ආදර කතාවක්


මම දුවමින් සිටිමි. ඒ මන්දැයි මට මතක නැත. ගත ට ජවයක් ද සිත ට හුරු පුරුදු කාලකණ්නි වේදනාවක් ද දැනෙයි. කාලකණ්නි කම නිදහසක් වන්නේ කොහොමදැ යි මා දන්නේ නැත. සමහර විට ඒ මාගේ කාලකණ්නි කම නිසා ම වන්නට ඇත.

කුඩා කල සිට ම මිනිසුන් අතර අතරමංව හුදකලා දිවියක් ගෙවූ මා හුදකලාව ට ත් ප්‍රතික්ෂේප වීමට ත් පිළිකුලෙන් කල හෙලා දැකීමට ත් සියළු සංවේදනයන් තනිවම විඳ දරාගැනීමට ත් ඒ සියල්ලෙන් මා තුල ඇති කල කාලකණ්නිකම ට ත් ආශක්ත වීමි; නුමුත් හොර රහසින් මා හුදකලාව නැති කර ගැනීමට ත් ම පිළිගන්නට ත් ආත්මීය වූ තනිකම මකා සෙනෙහෙසින් වෙළෙන්නට ත් කිසිවෙකු හෝ සොයන්නට ද වීමි. ඔව්, මා මාගේ කාලකණ්නිකම ට පෙම් කළ තරමට වඩා එයට වෛර කළෙමි; මා හට වෛර කළෙමි; සමාජය පිළිකුල් කළෙමි. මිනිසුන් ව කඩා බිඳ ඉහිරවන්නේ සමාජය විසිනි. ජීවිතය රූකඩ නැටුමක් කොට නටවන්නට ත් එය ප්‍රතික්ෂේප කළ විට ජීවිතය විනාශ කරන්නට ත් ඒ සමාජය සැදී පැහැදී සිටියි. ඉඳින් එසේ ජීවිතය විනාශ කළ මා හට ජීවිතය විඳීම ට ඉඩ හැරීම ප්‍රතික්ෂේප කළ සමාජය ට මා වෛර කළ යුතු නොවන්නේ ඇයි? සමාජය විසින් මා හට හුදකලා වන්නට බල කර ඇත. නමුත් මා තව දුරටත් සිත යටින් සෙනෙහස සොයා ගියෙමි. බලාපොරොත්තුවක් සොයා ගියෙමි. මා බොහෝ අරමුණු හඹා ගියෙමි; ඒවා බිඳ දමන ලදී. මා ආදරය කළෙමි; ඔවුන් මා හට, හදවතට ම, පිහියෙන් ඇණ නික්ම ගියහ. ඔවුන් ට වඩා දුම්වැටිය මා හට සෙනෙහස පාන්නට ඇත. එය මා සොයා දිනපතා පැමිණෙයි. තවදුරට ත් දිවට රසක් දැනුණේ නැත. සිත විඳීම වත් සතුට වත් හැඳිනූයේ නැත. නමුත් මා හට විඳින්නට ත් සිනහ වන්නට ත් හුදකලාවෙන් මිඳෙන්නට ත් ඕනෑ විය; නමුත් මට ඒ අමතක ය.

ඉඳින් එක් දිනක් ඈ මා සොයා ආවා ය. පෙම්වතිය අහිමි වූ වියෝවෙන් ලයිට් හවුස් එකක දිවි ගෙවූ සරත් ට ත් වඩා මා මිනිසුන් අතර සිටිමින් ම ජරාජීර්ණ වී සිටියෙමි. ඇය එම දිවියෙ හි නැවත පහන් දල්වන්න ට විය. සිතෙ හි බැඳ තිබූ මකුළු දැල් එකින් එක කඩා දමන්න ට විය. වණ වී තිබූ තුවාල පිරිසිදු කර බෙහෙත් ගැල්වූවා ය. නැවත ජීවිතය විඳින්නට ත් සිනහ වන්නට ත් ඇය මා හට පුරුදු කරන්නට වූවා ය. නැවත දිව රස හඳුනන්නට ත් කණ් ස්වර තාල විඳින්නට ත් ඇස් සුන්දරත්වය හමුවේ දිදුලන්නට ත් විය. ඇය මාගේ ආත්මය ම තුරුළු කොටගතතා ය. මා දෙවැනි මවක ඇකයේ නැවත උප්පත්තිය ලැබූයෙමි. මලමිනිය හුස්ම ගන්න ට විය. භූතයා පලා ගියේ ය.

'මං එච්චර දේවල් කරා ද?' ඈ විටෙක අසයි. 'කොයි වෙලේ ද අප්පේ?'

ජීවිතය ජීවත් කරවන්න ට වුවමනා වන්නේ මහා සැලසුම් නොවෙන බවත් කුඩා බලාපොරොත්තු හා වින්දනය පිරුණු මොහොතක් පමණක් බවත් මම වටහා ගත්තෙමි. ඔව්,  ඈ එතරම් දේවල් කලේ නැත. ඇගේ සෙනෙහසත් ඇය ජීවිතය ට ලබා දුන් බලාපොරොත්තු ත් එතරම් දේවල් කරන්න ට විය. සඳ මිඳුල ට එනවා යැයි කීවා ට සඳ මිඳුලට එන්නේ නැත; එන්නේ සඳ එළිය පමණි; සඳ එළිය එන්නට නම් ඒ සඳ එළිය ට ජීවය දෙන සඳක් පැවතිය යුතුම ය. මාගේ සඳ ඇය වූවා ය.

