ශිෂ්ඨාචාරගත මානවයාගේ ආදි කල්පික යදම්

කැස්පර් මතක ද? සුමිතුරු භූතයා. පොර දවසක් යනවා ගල් යුගයට, වෙනදා වගේම යාළුවෙක් හොයාගෙන, මොකද මේ යුගයේ දී යාළුවෙක් හොයාගන්න බැරිවෙන නිසා. ඔන්න දැන් ඉන්නෙ අතීතයේ, ගහකොළ පිරිලා මාර නිස්කලංකයි ලස්සනයි, කැස්පර් ට මාර හැපි. පොර දැන් යාළුවෙක් හම්බෙනකම් කියලා ඇවිදගෙන යනවා, දන්නවනෙ පොර ඇවිදින හැටි අත් දෙක පිටි පස්සට බැඳගෙන වටපිට බල බල. ඔහොම ඔහොම යනකොට පොර දකිනවා අමුතු සීන් එකක්, කැලේ අයිනෙන් වැටුණ පාර දිගේ ඇඟ පුරා මවිල් වැවුණු දාර පත ගෝඨයිම්භර ටයිප් ඩයල් එකක් පොල්ලකුත් කර ගහන්, හම් ඇඳුමක් ඇඳගෙන ඉන්න ගෑණු පරාණයක් කොණ්ඩෙන් අල්ලන් බිම දිගේ කිසිම හිතක් පපුවක් නැතුව ඇදගෙන යනවා. දැන් කැස්පර් ට මලේ මල, දන්නවනේ පොරගෙ හැටි, අසාධාරණය පේන්න බෑ. ඇයි යකෝ කාන්තාවකට ඔහොම සලකන්න දෙන්න පුළුවන් ද , එකත් එකටම අර යකා මේ ගෑණු පරාණෙ පැහැරගෙන යනවා.

කැස්පර් සං ගාලා ගෝඨයිම්භර ඉස්සරහට ගිහින් ගෑණිව නිදහස් කරන්න කියලා සද්දයක් දැම්මා, අරූ දන්න දෙයියො ඔක්කොම සිහි කරන් ගෑණිව දාලා දත් සෙට් එකත් අතේ තියන් දුවනවා.

දැන් හරි, කාන්තාව නිදහස්, කැස්පර් ලඟට යනවා මොකද වුනේ බලන්න. මොන? යටි ගිරියෙන් මර හඬ තලාගෙන මෙන්න ගෑණි දුවනවා පණ එපා කියලා, යන්නෙ අර දාර පත වහුකුණා ලඟට, ගිහින් මෑන්ගෙ අතට තමන්ගෙ කොණ්ඩෙ දීලා ඇදගෙන යන්න දෙනවා, දැන් ආයෙ අර ගල් යුගේ පොර ගෑණිට ගගහා බිම දිගේ ඇදගෙන යනවා.

කැස්පර් ඈත ඉදන් මේක දකිනවා, පොර කට ඇරගෙන, 'මොකක්ද යකෝ ඒ උනේ?' කියලා දහ අතේ කල්පනා කර කර බලන් ඉන්නවා.

ඔයාලට කියන්න අපේ ලංකාවේ ඉන්න තරමක් මිනිස්සුත් අර ගල් යුගේ ගෑණි වගේ.


මේක කතාවක්. හැබැයි මේක මේ ලෝකෙට, විශේෂයෙන් සිරි ලංකාව වගේ රටකට කවදත් වලංගුයි කියලා හිතෙන්නෙ අපේ මිනිස්සු මොන තරම් නම් (Desperate) අපේක්ෂාභංගත්වයට පත් වෙලා ද බලාපොරොත්තු සුන් වෙලා ද මොන තරම් පීඩනයකින් සහ හිස්කමකින් ද ඉන්නෙ කියලා දකිද්දි, අපි හොයන්නෙ එල්ලෙන්න පිදුරු ගහක්. තමන්ගේ හිස්කම සහ පීඩනය පිට කරන්න තැනක් සහ අවස්ථාවක්.

