වහල්ලු, සීසර් ලා සහ සූර පප්පලා

Still from the movie (mid-day.com)
මේක හැමෝම දන්න කතාවක්, මේකයි කතාව, සූර පප්පා කියලා cartoon එකක් හැමෝම දන්නවානේ, සීසර් කොච්චර Try කලත් අල්ලගන්නම බැරි පප්පා ගමේ තමයි සූර පප්පත් ඉන්නේ. කොහොමහරි ඔන්න එක පාරක් සීසර් (Ceasar) තීරණය කරනවා පප්පා ගම යටත් කරගන්න බැරි නිසා රෝමය පප්පා ගමටම අරගෙන යන්න, කොහොමද? සීසර් හදනවා රෝමන් කොලනියක් පප්පා ගම ලඟම. ක්‍රම ක්‍රමයෙන් පප්පලව රෝමානු-කරණය කරන්නයි plan එක. නගර නිර්මාණකරන ඉංජිනේරුවරයෙක් ප්‍රමුඛ පිරිසක් පිටත් වෙනවා වැඩේට, ගොඩනැගිලි ඉදි කිරීම් කටයුතු වලට යොදවා ගන්නේ අප්‍රිකානු ම්ලේච්ඡ වහලුන් පිරිසක්, රෝමානු යුධ කඳවුර අසල වහල් කඳවුරක තමයි මොවුන් ඉන්නේ. මේ movie එකේ කතාව වෙන්නේ පප්පලාව Romanize කිරීමේ උත්සාහය ගැන වුණාට අපේ කතාව තියෙන්නේ මේ වහලුන් ගැන.

නගරය ගොඩනැගීම පප්පා ගමේ අයට දැන් සෑහෙන කරදරයක් වෙලයි තියෙන්නේ, ගොඩනැගිලි වලට අවශ්‍ය දැව සපයා ගන්නේත් පප්පා ගම අසල වනාන්තරයෙන්. මේ ගැන සාකච්ඡා කරන පප්පලා තීරණය කරනවා ගොඩනැගීම් කටයුතු සිදු කරන වහලුන් ට නිදහස ලබා දී මේක නවත්තන්න. ඔන්න දැන් සූර පප්පා මැජික් අරිෂ්ඨෙත් අරගෙන ජිම් පප්පාත් එක්ක වහල් කඳවුරේ ආරක්ෂකයන්ට පහර දීලා වහලුන්ට මැජික් අරිෂ්ඨෙ දෙනවා රෝමන් වරුන්ට විරුද්ධව නැඟී සිටීමක් කරලා නිදහස ලබාගෙන පලා යන්න. නමුත් පලා යන්න, පලා ගිහින් නැවත වනාන්තරයක ජීවත් වෙන්න වහලුන් කැමති වෙන්නෙ නෑ නිදහස ලැබුණත්, ඔවුන් කරන්නෙ මැජික් අරිෂ්ඨය යොදාගෙන රෝම සෙන්පතියාට ( අර හැමදාම ජිම් පප්පාගෙන් ගුටි කන ඩෑල් එක ) සද්දයක් දාලා තමන්ගෙ තත්වය උසස් කරගන්න කටයුතු කිරීම. වැඩි වැටුපකුත් වහල් කඳවුර වෙනුවට කොලනි නිවාස වලින් නවාතැනුත් ලබා ගන්නවා, ඒ වගේම එක මහල් නිවාස ගොඩනැගිලි පද්ධතියක වැඩ අවසන් වුණාම වහල් සේවයෙන් නිදහස ලබා ගන්නත් එකඟතාවයකට එනවා. අවසානයේ දී ඉදිකිරීම් අවසන් වෙනවා. රෝමවරුන් නව රෝමන් කොලනියට එනවා. මේ ව්‍යාපෘතිය ගැන බලන්න රෝමයෙන් එනවා සෙනෙට් මන්ත්‍රීවරයෙක්, ගයියස්. දැන් තමයි කතාව.

සෙනෙට්වරයා උත්සවාකාරයෙන් පිළිගෙන අවසානයේ වහල් නායකයා තමන්ගේ නිදහස ලැබීම ගැන කතාව මතු කරනවා. සෙන්පතිට ඒ සඳහා බලයක් නෑ. කොහොම නමුත් සෙනෙට්වරයා අවස්ථාව පාලනය කිරීමට ඉදිරිපත් වෙනවා.

"වහලුනි, සීසර් මට පවරා ඇති බලයෙන් මං ඔබලාව වහල් සේවයෙන් නිදහස් කරනවා."

