(Source: Wikimedia Commons) |
දේශපාලකයන් තම ප්‍රතිපත්ති වලට අනුව කටයුතු නොකර රටේ යකා නටන විට, තමන්ගේ සහ තම රටේ අනාගතය සමඟ සෙල්ලමක නිරත වන විට පුරවැසියන්ට ඇති විකල්පය කුමක්ද?
තවත් වසර ගණනාවකින් පසු එලඹෙන මහජන ඡන්දයක දී ප්‍රතිවිරුද්ධ පාක්ෂික අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට බලා සිටීමද? වෙනස් නමකින් හා වෙනත් පාටකින් යුතු එකම අක්‍රමවත් අබලන් දේශපාලන පද්ධතියේ ම කොටසක් තෝරා ගැනීමද? පුරවැසියා තමාවම රවටා ගැනීම හැර ඉන් සැබෑ ගැටළුවලට විසඳුම් ලැබෙනවාද? තමන්ගේ නියෝජිතයා විය යුතු පාලකයන් තමන්ව නොතකා ඔවුන්ගේ සිතැඟි ලෙස රට තව තවත් අගාධයකට ගෙන යාමට ඉඩ දිය යුතු ද? දේශපාලනය ඔවුන්ට පමණක් වෙන්වූ, සෙස්සන් 'බකං නිලං' සිටිය යුතු දෙයක් ද?
2016 වසරේ මාර්තු මස 31 වැනි දින ප්‍රංශ පුරවැසියන් පිරිසක් තීරණය කලේ එය එසේ නොවන සහ නොවිය යුතු බවයි. මීලඟ විරෝධතා රැලියේ දී තමන් නිකන්ම 'ගෙදර' නොයා යුතු බව තීරණය කල ඔවුන් 31 වැනි දින පැරීසියේ ප්‍රසිද්ධ මහජන චතුරශ්රයක් වන Place de la Republique (Republic Square) වෙත සමාජයේ විවිධ ස්ථරයන්හි පිරිස් එක් වන්නට වුණා. ප්‍රධාන වශයෙන් උසස් අධ්‍යාපන සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සංගම් සහ මහාචාර්යවරුන්, දොස්තරවරුන්, වෙළෙන්දන් සහ රියැදුරන් ආදී විවිධ වෘත්තිකයන් ද මෙහි එක් වුණා. චතුරශ්‍රයේ වාඩිගත් ඔවුන් එකිනෙකා අත මයික්‍රොෆෝන් යවමින් තම අදහස් ප්‍රකාශ කරමින්, සංවාදයන් හි නිරත වෙමින් රට වෙනුවෙන් තම හඬ ජනගත කරන්නට මුළු රාත්‍රිය පුරාම ක්‍රියා කලා. ඉන්පසු විරෝධතා කරුවන් චතුරශ්‍රය අත්පත් කරගන්නට කටයුතු කලා, පළමු වන දින බාධා එල්ල වුනත් පසුදින ඔවුන් නැවත පැමිණියා. දිනපතාම සවස් කාලය වන විට චතුරශ්‍රය වෙත වඩ වඩාත් පිරිස් ඇදී එන්නට වුණේ ප්‍රංශ රජය විශාල ලෙස කලබලයට පත් කරවමින්. ඔවුන් එසේ විරෝධතා රැලි සහ සංවාද සඳහා එක්රැස් වුණේ කිසිදු කෙනෙකුගේ හෝ කණ්ඩායමක බලපෑමකින් තොරවයි. පවතින දේශපාලන පද්ධතිය ඔවුන් ව වසර ගණනක් තිස්සේ දැඩි වෙහෙසකට සහ අපේක්ෂා භංගත්වයකට පත් කර තිබුණා. එම නිසා රජයට, දේශපාලනිකයන්ට සහ ලෝකයට දැනෙන පරිදි තම හඬ අවදි කරන්නට ඔවුන්ට අවැසි වුණා. ස්වකීය අයිතීන්, සිය රට වෙනුවෙන් දේශපාලනයේ නිරත විය යුත්තේ වෘත්තීමය දේශපාලන ක්‍රියාකාරීන් පමණක් නොවන බව ඔවුන් වටහාගෙන සිටියා.
Place de la République,Paris (Source: Wikimedia Commons) |
මෙසේ ඇරඹුණ ප්‍රංශ ජනතා ව්‍යාපාරය හැඳින්වූයේ Nuit Debout (Up all night - රාත්‍රිය පුරා අවදියෙන්) ලෙසයි. ලෝකයේම විශාල අවධානයක් දිනාගත් මෙම විරෝධතා ව්‍යාපාරය ඇරඹීමට හේතු වූයේ පෙබරවාරි මස දිනක රැස් වූ වෘත්තීය සංගම්, උසස් අධ්‍යාපනික සිසුන් ප්රමුඛ වාමාංශික අදහස් දැරූ පිරිසක්. විශාල ජනතා අවධානයක් සහ ආකර්ෂණයක් ලැබූ Nuit Debout ජනතා ව්‍යාපාරය සතියක පමණ කාලයක් ගතවන විට ප්‍රංශය තුල නගර 30ක පමණ ව්‍යාප්ත වී තිබුණා. සති 4ක් 5ක් ගතවෙද්දී එය ප්‍රංශය තුලත් ප්‍රංශයෙන් පිට ජර්මනිය, පෘතුගාලය, බෙල්ජියම ආදී යුරෝපා රටවලත් නගර 300ක පමණ Nuit Debout නාමය යටතේ රාත්‍රී විරෝධතා රැලි පැතිරී ගියා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයටත් යුරෝපයෙන් එපිට කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේත් මහා මණ්ඩල රැස්වීම් (General Assembly) සඳහා පිරිස් එක්රැස් වුණා.