තත්පර ගණන් මිනිත්තු ගණන් පැය ගණන් දින ගණන් ගෙවී යන්නට විය. මා නැවත ජීවිතය ට ආදරය කරන්න ට විය. ඇය එය ට ශක්තිය සැපවූවා ය. මට වුවමනා වේලාවට රැකියාව ට ගිය මා ලොක්කා ට වුවමනා වේලාවට රැකියාව ට යන්න ට පුරුදු වීමි. ඉස්තිරික්කයක පහස කිසිදා නොවිඳි මගේ ඇඳුම් දිනපතා මදින්නට ද පුරුදු වීමි. සති අන්තයේ ඇයත් සමඟ පෙම් චාරිකාවන් යන්නට ත් ඇගේ තුරුලෙ හි උණුසුම විඳින්නට ත් යුහුසුළු වීමි. කල දෙයක් නෑ කීවා ට එපා වී අතැර දමා තිබූ උපාධිය නිම කරන්නට වරෙක ඇය මා පොලඹවයි.

'ඔය මඟුල් වල ට පාඩම් කරන්න මට බෑ.'

'එහෙම හරියනවෑ. තමුසෙ පාඩම් කරනවකො. මං ලයින් එකේ ඉන්නම් මෙහෙම.'

ගැලවීමක් නැත.

'මොන මඟුලක් ද මංදා.'

'මොකක්ද කිව්වෙ?'

'නෑ මේ චේතන් භගත් ගෙ අළුත් පොත.'

'පුහ්'

ඉඳින් මා උපාධිදාරියෙකු ද වීමි. මට වුවමනා නැති වූවා ට සමාජය ට උපාධිදාරීන් වුවමනා ය. ඇය සතුටු වෙයි.

මා කවදත් වැස්ස ට ආශා කළෙමි. කලෙක දී වේදනාව දිය කර හරින්න ට ය; දැන් ජීවිතය දනවන නිසා ය. වැසි බිඳු වැටෙන විට දැනෙනා පුසුඹ ජීවිතයේ සුවඳ දනවයි; ජීවිත ආශාව පුබුදුවයි. වැසි බිඳු වැටෙමින් සිරුරෙ හි හිරිගඩු පිපෙද්දී මම ඇය සොයමි; ඇගේ තුරුලෙ හි උණුසුම සොයමි. සිහින් දෙතොල ත් දිගැටි නිකට ත් සිප ගනිමි. කියඹුලතාවන් හා පොඩි එකෙකු සේ සෙල්ලම් කරමි. කැලෑ සතෙකු සේ ආදරයෙන් කන් පෙත්ත ක් සපමි. ඇඟ වටා දැවටෙමින් ආලිංගනයේ යෙදෙමි. පුන් පියොවුරු සමඟ උමතු සෙල්ලමක නිරත වෙමි; සිඹ සනසමි; මත් වෙමි. නිරුවත් දෙපා දිගේ යමින් ආලයෙන් මතුරමි. ඇගේ ඇස්; ඔව්; සිහින් දීප්තියෙන් දිදුලන ඇගේ දෙඇස් දෙස මුව අයා බලා සිටිමි. කුඩා දරුවෙකු මායා දර්ශනයක් බලා සිටින්නේ කෙසේ ද මා එයට ත් වඩා විශ්මයකින් ඈ දෙස ඇගේ දෙඇස් දෙස බලා සිටිමි. එතුළ කිමිදෙමි. සිතින් සිප ගනිමි. නැවත නැවත ත් සිප ගනිමි.

'උඹට කවුද බං ගෑණු දෙන්නෙ? කාලකණ්නියා වගේ ඉද්දි ගෑණු කැමති වෙනවද?' සමාජය කියන්නට පුරුදුව සිටියේ ය. ඇය කාලකණ්නියා ව සමාජය ඉදිරියේ පවරා ගත්තා ය. මාගේ තුරුල ට පැමිණියා ය. ජීවිතය දීප්තිමත් ව දැල්වෙන්න ට විය. සමාජය ගතු කීවේ ය. ඇය පිළිතුරු බැඳ තිබුණි.

'ඔව්, ඌ කාලකණ්නියා තමයි. හැබැයි ඌ මගෙ කාලකණ්නියා'.