"ආ ඇත්තටමද? ඒක නියමයි."

"ඔව්. නිවාස වල යතුරු භාර දී පිට වී යන්න. ඔබලා නිදහස්."

"නමුත් අපි හිතුවේ නිවාස අපිට පවරා දුන්නා කියලා."

"තව දුරටත් ඔබලා වහලුන් නෙවෙයි. එම නිසා තව දුරටත් එම නිවාස වල රැඳෙනවා නම් කුලියක් ගෙවන්න සිදු වෙනවා. සතියට රිදී කාසි (sesterces) 15 ක."

"රිදී 15ක්?"

"ඔව්, ඒ වගේම සුභ ආරංචිය තමයි ගොඩනැඟීම් කටයුතු සඳහා සේවක පුරප්පාඩු පවතිනවා. ඒ සඳහා වැටුප සතියට රිදී 15ක් ගෙවනවා."

"ඒක නම් හොඳයි වගේ."

"නියමයි. ඔබලාව ඒ සඳහා බදවාගන්නවා." මෙහෙම කියන ගයියස්, ඉංජිනේරුවා දිහාවට හැරිලා අහනවා,
"ඔබගේ සේවකයන් වැඩ නොකර සිටින්නේ ඇයි?" කියලා.

ටික වෙලාවක් තක්බීර් වෙලා ඉන්න ඉංජිනේරුවා අළුතෙන් පණ ඇවිත් වගේ කෑ ගහනවා.
"කම්මැලි හැත්ත මෙතනට වෙලා බකං නිලං මොනවා කරනවද? සීසර් තොපිට පඩි ගෙවන්නෙ නිකම් ඉන්නවටද? ගිහින් වැඩ කරපියව්."

පිරිස් පාලක කසය ගන්නවා, නව 'නිදහස් සේවක' පිරිස වැඩ කරන්න පිටත් වෙනවා. නායකයා යන්නේ මෙහෙම කියලා,

"ඒක වහල් සේවයක් වගේ නෙ." (මෙතනයි පොයින්ට් එක)

සෙන්පති ගයියස් ව අගය කරනවා. "ඒක හරිම දක්ෂ ක්‍රියාවක්."

ගයියස් කියනවා, "නෑ, මම දේශපාලකයෙක්.(සෙනෙට් වරයෙක්)"

ඔහොමයි කතාව. සීසර් ලා භෞතික නිවහල් මනුස්සයාගෙන් මානසික වහලෙක් නිර්මාණය කරන්නෙ එහෙමයි. ඒ වගේම මේ so called නිවහල් මිනිසුන් කැමති නැහැ යතුරු භාර දීලා මේ නාගරික පද්ධතියෙන් පිට වෙලා යන්න. උදේ හවස විවිධාකාර 'රැකියා' කියලා වහල් සේවාවන් වලට යන එන ඔයාත් මමත් ඇතුළු මේ සමාජය කරන්නෙත් අර වහලුන් පිරිස අවසානයේ දී කලා වගේ වේතනයකට යට වුණ 'භෞතිකව නිවහල් වුණ මානසික වහල්' සේවයක්. මේ වහලුන් විවිධාකාරයි, සමහරුන් වැරහැලි වුණ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ගවුමක් ලාබ සාරියක් වගේම ටයි එකක් කෝට් එකක් දාගෙන දිලිසෙන ටයිට් සායක් හැට්ටයක් ඇඳගෙන උදේ හවස සල්ලි පස්සෙන් දුවනවා මානසිකව ප්‍රාග්ධනයට යට වුණ වහලෙක් වෙලා. අපිත් අර වහලුන් වගේම අකමැතියි මේ පද්ධතියෙන් පිටවෙන්න, උන් වගේම අපිත් අපේක්ෂා කරන්නෙ මේ පද්ධතිය ඇතුලෙම තව ටිකක් 'උසස් වහලෙක්' වෙන්න. එච්චරයි. ඒ වගේම මේ ක්‍රමයේ වහලෙක් වීම ඉරිදා හවසට මතක් වෙලා සදුඳා උදේට ආයෙ අමතක වෙනවා. මේ වහලාගෙ ඉරණම දුවලා දුවලා හති හරිමින් මිය යෑම.

