මැණිකා දූෂණය කිරීමට ඉඩ දිය යුතුව තිබුණා ද සහ ඉඩ දිය යුතු ද??


පැරණි කැසට් නැවත නැවත වාදනය කිරීමටත්, ඒවා අසමින් ඇඬීමටත්, කන්නට ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරගැනීමටත්, බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමටත් අප හපනුන් වෙමු. නැවතත් එම පරණ කැසට් වාදනය කිරීමට පටන්ගෙන ඇති බව දුටිමි, කීමට කතාවක් ඇත, ඒ සැවොම දන්නා නමුත් බහුතරයක් තේරුම් නොගත්තා වූ, අවබෝධ කර නොගත්තා වූ කතාවකි.

'මැණිකා' ආඩම්බරකාර ඉහළ පෙළපතකින් පැවත එන රූමත් නව යොවුන් තරුණියකි. ඇයට සහෝදරයන් හතර දෙනෙකුන් ද සිටියි. ගම්බද පෙදෙසක ජීවත් වුණ ඇයට බැල්ම හෙලනා පිරිමින් ද බොහෝ විය, මේ අතර ගමෙහි බලපුළුවන්කාරයෙකු ද විය, ඔහු පාල ලෙස හඳුන්වාගනිමු. දිනක් අසල වූ නගරයේ සිට නැවත සිය නිවස බලා එන මැණිකා ට මුහුණ දීමට සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකටය. නරක හා දුසිරිතෙන් පිරි චරිතයක් ලෙස හැඳින්වෙන පාල සැරසී ඇත්තේ පාළුවට ගොස් තිබූ මවතේ ආ රූමත් තරුණිය හට අතවර කිරීමට ය. එම උත්සහයේ දී සහ එයට තරුණියගේ විරුද්ධත්වය පෑම් හමුවේ ඇති වූ කලබලය අවධානයට ලක් වූ ගමෙහි තවත් බලපුළුවන්කාරයෙක් සහ 'හොඳ' යැයි සැලකුණු සෝමේ එහි පැමිණ ඇති අතර පාල හට පහර දී පලවා හැර අතවරයට ලක් වීමට ගිය තරුණිය බේරා ගැනීමට කටයුතු කර තිබුණි. පසුව මැණිකා ව ඇයගේ නිවැසියන් ට භාර දීමට ද ඇගේ ගැලවුම්කරු වූ සෝමේ විසින් කටයුතු කරන ලදී. මෙම සිදුවීමෙන් පසුව සෝමේ මැණිකාගේ පවුලේ පිරිසට වැදගත් සහ ගරුකටයුතු පුද්ගලයෙකු විය. ඇගේ දෙමාපියන් පවා සෝමේ හට වැන්දේ නැති ටික පමණ ය. සෝමේ ද වීර චරිතය මේන්ටේන් කරගනිමින් හැසිරුණ අතර මැණිකා කෙරෙහි අයිතිවාසිකමක් ඇති අයුරින් හැසිරෙන්නට විය. කලක් ගත වූ පසු සෝමේ සූදානම් වූයේ තමන් කල ක්‍රියාවට තරුණියගෙන් 'ගාස්තු' අය කර ගැනීමට සහ තමන්ට අවැසි අයුරින් ඇයව හැසිරවීමට ත් එම ක්‍රියාවන් වලට නිවැසියන්ගේ ආශිර්වාදය කැමැත්තෙන් හෝ බලෙන් හෝ ලබා ගැනීමටත් ය. පෙර කල උපකාරය නිසා ඉවසමින් සෝමේ ගේ ක්‍රියාවන් නතර වේ යැයි සිතුවද එය එසේ නොවුණ අතර එනපොට හොඳ නැති බව දුටු නිවැසියන් තීරණය කලේ සෝමේ ව නැවත නො එන්නට පලවා හැරීමටත් බලපුළුවන්කාරකම් වලට තිත තැබීමටත් ය.

නිවැසියන් ගේ අදහස වූයේ 'මැණිකා' ව පාල ගෙන් බේරා ගත් පමණින් ඒ කාරණය මත පිහිටා ඇයට බලපෑම් හෝ අතවර කිරීමට සෝමේ ට අයිතියක් නැති බවයි.

කෙසේ වුවත් ඇතැම් ගැමියන්ගේ අදහස වූයේ මැණිකාගේ නිවැසියන් ක්‍රියා කල ආකාරය වැරදි බවත් ඇයව බේරාගත් උදාර පුරුෂයා වන සෝමේ නරක එකෙකු නොවන බවත්, සෝමේ ඇයට කුමන දේ කලද ඇය ගැන සිතා කටයුතු කරන බවත් ය, එම නිසා ඇගේ නිවැසියන් ඒවා එතරම් ගණන් යුතු කාරණා නොවන බවත් එම ගැමියන් ගේ අදහස විය. වෙන එකෙකු ඊටත් වඩා නරක විය හැකි බවත් සෝමේ ගේ අතවර, අතවර නොවන බවත් ය.

ඉඳින්, දැන් අපටත් ඇති ප්‍රශ්නය ඒක ය. පාලගෙන් බේරාගත් පමණින් මැණිකා ව දූෂණය කිරීමට සෝමේ ට ඉඩ දිය යුතු ද, යුතුව තිබුණා ද, පලවා හැරි සෝමේ ට එම අවස්ථාව නැවත දිය යුතු ද වැනි කාරණා අප නැවත නැවතත් සිතා බැලිය යුතු ය. 

Comments