ඉඳින් ආත්මය ම සසල විය. මා හඬා වැටුනෙමි. මෙතරම් සෙනෙහසක්? ඉවසිය නොහැක. දැඩි පෑවිල්ලක ට හසු වී  තිබුණු තාර කට්ටයක ට සිහිල් වැස්සක් ඇද වැටුණු විට සිඳු වන්නේ කුමක් ද? සිසිල දරා ගත නොහැකි ව තාර කට්ටය ඉරි තලයි; පැලී යයි. මිනිස් ආත්මය ද එසේ නොවේ යැයි කිව හැක්කේ කාට ද? කර්කශ වියළුණු කාන්තාරයක් මෙන් වූ මාගේ ආත්මය ට ඇගේ ආදරය ඉවසා ගත නොහැකි ය. බර වැඩි ය. හදවත ඉරි තලයි. ඈ තුලින් පිටාර ගලන ආදරය විසින් ආත්මය ම  මහා කුණාටුවක ට හසු කරයි. ආත්මය දෙදරා යයි. මා විසින් කළ යුත්තේ කුමක් ද? ඔව්; ඇය ට පෙරළා ආදරය කිරීම ය. ඇගේ ආශාවන් ඉෂ්ඨ කිරීම ය. ඈ සතුටින් තැබීම ය. ඇය ගැන වූ මහා ආදරයකින් හා කියාගත නොහෙන ලෝභකමකින් සිත පිරී ඉතිරී යයි. ඇය මා තුරුලෙහි ම තබා ගත යුතු ය. තැලි පොඩි වී තිබුණු තුවාල වලින් පීඩා විඳි වණ වී තිබුණු මාගේ ආත්මය සුවපත් කලේ ඈ ය. ඔව්; ඇය ට මගෙන් මිදෙන්න ට නොදී රැකබලා ගත යුතු ය.

'ඇයි උඹ මට ඔච්චර ආදරේ?'

'මට ඕන හින්දා.'

ඇගේ ඇස් දීප්තියෙන් බබළයි. ආදරය පිරී ඇත. නැත; එසේ විය නොහැක. මා වැනි කාලකණ්නි ආත්මයක ට ආලය කරන්න ට ඇය ට පිස්සු ද? එහෙත් එය එසේ වෙයි. සමහර විටෙක දැන් මේ දක්වන ආදරය යම් දිනෙක නැති වී යනු ඇත. නැතහොත් මේ මහා සෙනෙහස ටිකෙන් ටික අඩුවනු ඇත. ඔව්; ඇය මා හට සදාකාලිකව ම මෙතරම් ආදරය නොකරනු ඇත. නමුත් එසේ වන්න ට ඉඩ දිය නොහැක. මා ඇය ට ආයාචනා කරමි. ඉඳින් ඈ මා සමඟ ම සිටිනු ඇත. නමුත් වෙන කවුරුන් හෝ ඇය ව රවටා ගත හොත්? කාලකණ්නියා ව නෙරපා දමා තමන් වෙත එන්නැයි වෘකයෙකු බැටළු පැටවා ට ආරාධනා කලහොත්? ඇය එය පිළිගන්නට ද ඉඩ තිබේ. මාගේ මුළු ආත්මය ම වෙවුළුම් කන්නට ත් ශරීරය ම රිදුම් දෙන්නට ත් විය. මා හට එය දරාගත නොහැකි වනු ඇත.

මා ඇගේ තුරුලෙ හි හිඳිමි. මාගේ සැක සංකා දුරු කරවමින් ඈ නැවත ත් මාගෙ කෙස් අතරින් සිහින් ඇඟිලි යවමින් ඈ මගේ ම බව මා හට සනාථ කරමින් සිටියි; මවක් තම දරුවා හැර යන්නේ නැත. මට නැවතත් හැඬුම් එයි; ඇය මා සිප සනසයි. ඇගේ ආදරය එතරම් ම ප්‍රබල ය. ඔව්; එය දරා ගත නොහැකි ය. මා විසින් තීරණයක් ගත යුතු ව තිබුණි. මාගේ ආත්මය ට මෙතරම් සෙනෙහසක් දරාගත නොහැකි ය. ආත්මය ම ඉරි තලා ගොසිනි. නමුත් මට ඈ හැර යන්නට ද නොහැකි ය.

ඉඳින්; මා ඈ මරා දැමුවෙමි; ඔව්; ඈ මහත් වූ සෙනෙහසින් හා විශ්මයකින් බලා සිටිද්දී ත් කඳුළු වගුරුවමින් කෙඳිරිලි නගමින් ගැලවෙන්න ට තනද්දී ත් මාගේ  දෙ අතින් ඈගේ ගෙල සිරකරමින් ඇගේ ආත්මය උදුරා ගත්තෙමි. ඈ මිය ගියා ය. මා නිසල සිරුර දෙස බලා සිටියෙමි. ආත්මය ම සීතල වී මුලු ශරීරය ම ගැහෙන්න ට විය. මහා කාලකණ්නිකමක් මා වෙලා ගන්නවා මට දැනෙන්න ට විය. මා මේ කලේ කුමක් ද? මා හැකි තරම් වෙර යොදා දුවන්න ට වීමි. මා නැවත ත් කාලකණ්නියෙකු වනු ඇත. නැවත ත් අතරමං වනු ඇත. නැත; එසේ වන්න ට නොහැකි ය. මහා බියක් මා වෙලා ගන්න ට විය. මා තවත් වේගයෙන් දුවන්න ට වීමි.

නමුත් මා හට ගැලවිය නොහැක; මා විසින් ඇය මරා දමා ඇත.

Comments