වහල්ලු, සීසර් ලා සහ සූර පප්පලා ට ඌන පූරණයක්

(joshuanhook.com)

අපේ අයියලා අක්කලට තියන එක ප්‍රශ්නයක් තමයි යම් දෙයක් කතාවක් හෝ උපමාවක් ඇසුරෙන් කිව්වම ඒක ගෙඩි පිටින් ගන්න හදන එක. අර සිංහල subtitles හදනවා වගේ, 'Go and fly a kite' කියලා කිව්වොත් උන් පරිවර්තනය කරන්නේ 'ගිහින් සරුංගලයක් අරින්න' කියලා. ඒ වගෙයි මුනුත්. වෙන මොනවත් ඕන නෑ අඩන්න ඕන ඒවටත් 'Ha ha - හහ් හා' කියනවා.

දැන් අර කතාවෙදි රැකියාව වහල්භාවයක් වීම ගැන කතා කරනවා. මං වහල්භාවයෙන් ගැලවීම ගැන කියනවා, දැන් කට්ටිය ඒක ඔළුවට ගන්නෙ රැකියාවෙන් ගැලවීම ගැන තමා මේ කියන්නෙ කියලා. ගැලවෙන්න ඕන මේ ක්‍රමයෙන් මුදලට ප්‍රාග්ධනයට වහල් වීමෙන් මිසක් රැකියාවෙන් නෙවෙයි. මං පෙන්නන්නෙ පින්තූරයක්, ඒකෙ ඇදලා තියන එක ගහක් දිහා බලාගෙන සම්පූර්ණ පින්තූරය නිර්වචනය කරලා හරියන්නෙ නෑ.
හම්බ කීරීම, ඒ කිව්වෙ රැකියාවක් කරන එක නෙවෙයි ගැටළුව. තමන්ගෙ නොයෙක් කටයුතු ඉටු කරගන්න මුදල් ඕනෙ වෙනවා, අපිට මුදල් කියන අතරමැදි හුවමාරු මාධ්‍යය භාවිතයෙන් ඉවත් කරන්න බෑ, ඒක Practical නෑ. ඒ නිසා මුදල් ගැටළුවක් නෙවෙයි. ගැටළුව තියෙන්නෙ අපි මුදල් පාවිච්චි කරනවා වෙනුවට අපි මුදල් මත යැපෙන්න පටන් ගන්න එකේ, ඒකට වහල් වෙලා ජීවත් වෙනවා වෙනුවට ඒකාකාරී Race එකක් දුවන එකේ. එතනයි ගැටළුව.

උදාහරණයක් විදියට ගැටළුව තියෙන්නෙ කෙනෙක් තමන්ගෙ ළමයව පාසලකට ඇතුලත් කරගන්න අත යටින් ලක්ෂ 3ක් දෙන්න සිද්ධ වෙන එකේ. ඊට පස්සෙ ඒ පගාව දෙන එක අතිශය සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා, 'ක්‍රමය' දූෂිත වෙන්නෙ එහෙම. ඊලඟට මේ දූෂණයට, දූෂිත පද්ධතිය ට අනුගත වෙලා ඒකට වහල් වෙනවා. ඒකයි ගැටළුව. මේ එක උදාහරණයක්. පද්ධතියේ දූෂිත බව තියෙන්නෙ සමස්ත සමාජය පුරාවටමයි. ජීවත්වීම සඳහා ආධාරයක් විදියට රැකියාවක් කරනවා වෙනුවට අර කියපු රැල්ලට අහුවෙලා රැකියාව වෙනුවෙන් ජීවත් වෙන්න, එහෙම නැත්නම් වඩාත් නිවැරදිව කිව්වොත් ජීවත් වෙන්නෙ නැතුව ජීවතුන් අතර පවතින්න සිද්ධ වෙලා තියෙන්නෙ අන්න ඒ නිසයි. දශක ගණනාවක පටන් මේ රට එක තැන පල් වෙන්නෙ මේ ක්‍රමය නිසා, ඒ වගේම මේ ක්‍රමය ට අනුගත වෙලා, වහල් වෙලා ඉන්න මිනිස්සු නිසා.
ප්‍රාග්ධනය පාවිච්චි කරන්න ඒ ප්‍රාග්ධනයේ වහලෙක් විය යුතු නෑ. වර්තමාන සමාජය ක්‍රමයක වහලුන් බවට පත් වෙලා, ඒකයි ගැටළුව. දෙයක් භාවිතා කිරීම සහ ඒ දෙයෙහි වහලෙක් වී යැපීම කියන්නෙ කාරණා 2ක්. කරුමෙට ලංකාවේ ඉන්න බහුතර ජනතාවට තමන් දූෂිත ක්‍රම පද්ධතියක මානසික වහලුන් බවට පත් වෙලා සහ එයට අනුගත වෙලා තිබීම කියන කාරණා තේරුම් ගැනීමේ හැකියාවක් නෑ. ඒ මානසික වහල්භාවය සාමාන්‍යකරණය වූ දෙයක් වෙලා නිසා.

