මැතිවරණය නිශ්ප්‍රභා කරයි
ලොව පුරා අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය පසුගිය සති කිහිපය තුල අප්‍රිකානු මහාද්විපය වෙත යොමු වී පැවතුණි, ඒ සිම්බාබ්වේ නිදහස් සටනේ පුරෝගාමියෙකු සහ දශක කිහිපයක සිට සිම්බාබ්වේ නායකත්වය උසුලන රොබර්ට් මුගාබේ නිසාවෙනි. දේශපාලන ආරවුල්, ව්‍යාකූලතා සහ හමුදාමය මැදිහත්වීම් වලින් අනතුරුව දෝෂාභියෝගයකට මුහුණ දීමේ තත්වයක් උද්ගත වී තිබිය දී 93 හැවිරිදි නායකයා ඉල්ලා අස් වන්නට තීරණය කලේ දශක තුනකට අධික පාලන කාලයක් නිමා කරමිනි.
Judges are hearing to the petitions (Reuters) |
දකුණු අප්‍රිකානු සංගමයේ තත්වය එසේ වන විට නැගෙනහිර අප්‍රිකානු සංගමයේ ප්රබලතමයෙකු වන කෙන්යාව පසු ගිය සති කිහිපය ඇතුලත මුහුණ පාමින් සිටියේ දැඩි අර්බුදකාරී තත්වයකට ය. ඒ 2013 දී බලයට පත් ජනාධිපති උහුරු මූගායි කෙන්යාටා (Uhuru Muigai Kenyatta, 56) ඇතුළු රජය විසින් පසුගිය අගෝස්තු මස පවත්වන්නට යෙදුණු මැතිවරණය දූෂිත බවට විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක රයිලා ඔඩින්ගා (Raila Amolo Odinga, 72) ඇතුළු පිරිස් චෝදනා කිරීමත් සමඟය. ඒ සමඟ ම ඇති වූ විරෝධතා රැලි සහ දෙපාර්ශවයේ අනුගාමිකයන් අතර ගැටුම්, පහර දීම් පුද්ගල මරණ වාර්තා වන්නට විය. 2017 කෙන්යානු ජනාධිපතිවරණය පවත්වන්නට යෙදුනේ අගෝස්තු මස 08 වන දා ය. ඒ අනුව පැවති මැතිවරණයට ජුබිලි (Jubilee alliance) සන්ධාන පක්ෂ අපේක්ෂක ලෙස උහුරු කෙන්යාටා ද නාසා (NASA- National super Alliance) සන්ධාන අපේක්ෂක ලෙස රයිලා ඔඩින්ගා ද තරඟ වැදුණි. ඒ අනුව සමස්ත ඡන්ද වලින් 54% ක් ලබා ගනිමින් කෙන්යාටා දෙවෙනි ධූර කාලයක් සඳහා මැතිවරණය ජයගත්තේය. ඔඩින්ගා හට ලබා ගත හැකි වූයේ 44% කට මඳක් වැඩි ප්‍රතිශතයක් පමණි. කෙසේ නමුදු මැතිවරණ ක්‍රියාවලිය දූෂිත බවට කෙන්යානු ජනතාව අතර විශ්වාසයක්, රාවයක් ඇති වන්නට වූ අතර රයිලා ඔඩින්ගා ප්රමුඛ විරුද්ධ පක්ෂය (NASA) ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, නව රජය පිළි නොගන්නා බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පල කෙරිණ. ඒ අනුව අගෝස්තු මස 08 වන දා පැවැත් වූ ඡන්දය ‘අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාවන්’ ගෙන් යුක්ත වූ බව අග විනිසුරු ඩේවිඩ් මරාගා (David Maraga) ප්රමුඛ විනිසුරු මඩුල්ල විසින් තීරණය කෙරුණ අතර, මැතිවරණය නිශ්ප්‍රභා කරන ලදී, එමෙන් ම නව මැතිවරණය දින 60ක කාලයක් ඇතුලත පැවැත්විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. ඒ අනුව තීරණය කෙරුනේ නව මැතිවරණය ඔක්තෝම්බර් මස 26 වැනි දින පවත්වන්නට ය. කෙන්යාටා රජය චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර මරාගා උපහාසයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරිමක් දක්නට ලැබුණි.
