සිංහලබෞද්ධ මුත්තා වෙත ලියන වග නම්

(cavemanlogic.com)

මුත්තේ මේ විසි එක්වන සියවස ය. මේකට සුද්දන් කියන්නේ අභ්‍යාවකාශ යුගය කියලා ය. නමුත් උඹලාගේ එවුන් තවමත් නත්තලා පනත්තලා මෙන් ගෝත්‍රික ශිෂ්ටාචාරයක් නඩත්තු කරමින්  වෙසෙන්නේ ගල් ගුහාවල ය. වෙන රැහැක උන් දුටු විට හැංඟෙන්නටත්, විටෙක පොලු මුඟුරු රැගෙන එලවන්නටත් ඇරෙන්න කා සමඟවත් එකට ඉඳීමට උඹලාගේ ජාන උඹලාට ඉඩක් නොදෙන බව පෙනෙයි. සියල්ල ම නුහුරට පෙනීමේ සහ මම ය මාගේ යැයි පවසමින් රැහේ පුරාජේරුව කියමින් ස්වයං-වින්දනයක් ලැබිමේ පරම්පරාගත රෝගයකින් උඹලා පෙළෙයි. පුක කහගන්නට නියපොත්තක් හෝ නොමැති වු දා සිට උඹලා වංසෙ කබල් ගාමින් අතීත ශ්‍රී විභූතියට ආදරය කරමින් එහි ම ඇලී ගැලී සිටින්නේ වර්තමානයේ හිඩැස් වසා ගන්නට නොවෙදැ යි මට සිතෙයි. එහෙයින් ම උඹලා ට වර්තමානය මඟ හැරී අනාගතය අහිමි ව ඇත.

මුත්තේ අතීතය වැදගත් ය. ඒ ඉන් ඉගෙනීමට අපට බොහෝ දේවල් ඇති නිසා ය. නමුත් ඒ අතීතයේ ජීවත් වන්නට ගිය හොත් උඹලාට වත් මට වත් අනාගතයක් හිමි නොවනු ඇත. සුද්දා ලෝකයෙන් පිට වී අඟහරු මත ජනාවාස තනන්නට සෝදුපත් බලන විට ජපනා ලෝකය වෙනතකට යොමු කරවමින් රොබෝවන් තනන්නට සෝදුපත් සකසන විට උඹලා ජනශ්‍රුතියක එන මනඃකල්පිත රජෙකු නැඟිට වන්නට හීන බලති, සෝදුපත් සකසති. ඉඳින් උඹලාටවත් මටවත් අනාගතයක් කොයින් ද? අප ජීවත් වන්නේ අතීතයේ වූ කල.
උඹලා ගේ රැහේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ මේ දූපත ලෝකයම කියලා ය. එමෙන් ම තමන් සදාකාලයට ම ජීවත් වන බවත් අන් සියල්ලන් ම තමන්ට වඩා පහත් බවත් උන් සිතති. එ පමණක් නොව, අතීතයේ ජීවත් වෙන උඹලා අන් සියල්ලන් ද එයට අනුගත වනු ඇතැයි සිතයි. ගස් ගල් වන්දනා කරමින් ගෝත්‍රික රජෙකු යටතේ වහලුන් සේ ජීවත් වූ උඹලා තවමත් බලාපොරොත්තු වන්නේ ඒ තත්වයම ය. ලෝකය ඉදිරියට යද්දී අප පසුපසට විනාශකාරී ගමනක යෙදෙන්නේ ඒ නිසා ය.

