(අ) මනුස්ස කම

(Source: izquotes.com)

සමහරවිට මනුස්සකම අපි අර්ථ දක්වන්නේ වැරදියට වෙන්න ඇති. අපි මනුස්සකම විදියට දකින්නේ සාධාරණත්වය යුක්තිය අසීමිත සෙනෙහස කාරුණිකත්වය වගේ සංකල්ප වලින් යුත් දෙයක් වුණාට සමහරවිට ඇත්තටම මනුස්සකම කියන්නේ ඒක නෙවෙයි වෙන්න ඇති.

මනුස්සකම කියන්නේ අඩුපාඩුවක් තියෙන එකෙක්ව කොන් කරලා ඌව සමාජයෙන් පිටුවහල් කරලා දාන එක වෙන්න ඇති. මනුස්සකම කියන්නේ කෙල්ලෙක්ගේ කන්‍යාභාවය ඒ කෙනාගේ දුර්වල කමක් විදියට අර්ථ ගන්වලා ඒ මාර්ගයෙන් ඒ කෙනාව පාලනය හා යටත් කරගැනීම වෙන්න ඇති. මනුස්සකම කියන්නේ මිනිස්සුන්ව බල්ලට දාලා මිනිස්සුන්ට කලින් කොහේ හෝ ඉන්නවා යැයි කියන දෙවියෙක් , හිටියා යැයි කියන ආගමික නායකයෙක්ගෙ මැටි පිළිමයක්, ඇට කෑල්ලක් මහා ඉහළින් සලකන, වන්දනාමාන කරන එක වෙන්න ඇති. මනුස්සකම කියන්නේ තමන් ආශා කරන නමුත් තමන්ට ලබා ගන්න බැරි දෙයට ද්වේශ කරමින් ඒ දෙය විනාශ කිරීමට දත කෑම වෙන්න ඇති. මනුස්සකම කියන්නේ තමන්ගේ සිතැඟි පරිදි අටවාගත් සමාජ සම්මුති වලින් පිට කිසිවක් සිදු වීමට නොහැකිය කියමින් එයින් පිටත ජීවිතයක් බලාපොරොත්තු වන්නන් විනාශ කරලා දාන එක වෙන්න ඇති. මනුස්සකම කියන්නේ අනෙකා තමන්ගේ අහවල් ආශාව/ඇදහිල්ල/පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ම හේතුවක් කර ගනිමින් අනෙකාව සමාජයෙන් පිටුවහල් කරවීම වෙන්න ඇති. මනුස්සකම කියන්නේ කාට හෝ සිද්ධ වෙන නැත්නම් තමන් විසින් කාට හෝ සිදු කරන අධම තුච්ඡ ක්‍රියාවන් දෙවියෙක්ට හෝ කර්මයට, පින් පව් වලට පවරලා අත පිහදාගන්න එක වෙන්න ඇති.

කැලේ ඉඳන් එලියට ඇවිත් ඇට මාලයක් වෙනුවට ටයි පටියක් එල්ලා ගත්තට, පිටතින් අනුන්වත් තමන්වත් රවට්ටා ගන්න පුහු ශිෂ්ඨ සම්පන්න බවක් පෙන්නන් ඇතුලෙන් අර පරණ පුරුදු තිරිසන් කැලෑ ගති ලක්ෂණ පවත්වා ගෙන යාම වෙන්න ඇති ඇත්තම 'මනුස්ස'කම. අපි මනුස්සකම කියලා හිතන දේ මේ මනුස්ස යැයි කියන සමාජ වටපිටාවෙන් බලාපොරොත්තු වෙන එක හිතළුවක් වෙන්නේ ඒ නිසයි, යහපත් වීම, කැලෑ නීතිය ප්‍රතික්ෂේප කිරීම, අවුරුදු අච්චරක් පරණ පාදඩ සංස්කෘතියකට එරෙහි වීම මහා දුර්වලකමක්, ලැජ්ජා නැති කමක්, සමහර විටෙක මහා ලැජ්ජාවක්,  පොන්නකමක් වෙන්නෙ අන්න ඒ නිසා වෙන්න ඇති.

මනුස්සකම අමනුස්සකමක් එක්ක බැඳුණු පැරඩොක්සියක් වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

Comments