මූලික වශයෙන්ම පැරීසියේ Place de la Republique මූලික කරගෙන විරෝධතා රැලි සහ සංවාද පැවැත්වුණේ ප්‍රංශ ජනාධිපති ෆ්රැන්කුයිස් ඕලන්දේ (Francois Hollande) විසින් ඉදිරිපත් කරන ලද El Khomri Law/Loi Travail ලෙස හැඳින්වූ යෝජිත කම්කරු නීතී ප්‍රතිසංස්කරණ වලට විරුද්ධවයි. ඊට අමතරව බදු වසන් කිරීමේ ගැටළු, පාලනයේ විෂමතා යනාදී දේශපාලනික ගැටළු, විෂමතා ආදී කාරණා පිළිබඳවත් සංවාද සහ රැස්වීම් පැවැත්වුණා.
දේශපාලකයන් විසින් තමන්ව දීර්ඝ කාලීනව රැවටීමකට ලක්කර ඇති බව අවබෝධ කරගත් මිනිසුන්, මෙම පවතින දේශපාලන පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාම එල රහිත බවත්, එම හේතුවෙන් ම දේශපාලනයේ තෝන් ලණු (Reins) සියතට ගත යුතු බව තේරුම්ගෙන තිබුණා. පත් කරගත් නායකයෙක් හෝ මාධ්‍ය ප්‍රකාශකයෙක් නොමැතිව සෑම දෙනාටම සිය හඬ අවදි කිරීමේ අවස්ථාවක් හිමි, කිසිදු ආකාරයක ඒකාධිකාරයක් නොමැති වේදිකාවක් වන මෙහි පුරවැසියන්ගේ නියෝජනයක්, ප්‍රකාශන මාධ්‍යයක් ලෙස නොව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ 'ඡන්ද මැෂින්' ලෙස පමණක් ක්‍රියා කරමින් කටයුතු කිරීමේ දේශපාලනය වෙනුවට දේශපාලන පද්ධතිය නැවතත් නවතාවයකින් බිහි කිරීමට ඔවුන් උත්සාහයක නිරත වුණා. මෙම Nuit Debout රාත්‍රී විරෝධතා ජනතාවාදී ව්‍යාපාරය වඩාත් විප්ලවවාදී ප්‍රවේශයක් දක්වනවා ප්රජාතන්ත්රවාදී සහභාගීත්වයක් සඳහා. සාම්ප්‍රදායික විරෝධයක් හෝ උද්ගෝෂණයක් හෝ වෙනුවට මෙම රාත්‍රී විරෝධතා සහ සංවාද වඩාත් ප්‍රචලිත වුණේ එම නිසායි. සිය පාලකයන්ට සහ ලෝකයට දැනෙන බලපෑමක් කිරීමට මෙම ජනතාවාදී ව්‍යාපාරය සමත් වුණා.
Rising hands to agree with the speaker (Source: Wikimedia Commons) |
අවසාන වශයෙන්, පවතින තත්ත්ව යටතේ වර්තමාන ශ්‍රී ලංකාව දෙස හැරී බැලුවහොත් පවතින පිල් මාරු, බඩගෝස්තරවාදී මජර දේශපාලන ක්‍රමයට විසඳුමක් සහ විකල්පයක් වශයෙන් අපට දැකිය හැකි වන්නේ මෙවන් ජනතා විප්ලවයක්, එක්රැස්වීමක් නොවේද? සමාජ මාධ්‍ය ජාලා සහ අනෙකුත් විද්‍යුත් මාධ්‍යයන් හරහා සහ එමඟින් ඇතිවන කතිකාවන් ඉන් ඔබ්බට අප ගෙන යා යුතු වෙනවා නොවේද?
පල් වී කුණු වූ ජරාජීර්ණ ලිඳක සිට ලිං කටින් ගොඩ ඒමේ නිරර්ථක උත්සාහය ඉවත ලා පල් වූ ලිඳ අත හැර නව මඟක් ගැනීමට මේ කාලයයි.
'දේශපාලනය වෘත්තිමය ක්‍රියාකාරීන්ට පමණක් වෙන් වූ යම් කිසිවක් නොවේ, එය සෑම දෙනා සඳහාමයි.' ප්‍රංශ රාත්‍රී විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා.
Comments
Post a Comment