ඒ වගේම දැන් මේ ක්‍රම වෙනසක් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන කතා කිරීමේදී සමහරු අහනවා මෙහෙම,
"අපි එකඟයි. ඒත් දැන් කවුද ලංකාවේ සූර පප්පා නියෝජනය? ජවිපෙ ද?"

නෑ ක්‍රම වෙනසක් වෙනුවෙන් මූලිකත්වය ගත යුත්තේ හෝ ඉදිරිපත් විය යුත්තේ පවතින දේශපාලන පක්ෂයක්ම විය යුතු නෑ. මේ මජර ක්‍රමයට වෙනසක් වෙනුවෙන් පවතින ක්‍රමයේ කොටසක් වෙන, ඒ system එක පවත්වාගන යන කිසියම් ම හෝ කණ්ඩායමකින් ඒ ක්‍රමයට වෙනසක් එයින් නිදහසක් පැතීම පදනමක් නැති ඵල රහිත දෙයක්. එම නිසා මේ සඳහා මූලික විය යුත්තේ මේ පවතින ක්‍රමයේ දූෂිත ස්වභාවය, ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් නඩත්තු වෙන වහල්භාවය තේරුම් ගත් වගේම එයින් මිදීමට අභිලාෂයක් ඇති ඔබ සහ මම ඇතුළු ජනතාව. දූෂිත ක්‍රමය තුලින් ඒ ක්‍රමය වෙනස් කිරීමට යෑම අර්ථ විරහිත ක්‍රියාවක්. මේක තවත් එක් මජර දේශපාලනික ක්‍රමයේ අංගයක් නොවී ජනතා නැඟිටීමක් (Peoples Movement) විදියට ඉස්සරහට එන්න ඕන. සූර පප්පා නියෝජනය වෙන්නෙ, විය යුත්තේ මේ ජනතා නැඟිටීම මඟින්.


(theodysseyonline.com)

මිනිස්සු මේ සමාජයේ මේ System එකේ පවතින දූෂිත බව දකිනවා. ඒ වගේම තමන් පහසුවෙන් ගැලවිය නොහැකි System එකක හිරවෙලා, පැවතීම සඳහා නොනවතින නැවතිය නොහැකි Race එකක දුවන්න වෙලා තියන බව දකිනවා. නමුත් මේ දේ මේ දූෂිතභාවය සාමාන්‍යකරණය වෙලා වීම නිසා එතනම ඉන්නවා. කෙනෙක් අහනවා මෙහෙම,
"ඉහළ තනතුරකට ගියාම කවුද හොරා කන්නෙ නැත්තේ?"
ඒ කියන්නෙ ඉහළ තනතුරක දී හොරා කෑම, පගාව ගැනීම වගේ දේවල් Normalize වුණ දේවල් බවට පත් වෙලා. මේ දූෂණය සාමාන්‍ය තත්වයක්. ක්‍රමය Corrupt වීම දකින්න ඒ හොඳටම ඇති. මේක සාමාන්‍ය තත්වයක් නොවන බවත් මේ Corrupted system එකට එරෙහි විය යුතු බවත් කෙනෙක් තේරුම් ගත යුතු වෙනවා.

අපේ සමාජයේ බහුතරයක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ කවුරුහරි කියන දෙයක් ඉස් මුදුනින් පිළිගන්න, වඩා ජනප්‍රිය මතය හෝ දෙය පසුපස යන්න, රැල්ලට යන්න. කුඩා කාලයේ පටන්ම ක්‍රම ක්‍රමයෙන් 'උඹ සිතිය යුත්තේ මොනවාද?' කියලා පුහුණු කරවනවා. පවතින දෙයට අවනත වෙන්න උගන්වනවා. මිනිස්සුන්ට හිතන්න පුරුදු පුහුණු කිරීමක් හෝ පවතින දෙය ප්‍රශ්න කිරීමක් ඉගැන්වීමක් සිද්ධ වෙන්නේ නෑ. අනුන්ගෙන් ණයට ගත් චින්තනයක් මිසක් හිතන්න පුරුදු වුණ නිදහස් චින්තනයක් හිමි මිනිසුන් ඉතාමත් හිඟයි. අනුන්ගේ චින්තනයක හිරකාරයන් වෙලා, හිතන්න බැරි කමින් දූෂිත ක්‍රමයක වහලුන් වෙලා. හිතන්න පුළුවන් මිනිස්සු විදියට මේ මජර සංස්කෘතියෙන් ගැලවෙන්න ආකල්පමය වෙනසකට යොමුවෙන්න මේ සමාජය දැන්වත් යොමු විය යුතුයි.

Comments