කොච්චර පස්සෙන් ගියත් බෑ කියන කෙල්ලගේ බොළඳ සහ ආවේගශීලි ප්‍රේමවන්තයා මොකක්ද කරන්නෙ? කෙල්ලට පිහියෙන් අනින එක. නැත්නම් එල්ලිලා මැරෙන එක. පීඩනය පිට කිරීම හෝ පලා යෑම.

දැන් අපේ මිනිස්සුන්ට පැනලා යන්න බෑ. කරන්නේ පීඩනය පිට කරන එක. ඒ වගේම එල්ලෙන්න පිදුරු ගහක් හොයන එක. මෙන්න මේ අවස්ථාවෙදි තමයි නාමිකව ශිෂ්ඨාචාරගත වුණ මනුස්සයා ගේ නියම හැසිරීම එලියට එන්න පටන් ගන්නෙ.

විනය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ශිෂ්ඨ කරුණු විහිළුවක් බවට පත් වෙලා 'ඇහැට ඇහැක් දතට දතක්, ඒකාධිපතීත්වය, කපපන් කොටපන්' වගේ කාරණාවන් පරම පූජනීය වෙනවා. මිනිහා ගෙ ඇඟ ඇතුලේ ඉන්න ගල් යුගයේ සතා (එහෙම එකෙක් ඉන්නවා) එලියට එනවා. මේක තමා ලේසිම දේ. මොකද යමක් හෝ කෙනෙක්ව විනිශ්චයකට ලක් කිරීම සහ ආවේගශීලීව හැසිරීම යහපත අයහපත කල්පනා කිරීමට, ඒ අනුව අවබෝධ කරගැනීමට සහ කටයුතු කිරීමට වඩා පහසුයි.

ඔය සතාගේ චරිත ස්වභාවයේ දෙපැත්තක් තියනවා. එකක්, අර ගෝඨයිම්භර වගේ අනෙකාව යටත් කරගෙන පාලනය කිරීම (සහ යටත් වන්නා කැමැත්තෙන් එසේ විය යුතු යැයි බලාපොරොත්තු වීම) සහ එසේ කිරීමේ ආශාව.
අනෙක් පැත්ත, යටපත් වීමේ ආශාව, පාලකයකු වෙත පාලිතයකු වීමේ ආශාව, ඒ අර ගල් යුගේ ගෑණි වගේ, ඒ ගෑණිට තියන පරම සැපත ඒක. මෙන්න මේ චරිත ස්වභාවය වෙලාවකට අර පාලකයකු වීමේ ආශාවට වඩා භයානකයි. මොකද අපේක්ෂාභංගත්වයට පත්වුණ (සමාජයීය සහ ආර්ථිකමය වශයෙන්, ලංකාවට සහ එහි සමාජයට මේ දෙක ම දරුණුවට ම බලපානවා) මිනිස්සුන් ව තමන් වෙත නම්මාගෙන දක්කන්න අවස්ථාවාදී පාලකයාට අවස්ථාව ලැබෙනවා.

මේ ස්වභාවයෙන් ම තවකෙකුට වන්දනාමාන කිරීමේ, යටපත් වීමේ ආශාව ඇති මිනිස්සු, අර අවස්ථාවාදී පාලකයා වෙත දුවන්නේ උන් ව ඒ මානසික වහල්භාවයෙන් මුදවාගන්න තැත් කරන මිනිස්සුන්ට බැණ බැණ, අරූට 'අනේ අපිව බේරගනියෝ' කියන ගමන්.

අපිටත් වෙලා තියෙන්නේ කැස්පර් ට වගේ 'මොකක්ද බං මේ වෙන්න යන්නේ?' කියලා කල්පනා කර කර ඉන්න.

Comments