සාතන් සහ දෙවියන්

Satan vs God (diversitytheatre.org)

දිනක් සිය පෞද්ගලික අවශ්‍යතාවකට නගරයට ගොස් නැවත සිය දේවස්ථානය කරා පිය නගන පූජකතුමෙකි. තරමක දුරක් ගමන් කළ පසු කවුරැන් හෝ කෙනෙකු කෙඳිරි ගානා හඩක් ඇසුණු පියනම අවට විපරම් කර බලන විට දුටුවේ අසල කාණුවක වැටී සිටිනා මිනිසෙකි.

'කාලකණ්ණියා උදේම බීලද කොහෙදැ' යි සිතුණු නමුත් කරදරයක දී උණු වන සිත් ඇති කරැණාවන්ත පිය නම කෙඳිරි ගාමින් සිටි මිනිසා වෙත ලං විය.

"පියතුමනි, උදව් කරන්න." ලේ වැකුණු සිය ඇළය මිරිකා ගනිමින් මිනිසා කෙඳිරි ගායි.

'අපොයි! පිහි ඇනුමක් නේද?' තමන්ට ම පවසාගත් පියනම,
"තමුන්නැහේ කවුද? මට මූණුවර හොඳට දැකලා පුරැදුයි නෙව. ඉක්මනට ඉස්පිරිතාලෙකට යමු."

"ඔබ වහන්සේ මාව දේවස්ථානයේ දී දැක ඇති."

"ඒ කොහොමද? උන්නැහේ අපේ සභාවෙ දායකයෙක්ද?"

"නෑ පිය තුමනි. මම සාතන්."

"මොකක්? සාතන්? හහ් ඒක තමා මට උඹව දැක පුරුදු, උඹේ පින්තූරයක් අපේ දේවස්ථානයේ තිබෙනවා. මොකක් කරනවද මෙතන?"

"මං පහරන්නො වගයක් ඇවිත් මගෙ බඩු පැහැරගෙන මට පිහියෙන් ඇනලා ගියා ස්වාමීනී, මට උදව් කරන්න."

"උඹට උදව් කරන්න? උඹ නිසා තමයි අපි දුක් විඳින්නේ. උඹ නේද මිනිසා ව වරදට පෙළඹෙව්වෙ? අපි හැමදාම යාච්ඤා කරනවා දෙවියන් ට, උඹෙන් මිනිසුන් ව ගලවා ගන්නා ලෙසට. උඹ මැරුණම අපේ පැතුම ඉටු වෙනවා. ලෝකය පවෙන් හා අඳුරෙන් මිදේවි. උඹ මැරෙන එකමයි හොඳ."

"එහෙම කතා කරන්න එපා පියතුමනි. මං මැරුණොත් ඔබ වහන්සේට මොකද වෙන්නේ?"

"මට? මට මොනවත් වෙන්නෙ නෑ, ආලෝකය රජ කරාවි, ස්වර්ග රාජ්‍යය බිහි වේවි, මං යනවා."

"ස්වාමිනී, මඳක් නවතින්න. මං මැරිලා ආලෝකය පැතිරී ස්වර්ග රාජ්‍යය බිහි වුනොත් මිනිසුන් ට ඔබ වහන්සේගෙන්, අඳුර තුලින් ආලෝකය පෙන්වන්නන් ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? මිනිසුන් ඔබ සොයා ඒම නැවතුනහොත් ඔබට පැවැත්මක් නැති වෙනවා. ඔබ වහන්සේ පවතින්නේ මං නිසයි."

ගමන ආරම්භ කරන්නට සූදානම් වූ පියනම හිටිවනම නැවතිණි.
'දෙයියනේ! ඇත්ත නේන්නම් සාතන් වුණාට මූ කියන්නේ, මේ යකා මළොත් මිනිස්සු පල්ලිය පැත්ත පලාතෙ එන එකක් නෑ. මාව කවුරුවත් ගණන් ගන්න එකක් නෑ, ගරු කරන එකක් නෑ. මට වෙන්නෙ වැඩකට නැති මිනිහෙක් විදියට ජීවත් වෙලා මැරිලා යන්න.'

"පියතුමනි, මට උදව් කරන්න. ඔබ වහන්සේ රැකෙන්නේ මා රැකුනොත් පමණයි."

පියනමගේ ඉහින් කනින් දහඩිය දමන්නට විය. ආපසු හැරී බැලූ එතුමෝ කාණුවට බැස තුවාල ලත් සාතන්ව ඔසවන්නට වූහ.
...........................................................................................................................................................

සමාජයේ ආගම, දේශපාලනය සහ අනෙකුත් විවිධාකාර වූ ව්‍යාපාර පැවතීම සඳහා 'තමාගේ අනෙකාව' මේන්ටේන් කිරීමක නිරත වේ. නැතහොත් අනෙකාට අනුව තමන් ව මේන්ටේන් කරගනියි. භීතිය , අපාය, යක්ෂයා, මාර දිව්‍ය පුත්‍රයා, දෘෂ්ටිවාද ඇතිවෙන්නේ මේ සඳහා ය. ආගමික හා අනෙකුත් ව්‍යාපාර සාර්ථක කර ගැනීමේ ගරිල්ලා මාකටින් එක මේ ය.
එකෙකුගෙන් තොරව අනෙකා නොපවතී. දුෂ්ටයාගෙන් තොරව වීරයාට පැවැත්මක් නොමැත, හැම කතාවකම තමන්ගේ වර්ෂන් එකේ වීරයා/සත්‍යය/හොඳ එකා වීමට නරක දුෂ්ටයෙකු ද වීරයා විසින් පවත්වාගෙන යනු ලබයි.

තමන්ගේ ප්‍රතිවිරුද්ධ අනෙකා මිය ගියහොත් තමාගේ පැවැත්ම සහ වටිනාකම ද මිය යයි. ජෝකර් බැට්මෑන් ව මරන්නේ නැත.

"මට උඹව මරන්න ඕන නෑ, මාව සම්පූර්ණ කරන්නේ උඹයි. උඹ නැතුව මම මොනවා කරන්නද?" ජෝකර් අසන්නේ එම නිසාය.

Comments