දුෂ්ටයාගේ උත්කර්ෂය


වීරයා වීරයෙකු වන්නේ දුෂ්ටයා පැවතීම නිසා ය. දුෂ්ටයෙකු නොසිටින්නට වීරයා ගේ වීරත්වයෙන් ඵලක් නොවෙයි; හෙතෙම පාළු ගෙයි වළං බිඳින්නෙක් වේ. වීරයා ගේ වීරත්වය තීරණය වන්නේ ත් වීරත්වයේ දිග පළල තීරණය වන්නේ ත් දුෂ්ටයා සහ දුෂ්ටයා ගේ දුෂ්ටත්වය, අධමකම මත ය. දුෂ්ටයාගෙන් තොරව වීරයා ට පැවැත්මක් නැත.

හැරී පොටර් නම් මායාකරු වීරයෙකු බවට පත්වන්නේ ඔහුට සරිලන දුෂ්ටයකු නිසා ය. මුලිකව ම වොල්ඩර්මොට් ගෙන් තොර හැරී කෙනෙකු නැත; වීරයා පවතින්නේ නැත. ශර්ලොක් හෝම්ස් ලෝක පූජිත වන්නේ ඔහුගේ විශිෂ්ඨ අපෝහක විද්‍යාව (Science of deduction) නිසා නොවේ. මොරියාටි නම් වන විශිෂ්ඨ දුෂ්ටයා නිසා ය. එමෙන් ම දුෂ්ඨයා ගේ දුෂ්ටකම, අධම හා බිහිසුණු කම මත වීරයා ගේ 'වීරත්වය' තීරණය වේ; ඔහු උත්කර්ෂය ට නැංවිය යුතු ප්‍රමාණය තීරණය කරනු ලැබේ. වීරයා ගේ ජීව ගුණය රඳා පවතින්නේ දුෂ්ටයා අත ය.
"ඔබත් මමත්, අපි එක වගේ, අපට (පැවැත්ම සඳහා) එකිනෙකා ව අවශ්‍යයි."  මොරියාටි කියයි.

ආලෝකය ට වටිනාකමක් ඇති වන්නේත් එහි වටිනාකම රඳා පවතින්නේත් 'අඳුර' නම් සාධකය පවතින නිසාවෙනි. අඳුර නොපවතින, නොහඳුනන ලොවකට ආලෝකයෙන් ඇති ඵලක් නැත. වටිනාකමක් නැත. දේවදූතයාගේ ද ගැලවුම්කරුවාගේ ද වටිනාකමත් පැවැත්මත් සාතන් නම් වූ දුෂ්ට බලවේගය විසින් තීරණය කරනු ලබයි.

එසේ ම දුෂ්ටයා පරිපූර්ණත්වය ට පත්වන්නේ ද වීරයා නිසා ය. වීරයා නොමැතිව හෝ දුෂ්ටයා ට පැවැත්මක් පැවතුණ ද ඔහු ව පරිපූර්ණත්වය ට පත් කිරීම සඳහා වීරයෙකු ඔහුට අවශ්‍ය වේ. දුෂ්ටත්වය ට පවා වටිනාකමක් ලැබෙන්නේ එවිට ය. බැට්මෑන් හමුවට එන ජෝකර් නම් දුෂ්ටයා මෙසේ කියයි.

"නෑ නෑ, උඹ ව මරන්න? නෑ මට උඹ ව මරන්න අවශ්‍ය නෑ. උඹ නැතුව මං මොනවද කරන්නේ?  ආපහු අර කාලකණ්නි ජාවාරම්කාරයන් විනාශ කරන එක ද? නෑ නෑ, උඹ.... උඹ මාව සම්පූර්ණ කරනවා."

වීරයා සහ දුෂ්ටයා පරිපූර්ණත්වය ට පත් වීම සිදුවන්නේ එකිනෙකා මත යැපීමෙනි.
වීරයා මත දුෂ්ට හා අධමකමෙ හි ඇති බලපෑම කොතරම් ද යත් කල් යත් ම සාම්ප්‍රදායික වීරයා ගේ වීරත්වයෙ හි අගය කෙමෙන් පහල බසී, ජනප්‍රියත්වය කෙමෙන් වියැකෙයි; ඒ වෙනුවට දුෂ්ට, අධම හා බිහිසුණු ලක්ෂණ වලින් යුත් 'ප්‍රතිවීරයෙකු' ජනප්‍රියත්වය හිමිකර ගනියි. තම වීරත්වයෙ හි එක් ලක්ෂණයක් ලෙස 'සාහසික' (reckless) ගුණයක් පවත්වාගෙන යයි. මෙහි දී ප්‍රතිවීරයා ට වඩාත් බිහිසුණු දුෂ්ටයෙකු ප්‍රතිවාදියා ලෙස අවැසි වේ. මෙම දුෂ්ටයා වීරයා ට කොහෙත්ම 'Match' එකක් නොවෙන අතර ප්‍රතිවීරයා ට වඩා බලවත් වන අතර එම නිසා ම ප්‍රතිවීරයා ගේ වටිනාකම ඉහළ යයි. (මෙරට ජනතාව 'පුටින්' වැන්නකු තුලින් මෙවන් ප්‍රතිවීරයෙකු අත් දකියි. අන්තවාදයට පිළිතුර අන්තවාදය ලෙසම ඔවුන් දකින්නේ ද මෙසේ ම ය.)

ජෝකර් අසහාය, සාහසික හා සාමාන්‍ය මනෝභාවයන් අභිබවා ගිය දුෂ්ටයෙකි; විශිෂ්ඨයෙකි. ඔහු හා සටන් වැදීමට වීරයා අසමත් ය; ඩෙන්ට් හෝ ගෝ(ර්)ඩන් ජෝකර් පූර්ණත්වයට පත් කිරීමේ අසමත් වේ. එයට ප්‍රතිවීරයෙකු අවැසි ය. බැට්මෑන් වීරයෙකු නොවේ. ඔහු නීතිය කඩන්නෙකි. හිතුමතේ නොදැමුණු හා සාහසික ලෙස ක්‍රියාකරන්නෙකි. Ideal ප්‍රතිවීරයෙකි. ඔහු ගේ පරිපූර්ණත්වය ට සරිලන දුෂ්ටයෙකු ඔහු ට අවශ්‍ය වන්නේ තම වීරත්වය හා වටිනාකම විදහා දැක්වීමට හැකිවන බැවිනි. ඔහු ලෝක පූජිත වීරත්වයට එසැවේ. ඒ 'ජෝකර්' අසහාය දුෂ්ටයෙකු වන නිසා ය.

Comments