් කිරීමේ හැකියාවත් (Ability to shape-shifting) ලබා දෙනවා. එයින් පසු ලමීආ ළමුන් මරා කන යකින්නක් බවට පත් වෙනවා. ඇය ඉනෙන් ඉහළ ස්ත්‍රියක ලෙසත් ඉනෙන් පහළ සර්පයෙකු ගේ හැඩයෙනුත් (ලිලිත් ගේ ස්වරූපයක්) පෙනී සිටිනවා. ග්‍රීක මිත්‍යා ඈතාව මෙහෙම වෙද්දි 4 වන සිවසේ දී මුල් හෙබ්‍රෙව් බයිබලයෙන් ලතින් බසට පරිවර්තනය කරන වුල්ගේට්  (Vulgate) බයිබලය එහි සඳහන් 'ලිලිත්' කියන වචනය (Isiah 34:14) පරිවර්තනය කරන්නේ lamia විදියට.

මේ වගේ සුමේරියානු, බැබිලෝනියානු, ඇසිරියානු ආදී ජන ප්‍රවාද යුදෙව් (Jew) ප්‍රවාද වලටත් ඇතුල් වෙනවා. ක්‍රි.පූ. 7 වන සියවස් පමණ කාලයේ දී පමණ ඔවුන් ලිලිත් ගෙන් බේරී සිටීම සඳහා මන්ත්‍ර (incantations) සහ දේවදූතයන් තිදෙනා ගේ නම් කෙටූ සුර (amulets) භාවිතා කර තිබෙන බවට සාක්ශි පවතින අතර ඊට බොහෝ කලකට පෙර සිට ම මේවා භාවිතා කර ඇති බව සිතන්නට පුළුවන්. බිළිඳුන් උපන් නිවෙස් වල ලිලිත්ගෙන් ආරක්සා වීමට මන්ත්‍ර කෙටූ බඳුන් (Lilith incantation bowls) භාවිතා කර තිබෙනවා. මේ බඳුන්/තලි වල මැද ලිලිත් ව බැඳ දමා ඇති අයුරින් ඇඳ ඒ වටා මන්ත්‍ර කොටා තිබෙනවා. මෙමෙ බඳුන් එම නිවෙස් වල අනෙක් පස හරවා තබනවා එවිට ලිලිත් හට නිවසට ඇතුළු වීමට නොහැකි යැයි යන විශ්වාසය මත. පිරිමි දරුවකු ඉපදී දින 08ක් ගත වන විට ම චර්මඡේදනය (circumsion) සිදු කරන්නේ ද ලිලිත් ගෙන් අනතුරක් සිදු නොවීමටයි. එමෙන් ම අවුරුදු 03 ක් ගතවන තෙක් පිරිමි දරුවකුගේ කොණ්ඩය නොකපා සිටීමේ සිරිතක් ද යුදෙව්වන් ට තිබෙනවා; ඒ ගැහැණු දරුවකු ලෙස සැලකීමෙන් හෝ ලිලිත් ගේ බලපෑමෙන් මිදේවි යැයි බලාපොරොත්තුවෙන්.

(Incantation bowl - schoyencollection.com)


මේ විදියට යුදෙව්/හෙබ්‍රෙව් ජන ජීවිතයට ඇතුළු වෙන ලිලිත් නැත්නම් ලිලිතු පසු කාලයක දී Alphabet of Ben Sira වැනි හෙබ්‍රෙව් ග්‍රන්ථ හරහා ටෝරාව හා සම්බන්ධ වූවා යැයි අපිට හිතන්න පුළුවන්. ඒ වගේ ම මේ ලිලිත් විසින් කුඩා බිළින්දන් පැහැර ගැනීම/මරා දැමීම කියන කාරණාව ගබ්සාව, මළ දරු උපත් වැනි කාරණා හඳහා යොදාගත්තක් ලෙස සිතිය හැකි බවටත් පර්යේෂකයන් කරුණු දක්වනවා. එමෙන් ම තනිව සිටින පිරිමින් කරා විත් නින්දේ දී ශුක්‍ර ධාතු ලබා ගැනීම කියන ප්‍රවාදය ඇතිවෙන්නේ රාත්‍රියේ දී සිදුවන නැතහොත් නිශාචර විමෝචනය (Nocturnal Emission - Sex/wet dream) නිසා ඇති වූ ධාතු ලිලිත් ගේ ක්‍රියාවක් ලෙස සැලකීම නිසා ත් විය හැකියි.