අර වහලුන් ට වගේ ම මේ පද්ධති ගත වුණ ක්‍රමයේ වහලුන් වුණ වර්තමාන සමාජයට ත් සූර පප්ප ලා මැජික් අරිෂ්ඨය දීලා කියනවා "නිදහස හොයාගෙන මේකෙන් මිදිලා පලයන්" කියලා. නමුත් අපේ systemize වුණ මානසික වහලුන් කරන්නෙත් මැජික් අරිෂ්ඨෙ අරගෙන "අපිට මේ මදි, උසස් වහල්භාවයක් දීපියව්" කියන එක. අපේ සීසර් ලා කරන්නෙ ගයියස් ගෙ අඩි පාරෙ ගිහින් හොඳ ලස්සන fabricated හීනයක් උටෝපියාවක් පෙන්නලා උඹලා නිදහස් කියලා නැවතත් පවතින ක්‍රමයටම අනුගත කරවීම.

         Mansion of the Gods (film.list.co.uk)

දශක ගණනාවක පටන් තවමත් අපි කරන්නේ පවතින ක්‍රමය නඩත්තු කරමින් වහල් ජීවිතයක් ගත කරන එක. 48 අපි නිදහසක් ලැබුවාද ඊට කලින්වත් නිදහසක් තිබුණාද කියලා තමන්ගෙන්ම අහලා බලන්න මේ කාලය හරි. අපි පවතින ක්‍රමය නඩත්තු කරන්නේ තාවකාලික හා කෙටි කාලීන වරප්‍රසාද බලාපොරොත්තු වෙමින්. සීසර්ලා ට කඩේ යමින් උන්ට ආවඩමින් උන්ව පෝෂණය කරමින් ඒ වගේම සූර පප්පලාට ගරහමින් රටේ 'මානසික වහලුන්' කරන්නේ ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් තමාවත් සමාජයත් රටත් අගාධයකට යොමු කරවීම. ආර්ථිකමය ආගමිකමය හෝ දේශපාලනමය යන කාරණා කොයිකෙදිත් තත්වය මේකයි. තමන්ට ලැබෙන හෝ තමන්ට පෙන්නන තාවකාලික වරප්‍රසාද බල වරම් නිසා සමාජයට රටට හෝ අවසානයේ දී තමන්ට වත් ප්‍රතිලාභයක් නොමැති බව තේරුම් නොගන්නා මානසික වහලුන් වහල් භාවයේ උසස් වීමක් වෙනුවෙන් පවතින ක්‍රමයටම ආවඩයි. එය තේරුම් නොගන්නා තාක් රට තව දුරටත් අගාධයකටම ගමන් කරනු ඇත.

එමෙන් ම ගෙම්බන් පිල මාරු න්‍යායන් යොදා ගනිමින් එහා මෙහා පනින සහ එකම ක්‍රමයේ ඵලයන් වුණ කණ්ඩායම් දෙක තුනකින් වෙනස් ආකාරයන්වල ප්‍රතිඵල බලාපොරොත්තු වීමේ විහිළු සහගත දේශපාලනයක නිරත වෙන හා එම දේශපාලනයේ දේශපාලනික ගොදුරු වෙන සමාජය, පුද්ගල වන්දනා දේශපාලනය සහ පිල් මාරු දේශපාලනයෙන් ඉවත්වී වෙනස් පිලක් නොව ක්‍රම වෙනසක් වෙනුවෙන් නැඟී සිටිය යුතු බව අවබෝධ කරගත යුතුව ඇත. පවතින පද්ධතියේ මානසික වහලුන් ලෙස රැඳී සිටිමින් පද්ධතිය maintain කරමින් එයට ආවඩමින් 'වෙනස්කම්' සෙවිය නොහැකි අතර මැජික් අරිෂ්ඨය බී පද්ධතියට එරෙහිව නැඟී සිට යතුරු භාර දී පිට විය යුතුය, මැජික් අරිෂ්ඨය බී වහල් භාවයේ වඩා උසස් තත්වයක් බලාපොරොත්තු වීම එල රහිතය. මානසිකව පද්ධතියට ඇති වහල් භාවයෙන් නිදහස් වී ක්‍රමයට එරෙහි වී එය පරදවා වෙනසක් ඇති කළ යුතුය.

සීසර්ලාට වහලුන් වී ආවැඩුවා දැන් මේ ඇති ය. සීසර්ලා වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් සමාජය හා රට වෙනුවෙන් ජනතා නැගී සිටීමක් සිදු කිරීමට කාලය එලඹ ඇත. සීසර්ලාගෙන් මිදී සූර පප්පලාට සහය දිය යුතු කාලය ලඟා වී ඇත.

Comments