ඔහු ගේ සෙනෙහස ඈ ය. පිරිමියා ගේ ආශාව පවතින්නේ ඈ මත ය. පිරිමියා ගේ ආදරය තම ගතින් මෙන් ම සිතින් ද ඈ මත පවතියි, ඈ මත යැපෙයි. ඇය ගේ මහා විසල් හැඟුම් සඟවාගන සිටින දිදුලන දෙඇස්, සයුරු රළ වන් කෙස්, සුමුදු දෙකොපුල්, හුරතල් සිනා පානා දෙතොල්, විසේකාර පියොවුරු, දඟකාර නිතඹ, මහා කලබලයකින් එහෙමෙහෙ දුවනා අතැඟිලි ආදී භෞතිකයන් ට මෙන් ම ඇඟේ සිත ඇතුලේ කිමිදෙමින් දෙඇස් සඟවා ගන සිටින රහස් තේරුම් ගන්නට වැර දරමින් ඇගේ මානසිකයන්ට ද ඔහු ප්‍රේම කරයි. ආශාවෙන් දැවෙයි.
සංස්කෘතික පිරිමියා ගේ ආලය එහෙම ය. ඔහු තමාගේ පාදම කොටගන්නේ ඇය යි. ඔහු ඒ මත පවතියි; ඔහු ගේ ආශාව ඒ මත පවතියි. සිහින මන්දිර නොවේ සිහින රාජ්‍යයන් ගොඩනඟයි. ඈ හා දිවි ගෙවන්නට ලෝකයක් තනයි. ඔහු ඇයව රැකගන්නට පවුරු බඳියි. ඇය දෙස බලනාවුන් ට වෛර කරයි, වෙනත් ගැහැණුන් පිළිකුල් කරයි. ඇය වෙනුවෙන් සිතින් වද විඳියි. සැක සංකා උපදවා ගනියි. ඇගේ ආලය දිනාගත් භෞතිකයන් ට ඊර්ෂ්‍යා කරයි. ආදරය පිරී ඉතිරී යන මොහොතේත් පීඩාවට ලක්වෙමින් ලතැ වේ. ඇය අහිමි කරගත නොහැක. ශරීරය මිය යාම වෙනකකි; ආත්මය ට මිය යාමට දිය නොහැක. ඔහු ඇගේ කුසෙ හි නැවත උපත ලබයි.
නමුත් ඇය ඔහු ගේ සෙනෙහස, ආදරය මඟහැර එයට පයින් ගසා ප්‍රතික්ෂේප කළ පසු? සංස්කෘතික පිරිමියා ගේ ආලයේ ආශාවේ මරණයත් රමණීය ම අවස්ථාවත් ය. තමා තුල ගොඩ ගලමින් පිරී ඉතිරී යමින් පවතින ආදරය තවකෙකු ට දීමට ත් ඒ කුඩා ශරීරාභ්‍යන්තරය මත්තේ සැඟවුණු විසල් ආත්මය තමා ගේ සෙනෙහසින් පිරවීමට ත් ඔහු ට අවැසි ය. නමුත් දැන් ඔහු ට කල හැක්කේ කුමක් ද? ඈ ඒ ප්‍රතික්ෂේප කරයි. ඇය ව බලහත්කාරයෙන් ගෙන ඒමට වත් පිහියකින් ඇන මරා දැමීමට වත් ඇය ව රිදවා අපහසුතාව ට පත් කර හෝ පලිගැනීමට ඔහු ට හැකි ද? හැකි ය; නමුත් ඒ සංස්කෘතික පිරිමියා ට නොවේ. සංස්කෘතිකයැ යි වරදවා අර්ථකතන දුන් ශිෂ්ඨාචාරගත ගෝත්‍රික සමාජයේ අසංස්කෘතික පිරිමියා ට එසේ කළ හැක. සංස්කෘතික පිරිමියා අසරණ ය. කළ හැක්කක් නොමැත. ඇය ඔහු ව ප්‍රතික්ෂේප කර තිබේ.