තරුණයා සහ දේව ක්‍රියාව
1961 දී උපන් උහුරු කෙන්යාවේ ප්‍රථම ජනාධිපති ලෙස කටයුතු කළ ජෝමෝ කෙන්යාටාගේ (Jomo Kenyatta) පුත්‍රයා ය. ඔහුගේ ධනය, බලය හා කීර්තිනාමය යන සියල්ලම හිමි උහුරු කෙන්යානු ජනතාව අතර කම්වානා (තරුණයා) යන අන්වර්ථ නාමයෙන් හැදින් වේ. එය සනාථ කරමින් ම්වායි කිබකි (Mwai Kibaki) ජනපතිවරයාගේ රජයේ උප අගමැති ලෙස කටයුතු කළ උහුරු 2013 මාර්තු මස පැවති මැතිවරණයේ දී රයිලා ඔඩින්ගා පරදවමින් කෙන්යාවේ 04 වැනි ලාබාලතම ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 2013 වර්ෂයේ දී ඩිජිටල් ජනාධිපති ලෙස තමන් ව හදුනා ගනිමින් මැතිවරණ සටනට පිවිසුනේ තමන්ගේ තරුණ බව හඟවමින් සහ දේශපාලන උපායක් ලෙස කෙන්යාවේ අවධානය තාරුණ්‍යය වෙත යොමු විය යුතු බව පවසමින් රටේ තරුණ කොටස්වල ප්‍රසාදය දිනා ගන්නට ය. කෙන්යාව කලාපයේ ඩිජිටල් මධ්‍යස්ථානය බවට පත්වීමේ අභිලාශයත් උහුරු තමන්ගේ මැතිවරණ සටනේ වාසියට යොදා ගත්තේ ය. වර්ථමානය වන විට උහුරු කෙන්යාටා අප්‍රිකාවේ සිටිනා 26 වන ධනවත්ම පුද්ගලයා ලෙසට ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් නම් කර ඇත.
Uhuru Kenyatta & Raila Odinga (Reuters) |
රයිලා අමෝලෝ ඔඩින්ගා කෙන්යානු දේශපාලනයේ ආන්දෝලනාත්මක සහ ආකර්ශනීය චරිතයක් වන අතර කෙන්යාවේ ප්‍රථම උප-ජනාධිපති ජරමෝගි ඔගින්ගා ඔඩින්ගා ගේ (Jaramogi Oginga Odinga) පුත්‍රයා ද වේ. 1945 වර්ෂයේ දී උපන් රයිලා කෙන්යාවේ 02 වන අගමැතිවරයා (2008-2013) වන අතර 2013 සිට කෙන්යාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරයි. එමෙන් ම කෙන්යාව තනි-පක්ෂ ක්‍රමයක් ඇති රටක් වීම වලකන්නට ඔහු පුරෝගාමියෙකු ලෙස කටයුතු කලේ ය, කෙන්යාවේ වැඩිම කලක් රැඳවියෙකු ලෙස සිට ඇති පුද්ගලයා ද ඔහු වේ. කෙන්යානු ජනතාව අග්වම්බෝ (දේව ක්‍රියාව - Act of God) ලෙස අන්වර්ථ නාමයකින් ඔහු හදුන්වන අතරවර්තමානය වන විට රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් රයිලා වෙත ඉහළ ජන ප්‍රසාදයක් ඇති බව දක්නට ඇත.
