රාජ්‍යය නම් උඹලා ය

(rabbisacks.org)

"ඌට දැන් තියෙන්නේ ජාතික ප්‍රශ්න." මිතුරෙක් මට කියන්නේ සමච්චලයටය. ඒ තරමටම ජාතික ප්‍රශ්න සහ දේශපාලනය අපිට අදාල නොවන එකක් බවට පත්වෙලාය. වෘත්තිකයෙක් හෝ දේශපාලකයෙක් නොවන අනිත් උන්ට දේශපාලනයක් අදාලම නැත. උන්ට තියෙන්නේ ඡන්දෙ දවසට ගිහින් කතිරයක් ගහලා එන්න විතරය. 

දේශපාලනය මඩ ගොහොරුවක් වෙන තරමටම දේශපාලනය සමාජයේ වැදගත් අංගයකුත් වෙනවා. දේශපාලනය තමන්ට අදාල නෑ, වැදගත් නෑ නැත්නම් බලපෑමක් නෑ කියලා හිතන මනුස්සයා තමන්ගේ සමාජයීය පරිසරය හරි හැටි හඳුනා නොගත් මනුස්සයෙක් වෙනවා. තමන් ඉන්න තැන, තමන් දවසකට වැඩ කරන පැය ගණන, තමන්ගේ විවාහය, තමන්ගේ අධ්‍යාපනය, සහ සමහර විට තමන් නිවාඩු දිනය ගත කරන ආකාරය පවා තීරණය වෙන්න දේශපාලනය බලපානවා. ඒක එහෙම වෙද්දි ඒ සමාජයීය සාධකය කෙරෙහි රටක පුරවැසියන්ගේ අවධානය කොහොම වෙන්න ඕනද? 

නිසැකවම විශාල අවධානයක් දැනුමක් කෙරෙහි යොමු විය යුතුමය. නමුත් අනවබෝධය සහ ඒ නිසා ඇතිවෙන උවමනාවක් නැතිකම නිසා සමාජයේ අති බහුතරය කරන්නේ දේශපාලනය පසෙකට කර දමා තමාට සිදුවී ඇති සමාජ හා දේශපාලන අසාධාරණකම් පිළිබඳ මැසිවිලි නැඟීමය.

මිනිසුන් සිතන්නේ පුරවැසියෙක් හෝ ඡන්ද දායකයෙක් විදියට බලය තියෙන්නෙ මැතිවරණයක දී ඡන්දය භාවිතා කරන්නට පමණයි කියාය. ඒ වගේම රටක වැදගත් තීන්දු තීරණ ගැනීම සහමුලින්ම පැවරිලා තියෙන්නෙ අර පත්වෙලා ඉන්න , තමන්ගෙ නියෝජිතයන් වෙන සුළුතරයට පමණයි කියලා ය, නමුත් ඇත්තටම ඒක එහෙමද? දේශපාලන වෘත්තිකයාට, නියෝජිතයාට වගේම නියොජිතයාව එතනට යැවූ සාමාන්‍ය ඡන්ද දායකයාට, පුරවැසියාට බලයක් සහ ජාතික යුතුකමක් තියනවා තම රටේ අනාගතය තීරමය කරන සාධක වලට බලපෑම් කිරීමට.

වර්තමානය වන විට සාමාන්‍ය ඡන්ද දායකයා පවතින දේශපාලන ක්‍රමය ගැන සිටින්නේ කලකිරීමකිනි. දේශපාලනය කෙරෙහි උනන්දු වන පිරිස ද උනන්දු වන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා වන විට රටෙහි දේශපාලන අනාගතය ක්‍රම ක්‍රමයෙන් යන්නේ වල පල්ලටය.

බහුතරයක් දේශපාලනය ගැන උනන්දුවක් නැති අතර උනන්දු වන්නේ දේශපාලකයා ගැනය. තමන්ගේ Idol එකක් හෝ තමාව 'ගොඩ දැමිය හැකි' දේශපාලන මුදලාලි මහත්තයා ගැනය. 'ජොබ් එකක්වත් සෙට් කරගන්න, ළමයාව ඉස්කෝලෙකට දාගන්න, ගොඩ යන්න' ආදී වශයෙන් වූ හේතු කාරණා නිසා Idol එකක්, මුදලාලි කෙනෙක් පස්සෙන් වැටී සිටින බුද්ධිමත් ඡන්ද දායකයන් බහුලය. 

දේශපාලන ක්‍රමය කෙරෙහි කලකිරී සිටින පුරවැසියන් , ඡන්ද දායකයන් දේශපාලනය මඟ හැර බඩ ගොස්තර වාදීන්ට සියල්ල භාර දී සුසුම් හලමින් සිටියි. පද්ධතිය දූෂිත නම් එයට විසඳුම එය නොදැක්කා සේ සිටීම නොවන බව තම තමන් අවබෝධ කරගත යුතුව ඇත. තමන් ඇඟිල්ල දිගු කල යුතු වන්නේ දොස් පැවරිය යුත්තේ උන්ට පමණක් නොව තමන්ටත් එක්කම ය. 

මිනිස්සු පෞද්ගලිකව, සමාජ මාධ්‍ය ජාල වල කරන සංවාදයන් සංකල්පයන් මහ පාරට රැගෙන යා යුතු ය. දේශපාලනයට සක්‍රීය දායකත්වයක් දැක්විය යුතු ය. ජාතික ප්‍රශ්න අනුන්ගේ නොව තමන්ගේ ප්‍රශ්න බව තේරුම්ගත යුතු ය.

'රාජ්‍යය නම් මම ය' කියලා ලුවී කියපු කතාව ඕනවට වඩා ඇඟට අරගෙන වර්තමාන දේශපාලකයොයි කියාගන්නා පොලී-ටිකල්- මුදලාලි ලා රට තමන්ගේ කෙලිබිම බවට පත්කරගෙන සූදූ කෙලියත් රාජ්‍ය නම් උන් නොව මෙරට මහ ජනතාව, ඡන්ද බලය ඇති, පුරවැසිභාවය හිමි ඔබ සහ මම බව උන් මෙන්ම අපි ද වටහා ගත යුතු ය.

Comments