අතීතයේ හැව හරින්නටත්, වර්තමානය නවතාවයෙන් යුතුව භාරගන්නටත්, අතීතයේ හුන් මළ රජුන් නැඟිටවන්නට නොව අනාගතය ගොඩ නංවන්නටත් අතීත ශ්‍රී විභූතීන් සංස්කෘතීන් රැකගන්නටත් නොව නව ශ්‍රී විභූතීන් ගොඩනංවන්නටත්, නව සංස්කෘතීන් ගොඩනංවන්නටත් දැන්වත් ආකල්පමය වෙනසක් ඇති කරගත යුතු ය. උඹලා තවමත් සිතා සිටින්නේ මේ රට සිංහලේ කියා ය. අතීතයේ කාලයක එය 'සිංහලය' සහ තවත් බොහෝ නම් වලින් හැඳින්වූවත් වර්මානයේ දී මේ රට 'ශ්‍රී ලංකාව' ය. මේ රටේ තව දුරටත් වාසය කරනුයේ එක් ආගමක් අදහන එක් ජාතියක් නොවේ, අත් හැරීම ප්‍රගුණ කරන්නැ යි දේශනා කල දර්ශනයක් ඈඳාගන ගුහාවේ හිඳගෙන 'සිංහලබෞද්ධ' යැ යි කීවාට ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ, බහු ජාතික සහ බහු ආගමික රටකි. මුත්තේ උඹලා නිතරම වයන අතීත හීනයේ ටේප් එක වර්තමානයට හෝ අනාගතයට හෝ බල නොපවත්වන බව උඹලා දැනගත යුතු ය. උඹලා ජීවත් වන්නේ අතීතයේ නොව වර්තමානයේ බව උඹලා දැන්වත් තේරුම් ගත යුතු ය, හීනයෙන් අවදි විය යුතු ය. සැඟවීම හෝ පොලු මුඟුරු ගෙන පැන්නීම වෙනුවට අනික් උන් සමඟ ද සහයෝගයෙන් සිටීමට උඹලා පුරුදු විය යුතු ය. 'ඉතින් අපි එහෙම ඉන්නවනේ.' උඹලාගෙන් එකෙකු කියනු ඇත, ඔව් මේ කියන්නේ එහෙම නො ඉන්නා බහුතරයට ය. 'ඉතින් ඇයි අපිට විතරක්? උන්ට කියන්නේ නැද්ද?' තව ගල්ගුහා වාසියෙක් අසනු ඇත. ඔව් උන්ටත් කියා ඇත්තෙමි, නැවතත් කියමි; උන්ට කියන්නට පෙර මුත්තේ උඹලාත් මමත් එය තේරුම්ගත යුතු වනවා නොවේද? මේ නැවත සිතන්නට, අතීතයේ ස්වයං වින්දනය නවත්වා ස්වයං විවේචනයක යෙදෙන්නට, නැවත අරඹන්නට යොමු විය යුතු කාලයකි. අතීතකාමයේ හැව හැරදමා වර්තමානය පිළිගෙන 'උන්' පිටවුන් නොව අපේ ම උන් බව වටහාගත යුතු සහ පිළිගත යුතු කාලය යි.

ඉතිහාස පොත් දිග හරිමින් පරම්පරා ගණනාවක සිට මේ රටේ උඹලා සමඟම ජීවත් වූ පිටවුන් කරන්නට දරන නිර්ලජ්ජිත සහ ගෝත්‍රික ලේ පිපාසී උත්සාහය මනුසත් කමටම ලජ්ජාවකි, පිළිලයකි. උඹලාට මෙන් ම උන්ට ද මේ රට මව්රට ය, උඹලාට ඇති අයිතිය ම උන්ටත් ඇත. එකෙකුගෙන් පසුව එකෙක් වශයෙන් සෑම එකාවම පිට එවුන් කරමින් දෙමළා, හම්බයා, පල්ලි කාක්කා ලෙස හංවඩු ගසා පහර දෙමින් සිට පසුව අවුත් 'අපි හොඳට හිටියට උන් එහෙම ඉන්නෑනේ අනේ' යැයි 'මං බබා' පාට් දැමීම හාස්‍යජනක ය.

උඹලා උන් 'අපේ'යැ යි සිතන්නට පුරුදු වන තුරු, එය උන් ට දැනෙන්නට ඉඩ හරින තුරු උන් 'උඹලාගේ' නොවනු ඇත! උඹලා උන් ව පිටවුන් කර තබන තාක්කල් උන් පිටවුන් ම වනු ඇත!

තවදුරටත් මේ රට 'සිංහලය' නොවන බවත්, ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට අවැසි වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රික වහලුන් නොවන බවත් ශ්‍රී ලාංකිකයන් බවත් උඹලා තේරුම්ගත යුතු ය. නැතිනම් සිදු වන්නේ ගෝත්‍රයක් ලෙසම අභාවයට යන්නට ය. මුත්තේ උඹලාගේ රැහේ සමහර වුන් වයසක උඹටත් වඩා බෙහෙවින් 'පුස් කා' ඇති බව මට විටෙක හැඟේ, රාවණා සහ දියසෙන් නැඟිටවන්නට ද විටෙක වඳ බෙහෙත් භීතිකාවන් මවමින් හිඟමනේ යමින් ද උඹලා මේ කරන්නේ මේ රටේ ඉදිරි ගමන පසුපසට ඇද යාමකි. උඹලාට ජාතික වගකීමක් ඇත, ඒ අනික් උන් ද එකතු කරගෙන රට හා ශ්‍රී ලාංකික ජාතිය ඉදිරියට ගෙන යාම ය, අතීතකාමයේ ස්වයං වින්දන ආතල් ගනිමින් පුරාජේරු ඇද බාමින් තවත් ලේ පිපාසිත විනාශයකට මඟ පෑදීම නොවේ.

උඹලා ගේ ද අපේ ද උන් ගේ ද ජාතිය 'ශ්‍රී ලාංකික' වනතුරු උඹලා හැම එකාම වහල් ගෝත්‍රික ගල් ගුහාවක් ඉදිරිපිට මඩ ගොහොරුවක ඉපිද මඩ ගොහොරුවක මිය යනු ඇත.

සිංහලබෞද්ධ මුත්තේ, මේ උඹේ අතීතකාමයේ, කුහක මමත්වයේ සහ වහල්භාවයේ 'හැව' හැලීමට කාලය යි!!!

Comments