රයිලා මැතිවරණ සටනෙන් ඉවත් වේ
කෙසේ නමුත් රයිලා ඔඩින්ගා පවසා සිටියේ මැතිවරණ කොමිසම (IEBC- Independent Electoral and Boundaries Commission) දූෂිත බවත් එහි ප්‍රතිසංස්කරණ සිදුකිරීමකින් තොරව තමන් දූෂිත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ය. ඒ සමඟ ම ඉදිරි මැතිවරණය දූෂිත එකක් වන බවට සනාථ වන ආකාරයේ ක්‍රියාකලාපයන් ද දක්නට ලැබුණි. මැතිවරණ අර්බුදකාරී තත්වයන් යටතේ ඉල්ලා අස් වූ මැතිවරණ කොමසාරිස් රොසෙලින් අකොම්බි (Roselyn Akombe) ප්‍රකාශයක් නිකුත් කරමින් ඔක්තෝම්බර් 18 වැනි දින පවසා සිටියේ ඉදිරියේ දී පැවැත්විමට නියමිත මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවනු ඇති බවයි, එමෙන් ම ඇය ඇමරිකා එක්සත් ජනපදයට පලා ගියේ පාලක ජුබිලි පක්ෂයෙන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට බිය පළ කරමිනි. එම දින ම IEBC සභාපති වෆුලා චෙබුකති (Wafula Chebukati) මැතිවරණය සාධාරණ නොවන බවට සැක පළ කරන ආකාරයේ ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමසාරිස්වරුන් පක්ෂග්රාහී බවත්, සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් පැවැත්වීම සඳහා නිදහස් මැතිවරණ සහ සීමා නීර්ණ කොමිසමේ (IEBC) ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් එසේ නොවුවහොත් තමා ඉල්ලා අස් වන බවත් ප්‍රකාශ කලේය.
Protest Agianst Kenyatta (Reuters) |
ඔක්තෝම්බර් 26 වැනි දින නව මැතිවරණය පැවැත්වුණ අතර කෙන්යාවේ ප්‍රථම වතාවට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉතා ම පහළ අගයක් ගන්නා ලද මැතිවරණය බවට පත්විය. මැතිවරණ කොමිසමට අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ට අඩු බව දැක්වුනි. එහි සභාපති වෆුලා චෙබුකති ප්‍රකාශ කලේ සමස්ත ලියාපදිංචි මිලියන 19.6 ක ඡන්ද දායකයන්ගෙන් ඔක්තෝම්බර් මැතිවරණය සදහා ඡන්දය භාවිතා කර ඇත්තේ මිලියන 6.5 ක පමණ ප්‍රමාණයක් වන බවයි. මෙය අගෝස්තු 08 ඡන්දයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ උහුරු කෙන්යාටා සහ රයිලා ඔඩින්ගා පමණක් ලබාගත් ඡන්ද ප්‍රමාණයටත් (මිලියන 15) වඩා ඉතා අඩු අගයකි. බොහෝ ප්‍රදේශවල ඉතාම සුළුතරයක් ඡන්දය ප්‍රකාශ කළ අතර ඇතම් ප්‍රදේශවල එක් ඡන්දයක්වත් ප්‍රකාශ නොවුනි. තවත් ප්‍රදේශයන් හි ඡන්දය පැවැත්වීමට (බහුතරය නාසා පාක්ෂික අනුගාමිකයන් වූ) මහ ජනතාව බාධා පමුණුවන ලද අතර ඡන්ද මධ්‍යස්ථාන වසා දැමුණි. කෙන්යානු ජනතාව කෙරෙහි මැතිවරණ ක්‍රියාවලිය සහ කෙන්යාටා රජය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති බව රට පුරා දක්නට ලැබුණි. ඔඩින්ගා සහ ඔහුගේ පක්ෂ අනුගාමිකයන් බහුල වශයෙන් මැතිවරණය වර්ජනය කරන ලදී. කෙසේ නමුත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 98% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් උහුරු කෙන්යාටා නැවතත් ජයග්‍රහණය කරන ලදී, විරුද්ධ පක්ෂ අපේක්ෂක රයිලා ඔඩින්ගා හට ලබා ගත හැකිව තිබුනේ 1% ටත් අඩු ඡන්ද ප්රතිශතයකි. නැවත වරක් මැතිවරණය දූෂිත බවට ඔඩින්ගා ප්රමුඛ පිරිස් චෝදනා කළ අතර පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී. නමුත් දින කිහිපයක නඩු විභාගයකින් පසුව නොවැම්බර් 17 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ඩේවිඩ් මරාගා ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කලේ පෙත්සම් වලින් ගොනු කර ඇති චෝදනා සත්‍ය නොවන බවත් පැවති මැතිවරණය සහ එහි ප්‍රථිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නා බවත් ය. ඒ අනුව මැතිවරණ ජයග්‍රාහකයා ලෙස ජුබිලී පක්ෂ අපේක්ෂක උහුරු කෙන්යාටා නොවැම්බර් මස 28 වැනි දින දෙවැනි වාරයක් සදහා කෙන්යා ජනරජයේ මීලඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.
