අනේ මට බය වෙනවකෝ

(Source: sharnalk.com)
සූර පප්පයි ජිම් පප්පයි එක පාරක් යනවනේ අර වැඩ 12ක් කරන්න, පිස්සු කොර වෙන වැඩ තමා ඉතින් කරන්න තියෙන්නේ. කොහොමහරි ඔය යන ගමන් සෙට් වෙනවා පාළු කාන්තාරෙක නවතින්න, අන්තිම වැඩේ කරන්න රෝමෙට යන්න කලින්. මේක හොල්මන් ඉන්න ප්ලේස් එකක් කියලා තමා කියන්නෙ. පප්පලා ඕවාට සැලෙන් නැතුව නිදාගන්න සෙට් වෙනවා. නින්ද යා ගෙන එනකොටම හොරණෑ සද්දයක් එක්ක මෙන්න කූඩාරම් මතුවෙන්න ගන්නවා, ඊට පස්සෙ හොල්මන් සොල්දාදුවා පෝලිමක්ම එනවා. ජිම් පප්පා ගේමට එන්ටර් වෙලා නෙලන්න හැදුවත් හරියන් නෑ හොල්මන් නිසා, ජිම් පප්පා වැඩේ අතෑරලා බලන් ඉද්දි හොල්මන් බල ඇණියෙ ලොක්කා එනවා,

"මොකද බලාගෙන ඉන්නේ? මම හොල්මනක් මට බය වෙනවා." ජිම් පප්පා 'මූට ඔල්මාදෙද මන්දා' ලුක් එකක් දාගෙන බලන් ඉන්නවා.

"ඉතින් බය වෙනවකෝ."

මේ අතරේ සද්දෙ ඇහිලා සූර පප්පා ඇහැරිලා දුවගෙන එනවා.
"ජිම් පප්පෙ මොකද මේ සද්දෙ? නිදාගන්නත් නෑ. කවුද මේ?" සූර පප්පාට ඔළුවෙ ගහන් ඉන්න පිහාට්ටටම තද වෙලා.

"මෙයා මේ කියන්නෙ මෙයා හොල්මනක් කියලා, යුද්දෙට යනකොටලු මැරුණෙ."

"මං එහෙම කිව්වෙ නෑ, මේ මෙයා එක්ක බෑ අනේ, මෙයා බොරු කියන්නෙ." හොල්මන සූර පප්පා දිහාට හැරිලා ශේප් න්‍යායක් දානවා.

"මට ඕවා වැඩක් නෑ, දැන් බලනවා වෙලාව කීයද කියලා?" මැරිලා මැරිලා ආවම නිදාගන්නත් නෑ ටෝකක් දාලා බැනලා සූර පප්පා යනවා. "වෙන දිහාවක හොල්මන් කරගන්නවා."

"හොල්මනක් වෙලා ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙනවා." හොල්මනට හොල්මන් ජීවිතෙත් එපාවෙලා චුත වෙනවා.

මේ හා සමාන තව සෙට් එකක් මේ සමාජෙත් ඉන්නවා. උන් කරන්න දඟලන්නෙත් අර හොල්මන කරපු System එකටම අනික් උන්ව භය කරන එක. තමන්ගේ අදහස්, විශ්වාසයන් තමන් ලඟ එන එවුන්ට කොටලා පොවන්න try කරනවා, මෙන්න මේකයි ඇත්ත, මේක විශ්වාස කරපන්, අනිත් ඒවා බොරු. මේකට ගරු කරපන්, මේකට භය වෙලා ඉඳපන්, වන්දනාමාන කරපන්, නැත්නම් උඹ ඉවරයි. තමන්ගේ දෙවිවරුන් , එකම දෙවියන්, ශාස්තෘවරුන් අනුන්ගෙ ඇඟේ ගහලා මෙන්න මෙයා තමා පොර, මෙයා තමා ලෝකෙ මැව්වෙ, මෙයාව අදහපන් නැත්නම් උඹ මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා වගේ කතන්දර කියලා භය කරනවා, මේ තියන්නෙ අරයගේ අරක , මේක මාර එකක්, මේකට වැඳපන්. මං මේක මෙන්න මෙහෙමයි කියලා කියන නිසා උඹත් ඒක පිළිගන්න ගරු කරන්න වඳින්න ඕන. මෙන්න මෙහෙම ලොජික්.

උන් ගරු කරන අහවල් එකට ගරු නොකරොත්, උන්ගෙ අරයට වන්දනාමාන නොකලොත් ඒක මාරම කේස් එකක්, සමහර එවුන් හිතන් ඉන්නෙ ඔක්කොම ඇත්ත කියලා, අච්චාරුව දැම්මා වගේ. ආසාවෙ බෑ. උන්ට උන්වත් පැටලිලා. වඳින්න ඕන එකාවත් පැටලිලා, "මූ අපේ එකෙක්ද? ටිකක් ඒ වගේ. ඒ වුණාට එහෙම වෙන්නත් බෑ. ඒ වුණාට ඉතින් නොවෙන්නත් බෑ."

බහුතරය ඉන්නෙත් ඔය ගොඩේ, යන්නෙත් ඒ ගොඩට, ඒ වගේම ලේසියෙන් ම භය වෙනවා. කිහිප දෙනෙක් භය වෙන්නේ නෑ. එතකොට උන් උන්ව Introduce කරලා දෙනවා, කොහොමද? මං මෙන්න මේ සත්‍යතාව තේරුම්ගත් ඒ පාරෙ යන මෙන්න මෙහෙම powers තියන කෙනෙක්ට වඳින පොරක්, මං කියන එක අනිවාර්යයෙන් ඇත්ත, ඒ නිසා මේක පිළි අරගෙන මේකට බයවෙලා ඉන්න. (මං හොල්මනක්, මට භය වෙයන්) ඔය සිස්ටම් එකට භය නොවීමේ ඵල විපාක තේරුම් කරලා දුන්නම තව කොටසක් භය වෙනවා. අම්මටසිරි එහෙම වුණොත් මාර කේස් එක.

තව එවුන් ටිකක් ඉන්නවා උන්ව භය කරගන්න, භය කරලා නම්මගන්න දැඟලුවට හරියන්නෙම නෑ. එතකොට භය කරන්න ආපු එකා අඬා වැටෙනවා "අනේ මට භය වෙයන් යකෝ මං තමා ඇත්ත කියන්නෙ, මේක තමා අනේ ඇත්ත, අනේ කිව්වම අහලා හොඳ එකා වගේ භය වෙනවකෝ (මං හොල්මනක්)" කියලා. ආගමිකයන්ගෙ ශෝචනීය අවස්ථාව වෙන්නෙ ඒක. ඊට පස්සෙ උන්ට උන්වත් පැටලෙනවා, කියන්නෙ මොනවද දන්නෙත් නෑ.

අන්තිමට වෙන්නෙ,
"හොල්මනක් වෙලා ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙනවා." කියලා චුත වෙන්න.

Comments