'මට හැඟීමක් නොදැනෙන තැනකින් අයින් වෙන්න මට අයිතියක් නැද්ද?' ඇය විමසයි; ඔව් අයිතියක් තිබේ. එය ඇගේ සම්පූර්ණ අයිතිය යි. දැන් මා කරන්නේ කුමක් ද? වේදනා විඳිමින් මොහොතින් මොහොත මියෙනවා ද? විකල්ප දෙක කි. එක; ශරීරය නැසිය යුතු ය. එවිට ආදරය ත් වේදනා රිදවුම ත් අවසන් ය. නමුත් තමන් තුල සිටින සංස්කෘතික පිරිමියා එයට විරුද්ධත්වය පානු මා හට දැනෙයි. දෙක; ආත්මය නැසිය යුතු ය. ආදරය හා ආශාවන් මරා දමා ආත්මය විනාශ කොට ශරීරය පමණක් නඩත්තු කළ යුතු ය. බොහෝ මිනිසුන් විසි පහේ දී මියගොස් පනස් වියේ දී වළලනු ලබත්, මා හට ද එය අකැප නොවනු ඇත. නවතින්න; ඇය පසෙක සිට සිතෙන් අදියි. ඇය පිරිමියා ගේ ආශාව ය; ආශාවේ සුක්කානම ඈ අත ය. ශරීරය හෝ ආත්මය නැසීමේ ප්‍රයත්නය න් සාර්ථක කර ගැනීමට ආශාව ඉඩ නොදෙයි. ඒ ඈ සතු ය.
සිත තැවෙයි. තමා සංස්කෘතික පිරිමියෙකු වී ගෝත්‍රික පිරිමියෙකු නොවීම ගැන තමාට ම ශාප කරගනියි; මා එසේ වූවා නම් ඈ මගේ වනු ඇත. සියළු දෙයින් ඈත් වන්නට ත් තමා ව හුදකලා කරගනිමින් උතෝපියානු ආදරයක් මේන්ටේන් කරන්නට ත් සංස්කෘතික පිරිමියා යොමු වේ. සමාජය පිළිකෙව් කරන හෙතෙම තමා තුල හැදී වැඩෙන තම මානසික දරුවා ට ආදරය කරයි. එළියට පා තැබිය නොහැක; ඇය තමන් ට අහිමි වනු ඇත. එක් පසෙකින් තමන් ට ම රිදවා ගැනීමට ත් තව පසෙකින් ආත්මය මරා දමන්නට ත් කෙරෙන මානසික යුද්ධය විසින් සංස්කෘතික පිරිමියා ව දෙපසට ඉරා දමයි.
'තොට මොනවා වෙලාද යකෝ? ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු.' ඔවුන් කියයි. ඔව්; විශාදය. ආත්මය මරා දමන්න ට කළ අසාර්ථක යුද්ධයකින් පසු සිත ආතුර වෙමින් පවතියි. යකා ගේ කම්මලක් මෙන් සිත එහේ මෙහේ දුවයි. දරුණු ගැටුම්, හදිසි අනතුරු, අමු අමු වේ කරන මරා දැමීම් හමු වේ ආත්මය තවදුරටත් සටන් කළ නොහැකි ව වැටී සිටියි. සංස්කෘතික පිරිමියා ගේ අවංක වූත් පිවිතුරු වූත් ප්‍රතික්ෂේපිත ආදරයේ අග්‍රඵලය මේ ය. ඩිප්‍රෙෂන් ය; ඩිමෙන්ෂියා ය. භෞතික ව ධනවත් වන හෙතෙම මානසික ව ආශාව සහ ආත්මීය මරණය ඉල්ලා කරන ආයාචනාවක යාචකයෙකි.
සමහර විට මේවා මෙහෙම නොවී ම ද විය හැකි ය. සංස්කෘතික පිරිමියා ගේ ප්‍රතික්ෂේපිත ආදරය මෙසේ නොවීම ත් විය හැක. සමහර විට සංස්කෘතික පිරිමියා ශරීරය මරා දමනු ඇත. නැතිනම් මා මේ ලියන්නේ මාගේ ආතුර වූ ආත්මගත විකාරයක් වන්නට ද හැකි ය.
Comments
Post a Comment