මැතිවරණ ප්රචණ්ඩත්වයන්
Police at a Protest (Reuters) |
කෙන්යාවේ මැතිවරණය සාධාරණ සහ සාමකාමී බව කෙන්යාටා රජය පැවසුවත් පසුගිය සති කිහිපය තුල කෙන්යානු ජනතාව අත් වින්දේ සාමකාමී මැතිවරණ සමයක් නම් නොවේ. ප්‍රථම වරට පෙර-මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් ලෙස වාර්තා වූයේ ජුලි මස 27 වන දින පුද්ගලයන් දෙදෙනෙක් මරා දමා තිබියදී සොයා ගැනීමත් දින දෙකකට පසු උප නියෝජිත ජනාධිපති විලියම් රූටෝ ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වීමත් ය. ඉන් පසු විවිධ විරෝධතාවන්, පහර දීම්, පුද්ගල මරණ සිදු විය. අගෝස්තු 13 වන දා පොලීසිය ප්‍රකාශ කලේ පසුගිය මැතිවරණ සමය (අගෝස්තු 08 මැතිවරණය) තුල පුද්ගලයන් අවම 16 දෙනෙකු මරණයට පත් ව ඇති බවයි. තවත් වාර්තාවක දැක්වුනේ කුඩා ළමුන් තිදෙනෙකු ද ඇතුළු 37 දෙනෙකු පමණ මරණයට පත් ව ඇති බවයි, ඒ අගෝස්තු 08 මැතිවරණයේ ජයග්‍රාහකයා බව ප්‍රකාශ කිරීමෙන් පසු ඇති වූ විරෝධතා රැලි වලට පොලීසිය ජීව උණ්ඩ යොදාගෙන 'පාලනය' කිරීමෙන් සහ පහරදීම් වලිනි. ඔක්තෝම්බර් 26 නැවත-මැතිවරණයෙන් පසුව යුරෝපා සහ ඇමෙරිකා සංචාරයක යෙදුනු විපක්ෂ නායක රයිලා ඔඩින්ගා නැවත සිය රට බලා පැමිණීමේ දී (නොවැම්බර් 17) කෙන්යානු ජනතාව ඔහු පිළිගන්නට වීදී බැසි අතර පොලීසිය විසින් රයිලා ගේ රථ පෙළපාලිය සහ ජනතාව ට කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ යොදා ගනිමින් බාධා පැමිණ වූ අතර පුද්ගල මරණ 05ක් සහ බොහෝ තුවාලකරුවන් පිරිසක් වාර්තා විය. අගෝස්තු 08 මැතිවරණයේ සිට මේ වන විට පුද්ගලයන් 66 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
මූලාශ්‍ර: The Telegraph
National Public Radio
Quartz Africa
Reuters
පෞද්ගලික මූලාශ්‍ර මඟින්
Comments
Post a Comment