ලිලිත් පිළිබඳ වන විස්තර, මිත්‍යා ප්‍රවාද ඇතුලත් සටහන්, පොත් පත් සහ චිත්‍ර නොයෙක් ආකාරයෙන් අපිට හම්බෙනවා. Alphabet of Ben Sira, Wicca ආගමික ග්‍රන්ථ, The hebrew myths, බැබිලෝනියානු තල්මුඩික් ග්‍රන්ථ (babylonian talmudi), මළ මුහුදේ සටහන් (Dead sea scrolls) වැනි විවිධ වූ තැන් වල අපට ලිලිත් හමුවෙනවා. එමෙන් ම තවත් නොයෙක් ආකාරයේ මතවාද, ප්‍රවාද විශාල ගණනක් ලිලිත් සම්බන්ධ ව ඉදිරිපත් වෙලා තියනවා.

බිළිඳුන් පැහැරගන්නියක් ගර්භනී කතුන්ට හානි කරන්නියක් සහ තනිකඩ පිරිමින් ගේ සිහින වල ට බලපෑම් කරන්නියක් විදියටත් දෙවියන් ට හා පිරිමියා ට එරෙහි ව කැරලි ගැසූ තැනැත්තියක් විදියටත් සහ තවත් විටෙක නපුරෙ හි බිරිඳ විදියටත් ලිලිත් ව හමුවෙනවා. වර්තමානය වෙද්දි ලිලිත් ගැන දක්වන බිය තරමක් අඩු වණත් ලිලිත් ගේ බලපෑම සමාජයේ අදටත් තියනවා. නමුත් ඒ ධනාත්මක බලපෑමක් විදියට. ලෝකයේ විවිධ රටවල ( ඊශ්‍රායාලය සහ ඇමරිකාව වැනි) සිටින ස්ත්‍රීවාදීන් (feminists) ලිලිත් ව තම සංවිධානයේ මූර්තියක් බවට පත්කරගෙන තිබෙනවා. ඒකට හේතුව වෙන්නේ ලිලිත් කියන චරිතය තුලින් දකින්නට ලැබෙන නිදහස, සීමා නොකල ලිංගිකත්වය, පුරුෂාධිපත්‍යයෙන් මිදී ස්වාධීන වීම වැනි චරිත ලක්ෂණ. මෙවන් කරුණු නිසා ලිලිත් ව තම නිදහසේ ප්‍රතිමූර්තියක් විදියට බොහෝ ස්ත්‍රීවාදීන් හඳුන්වන්න ට යෙදෙනවා.

ඉතින් මේ විදියට ලෝකයේ පළමුවෙනි ගැහැණිය වුණ ලිලිත්, තවමත් මුළු ලොවට ම බලපෑම් කරමින් සිටිනවා.

Sources:

- Simonarich
- New World Encyclopedia
- Jewishchristianlit
- Thoughtco
- Wikipedia
- The Hermetic Tablet by Nick Farrel

Comments

  1. Gahaniyak pirimiyata sama wenna sama thena illanna giyama samajen Lilith kenek widihatai hanwadu gahenne.. Eth hema gahaniyak thulama Lilith kenek innawa... E Lilith eliyata enawata me samaje bayai...me samaje witharak nemei atheetha samajeth bayai anagatha samajeth bayai.Ithamath hoda hithanna deyak thiyana lipyak.Ahamben asa gatunu eka husmata kiyawan giya lipyak. Sthuthi thawath me wage nirmana bihi karanna awashya shakthiya labewa.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මේ ලිපියට

    ReplyDelete

Post a Comment